ජාජබ/ජවිපෙ ආන්ඩුව ජාත්යන්තර සරනාගත නීති උල්ලංඝනය කරමින් රොහින්ග්යානුවන් බලහත්කාරයෙන් පිටමං කිරීමට සැරසෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාතික ජන බලවේගය (ජාජබ)/ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආන්ඩුව විසින්, මියන්මාරයේ වාර්ගික ප්‍රචන්ඩත්වයේ නිරන්තර ගොදුරක් වන රොහින්ග්යානුවන්ගෙන් 100 කට අධික පිරිසක්, 2024 දෙසැම්බර් 23 දා සිට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, මුලතිව් කඳවුරේ නීති-විරෝධී ව රඳවාගෙන සිටී.

2024 දෙසැම්බර් 20 වැනි දා රොහින්ග්යා සරනාගතයන් යැයි සැලකෙන පිරිසක් ත්‍රිකුනාමල වරායේ බෝට්ටුවක රැඳී සිටින ආකාරය [AP Photo/Mangalanath Liyanaarahhi]

දෙසැම්බර් 19 දා, විදේශිකයන් 115 ක් රැගත් බහුදින ට්‍රෝලර් යාත්‍රාවක්, මුලතිවු හි මුල්ලිවයික්කාල් මුහුදු තීරය අසලින් යාත්‍රා කරමින් සිටියදී තම අත්අඩංගුවට ගෙන වෙරලට රැගෙන ආ බවත්, එම විදේශිකයන් රොහින්ග්යානුවන් බව සහතික කරගත් බවත් නාවික හමුදාව පවසයි. ඔවුන් මුලතිවූ හි මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉන් 12 දෙනෙකු මෙම ගමන සංවිධානය කල අය බවට සැකපිට රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටත්, අනෙක් 103 දෙනා නුගේගොඩ, මිරිහානේ, “සංක්‍රමනික රැඳවුම් මධ්‍යස්ථානයේ” රඳවා තැබීමටත් නියෝග කෙරී ඇත. මෙම 103 දෙනා අතර, ලමුන් 25 ක් ද, කාන්තාවන් 30 ක් ද වෙති.

කෙසේ නමුත්, අධිකරන නියෝගය නොකතා ආන්ඩුව එම 103 දෙනා මේවනතෙක් මුලතිවු හි නාවික හමුදා කඳවුරේ සිරකරගෙන සිටී. එපමනක් නොව, නාවික හමුදා කඳවුර තුල, ඔවුන්ට නිසි ආහාරපාන ලැබේ ද? නිසි සෞඛ්‍ය පහසුකම් තිබේ ද? අපහරනයට ලක්වේ ද? ආදී රැඳවුම් කොන්දේසි පිරික්සීම සඳහා කඳවුර තුලට ඇතුලුවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (එච්ආර්සීඑස්එල්) කල ඉල්ලීම් ආන්ඩුව ප්‍රතික්ෂේප කර ඇත. මෙය ජාත්‍යන්තර නීති සහ සම්ප්‍රදායයන් මුලුමනින්ම උල්ලංඝනය කිරීමකි.

මෙයට විරෝධය පල කරමින්, එච්ආර්සීඑස්එල්, දෙසැම්බර් 27 දා, ජනාධිපති දිසානායකට යවන ලද ලිපියේ මෙසේ සඳහන් වෙයි: “1996 අංක 21 දරන එච්ආර්සීඑස්එල් පනතේ 11(d) වගන්තියට අනුව, කොමිෂන් සභාවේ බලතල සහ කර්තව්‍යයන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමනක් නොව, ශ්‍රී ලංකාව තුල රඳවා සිටින ‘ඕනෑම පුද්ගලයෙකුට’ වලංගු වේ. එබැවින්, එම ගුවන් හමුදා කඳවුරට ප්‍රවේශ වීමට සහ එහි සිටින ලමුන් ඇතුලු සියලුම 'සරනාගතයන්ගේ' රැඳවුම් කොන්දේසි නිරීක්ෂනය කිරීමට කොමිෂන් සභාවට ව්‍යවස්ථාපිත බලය ඇත.'

මියන්මාර රාජ්‍යයේ වාර්ගික ප්‍රචන්ඩත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පලා එන රොහින්ග්යානුවන්, ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් අඛන්ඩව සලකනු ලැබුවේ “සරනාගතයන්” ලෙස නොවේ. වත්මන් ජාජබ/ජවිපෙ ආන්ඩුව අනුයන්නේ ද එම ප්‍රතිගාමී පිලිවෙතයි. එම ආන්ඩුවේ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, මුලතිවු හි රඳවා සිටින රොහින්ග්යානුවන් සමිබන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ජනවාරි 08 දා ඩේලි එෆ්ටී පුවත්පතට පවසා තිබුනේ, “මෙතෙක් කරන ලද පරීක්ෂන සහ බුද්ධි අංශ තොරතුරු මත ඉතා පැහැදිලිව පෙනෙන්නේ ඔවුන් සරනාගතයන් නොවන” බවයි.

මෙය “නීති-විරෝධී මිනිස් ප්‍රවාහනයක්” ලෙස අර්ථකථනය කරන විජේපාල මෙසේ පවසයි: “නීතිවිරෝධී සංක්‍රමනිකයන් සඳහා ශ්‍රී ලංකාවේ දොරටු විවෘත කිරීමට අපට හැකියාවක් නැත, මන්ද එය රට තුල තවත් ආර්ථික හා සමාජීය ප්‍රශ්න ඇති කරනු ඇත.” ඒ අනුව, රොහින්ග්යානු සරනාගතයන් යලි මියන්මාරයට යැවීමට තම ආන්ඩුව මියන්මාර රජය සමග සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පවසයි.

ජාජබ/ජවිපෙ ආන්ඩුවේ මෙම නරුම පිලිවෙතට එරෙහි විරෝධය ජාතිකවත්, ජාත්‍යන්තරවත් වැඩෙමින් පවතී. මුලතිවු හි රඳවා සිටික රොහින්ග්යානුවන් නාවික හමුදා කඳවුරෙන් වහා ඉවත් කර “සරනාගත හිමිකම්” ලබාදී පිටමං කිරීම නතර කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ගනනාවක්ම මුලතිවු හි දී සහ ‌කොලඹ දී විරෝධතා පවත්වා තිබේ.

2024 ජනවාරි 2 වැනි දින කොලඹ එක්සත් ජාතීන්ගේ සරනාගතයන් සඳහා වන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත ශ්‍රී ලංකාවේ පදිංචි රොහින්ග්යා සරනාගතයෝ [AP Photo/Eranga Jayawardena]

මානව හිමිකම් සහ සරනාගතයන් සම්බන්ධ ප්‍රකට ශ්‍රී ලාංකික නීතීඥවරයෙකු වන ලක්ෂාන් ඩයස්, ආන්ඩුවේ පිලිවෙතේ නීති-විරෝධී ස්වභාවය පැහැදිලි කරමින්, මෙසේ පවසයි: “සංක්‍රමනිකයෙකු ඔහුගේ/ඇයගේ රටට යලි හරවා නොයැවීම (Non-refoulement) පිලිගත් ජාත්‍යන්තර නීති සංකල්පයක්. සංක්‍රමනිකයෙකු, ඔහුගේ/ඇයගේ අනුමැතියකින් තොරව ආපසු නොයැවිය යුතු බව එම නීතියෙන් ප්‍රකාශ කෙරෙනවා. විශේෂයෙන් ඔවුන්ට (ආපසු නොයාමට) වලංගු හේතු තිබේ නම් එය කිසිසේත් නොකල යුතුයි.'

2017 දී, මියන්මාර ආන්ඩුව, බෞද්ධ මැරයන් සමඟ එක් ව රකායින් (Rakhine) ප්‍රාන්තයේ සිදු කරන ලද මිලිටරි ම්ලේච්ඡත්වයන් තුල රෝහින්ග්‍යානුවන් 25,000 ක් මරා දැමුනු අතර, 750,000 කට දේශසීමා හරහා බංග්ලාදේශයට පලා යාමට සිදු විය. මීට පෙර ද, රාජ්‍ය ප්‍රචන්ඩත්වය හේතුවෙන් 300,000 කට අධික රොහින්ග්යානුවන් රටින් පලාගොස් තිබුනි.

රකායින් ප්‍රාන්තය පාදක කොටගත් වාර්ගික සන්නද්ධ කන්ඩායමක් වන “අරකන් හමුදාව” සහ 2021 දී කුමන්ත්‍රනයකින් බලයට පැමිනි මියන්මාර ජුන්ටාවේ හමුදාව අතර සිදු කෙරෙමින් පවත්නා රුදුරු සිවිල් යුද්ධය හේතුවෙන්, තම දිවි ගලවා ගනුවස් අන්තරායකාරී මුහුදු ගමන් හරහා වෙනත් රටවලට පලා යන රොහින්ග්යානුවන් සංඛ්‍යාව වේගවත් වී ඇත. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, 2024 වසරේ මෙසේ පලාගිය රොහින්ග්යානුවන් සංඛ්‍යාව 7800 ඉක්මවයි. 2023 වසරට සාපේක්ෂව ගත්කල එය සියයට 80 ක වැඩි වීමකි.

සිවිල් යුද්ධය උත්සන්න වෙමින් පවතින තතු තුල මෙම පලායාම් වඩාත් වේගවත් වනු ඇත. ජුන්ටාව විසින් පසුගිය බ්‍රහස්පතින්දා රකායින් ප්‍රාන්තයට එල්ල කල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් 41 දෙනෙකු මියගොස් ඇති බවත්, 50 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවත් වාර්තාවේ.

ජාජබ/ජවිපෙ ආන්ඩුව, රොහින්ග්යානු සරනාගතයින් බලහත්කාරයෙන් මියන්මාරයට පිටමං කිරීම සඳහා, එහි ජුන්ටාව සමග සාකච්ඡා කරමින් සිටින්නේ මෙම තතු තුල යි.

අනුප්‍රාප්තික ආන්ඩු මෙන්ම, මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ මානව-විරෝධී පිලිවෙත ආරක්ෂා කිරීම සඳහා වත්මන් ජාජබ/ජවිපෙ ආන්ඩුවද පලිහක් ලෙස යොදාගනු ලබන්නේ ශ්‍රී ලංකාව, “1951 ජාත්‍යන්තර සරනාගත සම්මුතියේ” කොටස්කරුවෙකු නොවීම යන කරුනයි.

මෙතෙක් එම සම්මුතියේ කොටස්කරුවෙකු නොවීමමත් ශ්‍රී ලංකාවේ ධනපති පාලක පංතියේ ප්‍රතිගාමී ස්වභාවය පැහැදිලිවම පෙන්නුම් කරයි. 26 අවුරුදු වර්ගවාදී යුද්ධය තුල ලක්ෂයකට අධික දෙමල ජනයා මරා දැමූ සහ ලක්ෂ ගනනක් දෙමල ජනයාට උන්හිටි තැන් අහිමිකල මෙම පාලක පංතියට ඇත්තේ, මානව හිමිකම් මුලුමනින්ම නොතැකීමේ කුප්‍රකට වාර්තාවකි.

මුලතිවු හි සිද්ධියට පෙරාතුව ශ්‍රී ලංකාවට පැමිනි රොහින්ග්යානුවන් 100 කට අධික සංඛ්‍යාවක්, අනුප්‍රාප්තික ආන්ඩු විසින් වසර ගනනාවක් පුරා, මිරිහාන “සංක්‍රමනික රැඳවුම් මධ්‍යස්ථානයේ” රඳවාගෙන සිටී. “සරනාගතයින්” ලෙස පිලිනොගැනෙන ඔවුන්ට බන්ධනාගාරගත ජීවිතයකට සමාන ජීවිතයක් ගත කිරීමට සිදුව ඇත.

මානව හිමිකම් කොමිසමට පවා හමුවීමට ඉඩ නොදෙමින්, මුලතිවු හි රඳවා සිටින රොහින්ග්යානුවන් අත්විඳින තත්වය වඩාත් දරුනු ය. ජාත්‍යන්තර නීතියට අනුව, සරනාගතයන් හමුදා කඳවුරක රඳවා තැබීම මුලුමනින්ම නීති විරෝධීය.

'1951 ජාත්‍යන්තර සරනාගත සම්මුතිය” ට අනුව, රැකවරනය පතා කිසියම් රටකට පැමිනෙන “සරනාගතයින්ට', නීත්‍යනුකූලව රැකියාවක යෙදීමේ, මුදල් ගෙවීමකින් තොරව පූර්න සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන් ලබා ගැනීමේ සහ මූලික නිවාස පහසුකම් සහ ආහාර ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීම අදාල රටේ ආන්ඩු සතු වගකීමකි. ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු, මෙම වගකීම මුලුමනින්ම පැහැර හැර ඇත.

යූඑන්එච්සීආර් කාර්යාලයට අනුව, 2024 ජනවාරි 31 වනවිට ශ්‍රී ලංකාවේ සිටි ලියාපදිංචි සරනාගතයින් සංඛ්‍යාව 311 ක් වන අතර, ලියාපදිංචි රැකවරන පතන්නන් සංඛ්‍යාව 180 කි. මොවුන් අතරින් 105 දෙනෙකු රෝහින්ග්‍යානුවන් වේ. මොවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙතෙක් ආධාර ලබාදුන් නමුත් 2024 අවසානයේ සිට එම ආධාර නතර කරන බව යූඑන්එච්සීආර් ප්‍රකාශ කර ඇත.

ගෝලීය ධනේශ්වර ක්‍රමය මුහුන දී සිටින පද්ධතිගත අර්බුදය හමුවේ, රටක් රටක් පාසා පාලක පංතීන් තම අර්බුදයේ බර රුදුරු කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටිති. එයට එරෙහිව වැඩෙමින් පවතින පංති අරගල මැඩීම සඳහා ආඥාදායක පාලන ක්‍රමයන් වෙතට වේගයෙන් හැරෙමින් පවතින ඔවුහු, කම්කරු පංතියේ ශක්තිය දුර්වල කරනුවස් විවිධ වර්ගභේදවාදයන් සහ සංක්‍රමනික විරෝධයන් අවුලුවති.

තව සතියකින් එක්සත් ජනපදයේ ජනාධිපති තනතුරට පැමිනීමට නියමිත ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සංක්‍රමනික-විරෝධී උද්ඝෝෂනයේ පෙරමුනේම සිටී. තමා බලයට පත් වූ පලමු දා සිටම, ලේඛන නොමැති මිලියන සංඛ්‍යාත සංක්‍රමනිකයන් ඔවුන්ගේ දරුපවුල් සමග රටෙන් පිටමං කිරීමේ වැඩපිලිවෙල ආරම්භ කරන බවට ට්‍රම්ප් යලියලිත් සපත වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාත්මක කරමින් සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජාජබ/ජවිපෙ ආන්ඩුව, කම්කරු-පීඩිත මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කෙරෙහි කිනම් ආකල්පයක් දරනු ඇත්ද යන්න, එය රෝහින්ග්‍යානු සරනාගතයන් සම්බන්ධයෙන් දක්වන මානව-විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ප්‍රතිචාරයෙන් මනාව පිලිබිඹු වෙයි.

විකල්පය වන්නේ සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ ව්‍යාපාරයක් සඳහා වන අරගලයයි. එම අරගලයේ තීරනාත්මක අංගයක් වන්නේ, කම්කරුවන්ට තමන් කැමති ඕනෑම තැනක ජීවත් වීමට සහ වැඩ කිරීමට අයිතිය ඇති, පූර්න පුරවැසි අයිතීන් සහිත ජාත්‍යන්තරවාදී මූලධර්මය මත පදනම්ව, සංක්‍රමනිකයන් සහ සරනාගතයින් ආරක්ෂා කිරීමයි.

Loading