මීතොටමුල්ල කසල කන්දෙන් පරිසර දූෂනය දිගටම
අපගේ වාර්තා කරුවන් විසිනි, 2017 ජනවාරි 20
කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති, කොලඹ මහනගර සභාව හා කොලොන්නාව නගර සභාව මගින් කිසිඳු කලමනාකරනයකින් තොරව හා අතිශයින් අනතුරුදායක අකාරයෙන් ඝන අපද්‍රව්‍ය බැහැරලන කසල කන්ද, එම ප්‍රදේශවාසීන්ට පමනක් නොව මුලූමහත් කොලඹ ප්‍රදේශයටම දැවැන්ත, සෞඛ්‍ය හා පාරිසරික තර්ජනයක් ලෙස දිගටම පවතී.
පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුවෙන් මෙම බරපතල ගැටලුවට මොනම විසඳුමක්වත් නොලැබෙන තතු යටතේ දැඩිලෙස කනස්සල්ලට පත්ව සිටි ප්‍රදේශයේ ජනතාවගේ වෛරය ගසා කමින් පාලක වික්‍රමසිංහ-සිරිසේන හවුල 2015 ජනාධිපතිවරනයට පෙර කියා සිටියේ තමන් බලයට පැමිනි සැනින් කොන්දේසි විරහිතව මෙම ස්ථානයේ කුනු දැමීම නවතා, එම භූමිය පාරිසරිකව ප්රතිසංස්කරනය කරන බවයි. නමුත් ප්‍රදේශයට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තා කරුවන්ට ජනතාව කියා සිටියේ මෙය සම්පූර්න රැවටීමක් වූ බවත් රජය පත්වී වසර දෙකකට පසු සිදුවී ඇත්තේ කසල බැහැරකිරීම තවත් සීග්‍ර වීම පමනක් බවත්ය.
අවුරුදු 40ක් පමන කාලයක් කොලොන්නාව නගර සභා ප්‍රදේශයේ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය වශයෙන් පැවති මෙම භූමි භාගයට 2009 සිට කොලඹ නගර සභා ප්‍රදේශයේ කසල ද දැමීම ආරම්භ කිරීමත් සමග මහා පරිමානයෙන් වර්ධනය වී, මේ වන විට අක්කර 23ක් පුරා පැතිර ඇති අතර අඩි 100කට වැඩි උසකින් යුක්ත වේ.
කසල කන්ද නිසා අවට ජනාතව මුහුනදෙන අනතුර පසුගිය වසට දෙක තුල තවදුරටත් ප්රසාරනය වී ඇති ආකාරය ගැන ප්‍රදේශයේ වැසියන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) වෙත කරුනු දැක්වූහ.
තරුනයෙක් වන දිමංක නිරෝෂන් මෙසේ පැවසීය: ”මෙතන තියන ඉස්කෝලේ [මීතොටමුල්ල රාහුල විද්‍යාලය] කරගෙන යන්න බැරි තැනට ඇවිල්ල තියෙන්නේ මේ කුනුකන්ද නිසා. ලමයි ලෙඩ වෙනවා. ගුරුවරු අකමැතියි එන්න මැස්සෝ නිසා. ඉස්සර මේ ඉස්කෝලේ ඕ-ලෙවල් [සාමාන්‍ය පෙල] දක්වා තිබ්බ දැන් තියෙන්නේ පහ වසරට විතරයි. ඉතින් හිතාගන්න මේ ප්‍රශ්නේ තරම... කලින් මහින්ද රාජපක්ෂට පක්ෂව හිටපු කොලොන්නාව නගරාධිපති හා සමහර මන්ත්‍රීවරු දැන් මේ ආන්ඩුවත් පැත්තේ, ඉතින් දැන් මේගොල්ලොත් කුනු කන්ද රකිනවා.”
තම නැගනිය ගේ පවුල සමග සමග කුඩා නිවසක පදිංචිව සිටින අතුල කුමාර කියා සිටියේ, මෙහි කුනු දැමීම නතර කරන ලෙසට උසාවි නියෝගයක්ද කලකට පෙර ලබා දී ඇතිමුත්, විවිධ කරුනු ඉදිරිපත් කර වරින්වර කල් ලබා ගනිමින්, කොලඹ හා කොලොන්නාව නගර සභා විසින් මෙහි කුනු දැමීම දිගටම කරගෙන යන බවයි. පසුගිය වැසි සමයේ කසල කන්දෙන් කොටසක් කඩා වැටුනු බවත්, පොලොව කිඳා බැසීම නිසා ගෙවල් කීපයකටද අලාබහානි සිදුවූ බවත් ඔහු තව දුරටත් පැවසීය. ”එක වතාවක් කිව්වා ජපන් කොම්පැනියක් ගෙනල්ල මේ කුනු අහක් කරන වැඩ පිලිවෙලක් හදනවා කියල. ඊට පස්සේ කිව්වා මෙතෙන්ට රේල් පාරක් දාල මේ කුනු පුත්තලමට ගෙනියනවා කියලා. මේවා සම්පූර්න බොරු.”
2016 මැයි මාසයේ ඇතිවූ ගංවතුර උවදුරින් තමන් පීඩා විඳි ආකාරය විස්තර ඔහු විස්තර කලේය: ”පහුගිය ගංවතුරට මේ මුලු පලාතෙ ගෙවල් අඩි 7ක් විතර යට වුනා. මේ කුනුු කන්දෙන් ආපු ජරාව මේ පැත්තේ විතරක් නෙමෙයි කැලනි ගඟ දිගට හැතැම්ම ගානක් පැතිරුනා. මේ ගෙවල් කුනු වලින් පිරිලා තිබුනේ. වෙන කරන්න දෙයක් නැති කමට අපි පුලුවන් විදියට ගෙවල් සුද්ද කරලා නැවත පදිංචි වුනා. ගංවතුරත් එක්ක හැදිච්ච ලෙඩ හින්ද මේ අවට අය සති ගනන් ඉස්පිරිතාල වල හිටියා. ආන්ඩුවෙන් ලැබුනේ රුපියල් 10,000ක් විතරයි, ඒකත් මාස ගානක් ගිහින්.”
මීට මාස තුනකට පෙර හඳුනා නොගත් විෂබීජයක් ශරීර ගත වීමෙන්, කසල කන්ද අසලම නිවසක විසූ තෙනුලි වියන්ගී නම් අවුරුදු දෙකහමාරක දැරියක් මියගොස් ඇත. ඇයගේ මව එම්. කුමාරි ලෝසවෙඅ වෙත කියා සිටියේ කසල කන්ද නිසා නිතිපතා මේ ප්‍රදේශයේ දරුවන් බරපතල ලෙස රෝගාතුර වන බවත්, තම දියනියට විෂ බීජය ශරීරගත වීමද මේ කසල නිසා සිදුවූ බව වෛද්‍යවරුන් මෙන්ම ප්‍රදේශ වාසින්ද පවසන බවය. ”මුලින් දුවගේ කටේ තුවාල වගයක් ආව, ඊට පස්සේ බහින්නේ නැතිව උන ගත්ත සති ගානක්, පස්සේ ලමා රෝහලට එක්කරගෙන ගිහින්, ඒකේ අයි.සී.යු (දැඩිසත්කාර ඒකකය) එකේ සතියක් ඉඳලා තමයි නැති උනේ. දොස්තරල කලින් කිව්වා මොලේ උනක් කියල, පස්සේ කිව්වා එගොල්ලන්ටත් විෂබීජය මොකක්ද කියල හරියට කියන්න බැහැ කියල.”
ප්‍රදේශ වාසින් ගනනාවක්ම කියා සිටියේ රජය තමන්ව මේ නිවාස වලින් ඉවත් කර ගැනීමේ වෑයමක ද සිටින බවයි. මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ තට්ටු නිවාස සංකීර්න වලට මේ නිවැසියන් යවන බවට බොරු පොරොන්දුවක් යටතේ ජනතාව නිවාස වලින් ඉවත් කිරීමට උත්සාහ කලද එයට දැඩි විරෝධයක් ඇතිවිය. වර්තමාන ආන්ඩුවද අවස්ථා ගනනකදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් නිවැසියන්ට ඉවත්වන මෙන් දැනුම් දී ඇතත්, තමන්ට ලැබෙන විසඳුම කුමක්ද යන්න ප්‍රශ්න කල විට ඔවුන් නිරුත්තර බව ප්‍රදේශ වාසීහු පැවසූහ.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය මින් මින්පෙරද පෙන්වා දී ඇති පරිදි, මීතොටමුල්ල කසල කඳ පිලිබඳ ප්රශ්නය එම ප්‍රදේශවාසීන්ගේ දුක්ගැනවිල්ලකට පමනක් සිඳුවිය නොහැක. මෙය කොලොන්නාව, සේදවත්ත, ගොතටුව, කොටිගාවත්ත, දෙමටගොඩ හා තොටලඟ වැනි ප්‍රදේශ ගනනාවක භූගත ජලය හා වාතය දූෂනය වීමට සෘජුව බලපා ඇත. පසුගිය ගංවතුර සමයේ කසල කන්දෙන් නිකුත් වූ කලු පැහැති දූෂිත ජල කන්ද කිලෝමීටර දෙකක් පමන ඈතින් ඇති කැලනි ගඟ දක්වා විහිදී යනු දක්නට ලැබිනි. කන්දෙන් නිකුත් වන දුගඳ කිලෝමීටර 4 ක් පමන ඈතින් ඇති කලපලූවාව හා වැලිකඩ වැනි ප්‍රදේශ කරාද සමහර දින වල පැතිර යන බව ලෝසවෙඅ කල විමසීම් වලදී වාර්තා හෙලි විය. දැනටමත් බරපතල ලෙස දූෂනයට ලක්ව ඇති කැලනි ගඟ ආශ්රිත තෙත්බිම් හා වෙරලාශ්රිත පරිසර පද්ධතිය මේ කසල කන්ද මගින් යලි හැරවිය නොහැකි ආකාරයේ විශාල පාරිසරික අනතුරකට ලක්කර ඇත.
කොලඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා කොලොන්නාව සංවිධායක එස්. එම්. මරික්කාර් පසුගිය දෙසැම්බර් මාසයේ ගුවන් විදුලි නාලිකාවක සාකච්චාවකට පැවසුවේ මේ ප්රශ්නය විසඳීමට අවශ්‍ය පියවර වලින් සියයට අනූ පහක් රජය විසින් ගෙන ඇති බවත් දෙසැම්බර් 31 දා සිට මෙහි කසල බැහැර කිරීම සම්පූර්නයෙන් නතර කරන බවත්ය. මෙය බොරුවක් බව පෙන්වා දුන් ප්‍රදේශ වාසීන් කියා සිටියේ, සම්පූර්නයෙන් නතර කරනු තබා කුනු දැමීමේ කිසිඳු අඩුවක් වත් සිදුවී නැති බවය.
මරික්කාර් පසුගිය රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව, ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා රාජ්‍ය නොවන සංවිධාන වල සහය ඇතිව මේ කසල කන්ද පිලිබඳ ගැටලුව තොරම්බල් කරමින් නිෂ්පල විරෝධතා සංවිධානය කල අයෙකි. නමුත් මේ කසල කන්දෙන් මතුකර ඇති බරපතල අනතුර පිලිබඳව වර්තමාන ආන්ඩුවට ඇති තුච්ච නොතැකීම ප්‍රකාශ කරමින් ඔහු තව දුරටත් පැවසුවේ තම ප්‍රධාන උත්සුකය නම් මේ වටිනා බිම වැදගත් වානිජ කාර්යයක් සඳහා යොදා නොගැනීම බවයි. ”මෙතන ඉඳල කොලඹ වරායට කිලෝමීටර දෙකක්වත් නැහැ. කටුනායක අධිවේගී මාර්ගයට කිලෝමීටරයක් වත් නැහැ. මේක ආර්ථික මර්මස්ථානයක්... මේ අක්කර 28ක භූමි භාගය ඊලඟ නවීන නගරය හදන්න පාවිච්චි කරන්න ඕනේ”.
දේශපාලන සංස්ථාපිතයේ මේ උත්සුකයන්ගෙන් පෙනී යන්නේ කොලඹ කම්කරුවන් හා දුගීන් මුහුන දී ඇති, මෙවැනි පරිසර ගැටලුත්, පොදු සේවාවන්ගේ බිඳ වැටීමත්, නිවාස අයිතියට එල්ලවී ඇති ප්‍රහාරත් සියල්ල එකට බැඳී තිබෙන බවයි. බ්‍රිතාන්‍ය පාලනය සමයේ සිට සියලු ධනපති ආන්ඩු කොලඹ නගරය නිර්මානය කර ඇත්තේ පොදු මහජනතාවගේ මූලික පහසුකම් ගැන තැකීමක් සහිත මනා සැලසුමකින් නොවේ. විශේෂයෙන්ම 1977න් පසුව පත්වූ සියලු ආන්ඩු අනුගමය කල පුද්ගලීකරනය, අවිධිමත් තැනීම් හා වියදම් කැපීම නිසා මෙවැනි දැවැන්ත පරිසර ගැටලු ගනනාවක් නගරය පුරාම මතුවී ඇත. ඒවායේ අනතුර වර්තමාන නගර වාසීන්ගේ පමනක් නොව ඉදිරි පරම්පරා ගනනකගේද ජීවිත වලට ඉහලින් ලඹදෙයි.
මේ ගැටලු විසඳනු වෙනුවට සියලු අනුප්‍රාප්තික ආන්ඩු වල මෙන්ම වර්තමාන ආන්ඩුවේද උත්සුකය වී ඇත්තේ කොලඹ නගරයේ පොදු බිම් හා දුගී නිවාස ඇති ප්‍රදේශ ලාබ ගරන පුද්ගලික ”ආයෝජන” වලට විවෘත කරගන්නේ කෙසේද යන්නයි. කොලඹ හා තදාසන්න ප්‍රදේශවලින් දුගී ජනයා පලවා හැර මහ ආයෝජකයන් සඳහා ගොඩනැගෙන මොගාපොලිස් ව්‍යාපෘතියක් දියත් කර ඇති ආන්ඩුව පරිසර විනාශයෙන් වද විඳින මීතොටමුල්ල හා කොලොන්නාව ජනයා මතට මීලඟට එම ප්‍රහාරය කඩා පත් කරනු ඇත.
Follow us on