කොරෝනා අගුලු දැමීමෙන් ලංකාවේ උතුරු පලාතේ ධීවරයෝ දුෂ්කරතාවට ඇද වැටෙති

[මෙම ලිපිය 2020 නොවැම්බර් 14 වැනි දින ලෝ්සවෙඅ දෙමල සංස්කරනයේ පල වූ ලිපියක පරිවර්තනයකි.]

ලංකාව තුල කොවිඩ්-19 වෛරසය පැතිර යාම හේතු කොට ගෙන මත්ස්‍යන්, ඉස්සන්, කකුලුවන් සහ දැල්ලන් වැනි මුහුදු ආහාර අපනයන සමාගම්වල ව්‍යාපාර කටයුතු ඇන හිටීම හෝ අඩාල වීම හේතුවෙන් ඒ මත යැපුනු උතුරු පලාතේ ධීවරයෝ දුෂ්කරතාවන්ට මුහුන දී සිටිති.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙලඳපොලේ ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් අතරේ කොවිඩ්-19 වේගයෙන් පැතිර යාම හේතුවෙන් ඔක්තෝබර් 21 වැනි දා එම වෙලඳපොල වසා දමනු ලැබුනි. මෙයින් දිවයින පුරා මධ්‍යම වෙලඳපොලට ධීවර නිෂ්පාදන සැපයූ ධීවරයන්ට ආදායම් අහිමි ව ඇත. ඒ සමග ම, දේශීය වෙලඳපොල මත රැඳුනු ධීවරයන් ද එම අවදානමට පත් ව සිටිති.

මේ තත්ත්වය ගසා කමින්, ඇතැම් කම්පැනිකාරයන් වෙලඳපොල විවෘත කරද්දි වැඩිමිල ගනන් වලට විකිනීමේ අදහස ඇති ව කුනු කොල්ලයට ධීවර නිෂ්පාදන මිලට ගන්නා බව පූනගරි ප්‍රදේශයේ ධීවරයෙක් ප්‍රකාශ කලේ ය.

මෙම ධීවරයෝ මුහුදු වෙරලාශ්‍රිත ව මසුන් ඇල්ලීමෙන් එදිනෙදා වේල සපයා ගත්තෝ වෙති. මෙම මසුන් වෙලඳපොල වෙත පැමිනියත් ඒවායේ මිල බොහෝ සෙයින් පහත වැටී ඇත. ඇතැම් අවස්ථාවල, මසුන් ඉවත දැමීමට හෝ අසල්වාසීන්ට නොමිලේ ලබා දීමට සිදු වන බව සංගානෛහි මාලු වෙලඳාම් කරන කාන්තාවක් පැවසුවා ය.

රුපියල් 800ට විකිනූ දැල්ලන් දැන් රුපියල් 300කටත්, රුපියල් 600ට විකිනූ ඉස්සන් දැන් රුපියල් 300ටත් විකිනීමට සිදු ව ඇතැයි ධීවරයෝ පවසති.

කයිට්ස් ධීවර සමූපකාර සමිතියේ සභාපති අන්නලිංගම් අන්නරාජා ඩේලි මිරර් පත්‍රයට පැහැදිලි කරමින්, “උතුරේ කරවල කිලෝ 1000කට අධික ප්‍රමානයක් විකුනා ගැනීමට නොහැකි ව තිබෙනවා. පෑලියගොඩ වෙලඳපොල වසා දැමීමෙන් අප කිසිත් කර කියා ගත නොහැකි තත්ත්වයකට පත් ව සිටිනවා. අපේ ධීවරයන්ට ආදායම අහිමි ව ගොස් තියෙනවා” යැයි පැවසී ය.

කයිට්ස් යනු යාපනය දිස්ත්‍රික්කයේ දූපත් අතරින් එකකි. මෙහි වෙසෙන ධීවරයෝ නොගැඹුරු මුහුදේ යල් පිනූ උපක්‍රම, හබල් පාරු යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ නිරත දුගී පිරිසක් වෙති.

අනුප්‍රාප්තික ආන්ඩු බෙදුම්වාදී දෙමල ඊලම් කොටි සංවිධානයට එරෙහි ව ගෙන ගිය යුද්ධය නිමා ව වසර 10ක් ගත ව ඇතත්, උතුරේ වෙරලබඩත් දූපත් ප්‍රදේශවලත් නාවික හමුදාව තවමත් කඳවුරු බැඳ ගෙන සිටී. මේ හේතු කොට ගෙන මසුන් ඇල්ලීමේ රෙකුලාසි සහ කායික හිරිහැර ඇතුලු නොයෙක් තර්ජනයන්ට ධීවරයෝ මුහුන දී සිටිති.

උතුරේ මුලතීවු, මන්නාරම, කිලිනොච්චි සහ යාපන අර්ධද්වීපයේ මූදු රැකියාවෙන් රැකෙන පවුල් ගනන 38 334කි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව මේ ධීවරයන්ට හෝ දුගී ජනතාවට හෝ සහනාධාර සපයා නැත. හුදෙකලා කරන ලද ප්‍රදේශවල රුපියල් 5 000 දෙන බවට ප්‍රසිද්ධ කර ඇතත්, එය සියල්ලන්ට ම ලැබුනේ නැතැයි ජනතාව පවසති.

යාපන දිස්ත්‍රික්කයේ 18 දෙනෙකු කොරෝනා ආසාදිත ව ද, පවුල් 1 419ක් නිරෝධායනය කර ඇති බව ද යාපන දිස්ත්‍රික් ලේකම් කේ. මහේසන් මාධ්‍යට ප්‍රකාශ කලේ ය. කරවෙට්ටි ප්‍රදේශ ලේකම් බල ප්‍රදේශයේ රාජකිරාමම්, යාපනය ප්‍රදේශ ලේකම් බල ප්‍රදේශයේ පාසෙයූර්, තිරුනගර් යන ධීවර ගම්මාන ද හුදෙකලා කරනු ලැබ ඇත.

මේ වෙද්දි, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දෙ දෙනෙකුට කොරෝනා ආසාදනය වීම නිසා 310 දෙනෙකු ස්වයං නිරෝධායනයට පත් කර ඇත. රජයේ බලධාරීන්ට අනුව ඒ අතරින් 197 දෙනෙකුට පමනක් ආහාර ද්‍රව්‍ය සම්පාදනය කරනු ලැබ ඇත.

ධීවර කටයුතු ඇමති ඩග්ලස් දේවානන්දට ධීවරයෝ කීප දෙනෙක් “කොවිඩ්-19 ගැටලුව නිසා මසුන් විකුනා ගත නොහැකි” යැයි පැමිනිලි කල විට “යාපනයේ පෞද්ගලික මාලු මිල දී ගන්නා සමාගම් කිලෝ 5000ක් වන තෙක් මිලට ගැනීමට පොරොන්දු වූ බව” පවසමින් තත්ත්වය මග හැර සිටියේ ය.

ඒ සමග ම, දේවානන්ද කොම්පැනිකාරයන් ඉල්ලන ගනනට මාලු විකුනන්න යැයි ද ඒ ගනන්වලට හෝ මසුන් මිලදී ගැනීම ගැන සතුටු විය යුතු බව පවසමින් ඔවුන්ට එරෙහි ව කිසිවක් කල නොහැකි බව ප්‍රකාශ කලේ යැයි ගුරුනගරයේ ධීවරයෝ කීප දෙනෙක් තම දුක ප්‍රකාශ කලහ.

දැනට වසා දමා ඇති ධීවර වරායවල “විශබීජහරනයෙන් පසු, නිසි සෞඛ්‍ය පියවර සමගින් නැවතත් ඒවා විවෘත කිරීමෙන් ප්‍රශ්නය විසඳෙනු ඇති බවට” පැවසූ ඇමති පීඩාවට පත් ධීවරයන්ට සහනයක් හෝ වන්දියක් සම්බන්ධයෙන් කට ඇරියේ නැත.

මන්ඩතීවුහි පදිංචි ධීවරයෙකු වන නිශාන්තන්, පෑලියගොඩ මාලු වෙලඳපොල වසා දැමීම හේතුවෙන් තම ප්‍රදේශයේ මත්ස්‍ය තොග මිල දී ගන්නා ආයතන දැන් කුනු කොල්ලයට මිල දී ගැනීම් කරන බව සඳහන් කලේ ය. “මුලින් කිලෝවක් රුපියල් 1 300කට පමන තොග මිලකට ගිය අපනයනය කරන සුදු කකුලුවන් දැන් ගුරුනගරයේ දී රුපියල් 800කටත්, මන්ඩතීවුවල දී රුපියල් 700-750ක් වගේ ගනනකට තමයි යන්නෙ.” යැයි ඔහු පැවසී ය.

“අපනයන මසුන් පෙර දී රුපියල් 1000-1200 දක්වාත්, ට්‍රෝලර් යාත්‍රා මගින් අල්ලා ගත් ලොකු ඉස්සන් කිලෝවක් රුපියල් 2 200 දක්වාත් මිලකට ගියා. ඒත් දැන් මාලු කිලෝව රුපියල් 300-350කටත්, ඉස්සන් රුපියල් 1200ක් වැනි මිලකටත් වැටිලා. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගනන් ඉහල ගියත් අප නිෂ්පාදනය කරන දේ කුනු කොල්ලයට අර ගන්නවා. මෙයින් අපේ ජීවනෝපාය දැඩි බලපෑමකට ලක් ව තියෙනවා.” යැයි ඔහු වැඩිදුර පැවසී ය.

පූනගරිහි පදිංචි ක. රදීසන් හය දෙනෙකු සමග හවුලේ ධීවර කර්මාන්තයේ යෙදෙන බව සඳහන් කලේ ය. “ලැබෙන ආදායම හය දෙනෙකුට බෙදන්න ඕන. දවසකට මූදු යන්න රුපියල් 8000කට වඩා වැය වෙනවා. මුලු ආදායමින් වියදම් අඩු කරලා ඉතිරිය තමයි බෙදා ගන්නෙ. පැය 12ක් නිදි මරා ගෙන මූදු ගිහිල්ලත් ලැබෙන ආදායම ප්‍රමානවත් නෑ. අල්ලගත්ත මාලු විකුන ගන්න බැරි වුනා.”

ඔහු වැඩිදුර මෙසේ ප්‍රකාශ කලේ ය: “ආදායම මදි නිසා එදිනෙදා වේල පිරිමසා ගැනීමට අවශ්‍ය දේවල් පවා කඩේට නය වෙලයි අර ගන්නෙ. අන්තිමට නය රුපියල් 230 000ක් වන තරමට ගොඩ ගැහිලා. මාසික සීට්ටුවලට බැඳුනා. ඒවාට රුපියල් 7000ක් නැති නම් 5000ක් බඳින්න ඕන. ගත්තු නයක රුපියල් 10 000ක පොලිය ගෙවන්න රුපියල් ලක්ෂයක් නය වෙලා ඉන්නෙ. තත්ත්වය දිගට ම මේ විදියට ගියොත් මින් ගොඩ යාමක් නෑ.”

කයිට්ස්හි පදිංචි තම්බයියා කුලේන්ද්‍රන් ගේ පවුලේ හතර දෙනෙක් සිටිති. “රස්සාව කරන එක නතර කලා. අපිට ජීවිතය ගැට ගහගන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල දෙ ගුන වෙලා. මොන ම දෙයක්වත් මිලට ගන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. කෝමද නිරෝගී ව ජීවත් වෙන්නෙ? වෛරසයෙන් අපි ආරක්ෂා වෙන්නෙ කෝමද? මේ හැම දෙයක් ම දුෂ්කර කාරනයක්.” යැයි ඔහු පැවසී ය.

යාපනයේ සිට කිලෝ මීටර් 25ක් දුරින් පිහිටා ඇති පුංගුඩුතීවු දූපතේ පදිංචි නාගේන්ද්‍රන් නිත්‍යකුමාර් සෑම වසරක ම අලුත් දැල් වියමින් මාලු ඇල්ලුවත් මෙවර ආර්ථික අර්බුදය නිසා අලුත් දැල් වියා ගත නොහැකි වීමෙන් මාලු ඇල්ලීම අඩු වුනා.”

ඔහු තව දුරටත් පවසා සිටියේ, “මාලු විකුනා ගන්නවත් බෑ. කලින් රුපියල් 600ට විකිනූ මාලු දැන් රුපියල් 100කටවත් දී ගන්න බෑ. කිලෝවක් රුපියල් 4 800කට විකිනූ කකුලුවන් රුපියල් 1000කටයි දැන් යන්නෙ. සති දෙකක් තිස්සෙ මොන ම විදියකවත් ආදායමක් නැති ව සෑහෙන අමාරුකම්වලින් ඉන්නෙ. පිටරට ජීවත් වන නෑදැයන් මිලට ගෙන දුන් හාල්, පිටි, සීනි ආදියෙන් දවස් 10ක් පිරිමහ ගත්තා. ඉදිරි දවස් කෝම ගෙවා ගන්න ද කියලා හිතා ගන්න බෑ. කුලී රස්සාවක්වක් හොයා ගන්න අමාරුයි”.

“දැන් එදිනෙදා අවශ්‍යකරන දේවල මිල දෙගුනයක් වූ තත්ත්වයක් ඇතුලෙ ආන්ඩුව ප්‍රකාශයට පත් කල පාලන මිල හුදු සන්දර්ශනයක් පමනක් බවට පත් ව තියෙනවා. ආන්ඩුව නියම කල මිලට වඩා වැඩි මිල ගනන්වලට කඩවල බඩු විකුනනවා. වෛරසය වලක්වන්න ආන්ඩුව සීමා කිරීම් දානවා. හැබැයි, හාමත් වන අපව රැක ගන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. කවුරුවත් උදවු කරන්නෙ නෑ.”

වේලනෙයි පදිංචි 29 හැවිරිදි තරුනයෙකු තමන්ට ඔරුවක් නැති නිසා දැල් යොදමින් මසුන් අල්ලමින් ජීවත් වෙයි. “රටේ ජනතාව පරිස්සම් කරන්න ආන්ඩුව ලෑස්ති නැති නිසා වසංගතය නවත්වන්න රට වැහුවෙ නෑ. ගෙවුනු පසුගිය සතියක කාලය තුල මට කිසි ම ආදායමක් නෑ. නෑදැයන්ටත් කඩේටත් නය වෙලා තමයි දරු පවුල ජීවත් කරන්නෙ. මයික්‍රොලෝන් එකක් අර ගෙන පරන බෝට්ටු එන්ජිමක් අර ගත්තා. හම්බුකරපුවා නය වාරික ගෙවන්න විතරක් සෑහුනා. එන්ජිම කැඩිලා ගියා. ඊට පස්සෙ කිලිනොච්චියට ගිහින් කුලී වැඩ කලා. මුල් ම ලොක්ඩවුන් එක අයින් කලාට පස්සෙ ඇවිත් පරන පුරුදු විදියට දැල එලලා මාලු අල්ලන්න පටන් ගත්තා” යැයි ඔහු පැවසී ය.

“අපි ඡන්දය දුන් දේශපාලකයෝ අපව අතෑරියා. අපව ඇවිල්ලවත් බැලුවෙ නෑ. දැන් ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද තමන්ට තව ආසන කීපයක් දීල තිබුනා නම් ප්‍රශ්න විසඳන්න තිබුනා යයි කියනවා. ඒම නොදුන් එකට අපෙන් පලිගන්නවා වගෙයි” යැයි ඔහු පැවසී ය.

Loading