ව්‍යාජ-වාම හතරවන ජාත්‍යන්තරයේ බියුරෝව නසසපයේ සාමාජිකත්වය අත්හිටුවීම නිවේදනය කරයි

ජාත්‍යන්තර පැබ්ලෝවාදී සංවිධානයේ විධායක මන්ඩලය වන හතරවන ජාත්‍යන්තරයේ බියුරෝව (එෆ්අයිබී), සිය ශ්‍රී ලංකා ශාඛාව වන නව සම සමාජ පක්ෂයේ (නසසප) සාමාජිකත්වය අත්හිටුවන බවට පසුගිය මාසයේ නිවේදනයක් නිකුත් කරමින් මීලඟ ලෝක සම්මේලනයේ දී නසසපය සංවිධානයෙන් ඉවත් කිරීමට තීන්දු කරන බව ද සඳහන් කලේ ය.

නසසප අවස්ථාවාදයෙන් වෙන් වීමට එෆ්අයිබීය ගත් තීන්දුව අත්‍යන්තයෙන් ම කුහක ය. එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) යන පාලක පන්තියේ ප්‍රධාන පක්ෂ දෙක ඇතුලු ශ්‍රී ලංකාවේ ඒ හෝ මේ ධනපති කන්ඩායමට කම්කරු පන්තිය යට කිරීමට උත්සාහ දරමින් සිය ශ්‍රී ලංකා ශාඛාව ගැසූ සෑම අවස්ථාවාදී කරනමකටම පැබ්ලෝවාදීන් දශක තුනක් තිස්සේ අනුමැතිය දී තිබේ.

1986 සර්ව පාක්ෂික සම්මේලනය: ජනාධිපති ජයවර්ධන එවක නසසප නායකයෙකුවූ වාසුදේව නානායක්කාරට (වමේ) අතට අත දෙමින්.

එෆ්අයිබීය නසසප සාමාජිකත්වය අත්හිටවූයේ, කම්කරු පන්තියට පහර එල්ල කිරීමේ, ප්‍රජාතන්ත්‍ර-විරෝධී විධික්‍රම යොදා ගැනීමේ හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග පෙලගැසීමේ දීර්ඝ ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේ පැරනිතම ධනේශ්වර පක්ෂය වන එජාපයේ ලැයිස්තුවෙන් නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න අගෝස්තු 5 මැතිවරනයට තරඟ කිරීමෙන් පසුව ය.

එජාපය යනු කම්කරු පන්තිය මත පදනම් වන ප්‍රතිසංස්කරනවාදී “සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්” බවත්, “(ජනාධිපති) ගෝඨාභය රාජපක්ෂගේ කඳවුරෙහි ෆැසිස්ට්වාදය” පරාජය කිරීම සඳහා තමන් එජාපය සමග “එක්සත් පෙරමුනක” සිටින බවත් විකාර සහගත ලෙස ප්‍රකාශ කරමින්, නසසපය තම ක්‍රියාව සාධාරනීකරනය කලේ ය.

එජාපය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් නො වන බවත්, “කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය” ඇතුලු තම “මූලික මූලධර්ම” නසසපය විසින් බිඳ දමා ඇති බවත්, එහි නිවේදනය තුල එෆ්අයිබීය උපාසක විලාසයෙන් ලෙස ප්‍රකාශ කර ඇත.

එෆ්අයිබී නිවේදනයට ඇත්තේ ගිලෙන නැවකින් පැන යන මීයන්ගේ ස්වභාවයකි. නසසපය වසර ගනනාවක් තිස්සේ, එජාපය ප්‍රජාත්නත්‍ර අයිතීන් ආරක්ෂා කරන්නෙකු ලෙස ලජ්ජා විරහිත ලෙස හුවා දක්වමින්, එහි සියලු ක්‍රියාවන් අනුමත කල බව පැබ්ලෝවාදීහු හොඳින් දැන සිටිය හ. එහෙත්, එෆ්අයිබීය නසසපය සමග සබඳතා බිඳ දැමීමට තීරනය කලේ, අගෝස්තු මැතිවරනයේ දී එජාපය එදා මෙදාතුර පහල ම අඩියට වැටෙමින්, එක් ආසනයක් පමනක් දිනා ගැනීමෙන් පසුව පමනි.

නසසපය, එෆ්අයිබීහි මූලික මූලධර්ම අත් හැර දමා තිබුනු බවට එය කරන ප්‍රකාශය, මුලුමනින් ම නරුම ය. එෆ්අයිබීහි සම්භවය ඇත්තේ, දෙවන ලෝක යුද්ධයෙන් අනතුරු ව, හතරවන ජාත්‍යන්තරය තුල ඉස්මතු වූ මයිකල් පැබ්ලෝ හා අර්නස්ට් මැන්ඩෙල් නායකත්වය දෙන ලද, අවස්ථාවාදී ප්‍රවනතාවක් තුලයි. පැබ්ලෝවාදීන්ගේ “මූලික මූලධර්මය” වූයේ “කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය” සඳහා අරගලය මුලුමනින්ම අත් හැර දමමින්, සෑම රටක් තුල ම විවිධාකාර ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ධනේශ්වර ජාතිකවාදී පක්ෂ විසින් ආධිපත්‍යය දරන ලද, ජාතික “මහජන ව්‍යාපාර” තුලට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ශාඛා දිය කර හැරීමට උත්සාහ කිරීමයි.

ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී නායක ජේම්ස් පී. කැනන් 1953 දී නිකුත් කරන ලද “විවෘත ලිපියෙන්” කල කැඳවීම වටා එක් වූ අව්‍යාජ ට්‍රොට්ස්කිවාදීහු, ට්‍රොට්ස්කිවාදයේ මූලික මූලධර්ම ආරක්ෂා කිරීමේ අරගලය ඉදිරියට ගෙන යාම පිනිස, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ජාත්‍යන්තර කමිටුව) බිහි කල හ. හතරවන ජාත්‍යන්තරයේ එක්සත් ලේකම් මන්ඩලය (යූසෙක්) ගොඩ නැගීම සඳහා, කැනන් හා ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය (සකප) පැබ්ලෝවාදීන් සමග මූලධර්ම විරහිත ලෙස යලි එකමුතු වීමට, 1963 දී ජාත්‍යන්තර කමිටුව විරුද්ධ විය.

නසසප සාමාජිකත්වය අත්හිටුවීම සඳහා එෆ්අයිබී අවසානයේ ගත් තීරනයට, 1964 දී අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රීලනිප ආන්ඩුවට එක් වූ විට, ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා යූසෙක් ගත් තීරනය සමග සමාන්තරයන් පවතී. ධනේශ්වර ආන්ඩුවක් සමග එක් වෙමින්, කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය පාවා දුන් ලොව පලමු නාමික ට්‍රොට්ස්කිවාදී පක්ෂය වූ ලසසපය එසේ කරන අවස්ථාව දක්වා ම, එහි දේශපාලන පල්ලම් බැසීම පැබ්ලෝවාදීන් විසින් ආවරනය කරනු ලැබ එයට අනුබල දී තිබුනි. [ශ්‍රී ලංකාවේ මහා පාවා දීම ]

1953 වන විට හතරවන ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව වූ ලසසපය, පැබ්ලෝ හා මැන්ඩෙල්ගේ අවස්ථාවාදය විවේචනය කල ද විවෘත ලිපියට සහාය දීම හා ජාත්‍යන්තර කමිටුවට බැඳීම ප්‍රතික්ෂේප කලේ ය. ශ්‍රී ලංකාවේ සිය මහජන පක්ෂය පිලිබඳ ව දශකයකට අධික කාලයක් තිස්සේ පාරම් බෑ පැබ්ලෝවාදීහු, ශ්‍රීලනිපයට හා එහි විෂකුරු සිංහල ජනතාවාදයට ලසසපයේ අනුගත වීම අනුමත කල හ.

1956 මැතිවරනයේ දී, සිංහල භාෂාව එක ම රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ ශ්‍රීලනිපයේ “සිංහල පමනක්” පිලිවෙත විවේචනය කල ලසසප, එය “ජාතිය බෙදීමට තුඩුදෙන්නේ ය” යි පැවසීය. එහෙත්, 1958 දී ශ්‍රීලනිපය නායකත්වය දුන් ආන්ඩුවට “අනුකූලතා සහයෝගිතාව” ප්‍රදානය කල ලසසප, 1960 ජූලි මැතිවරනයේ දී ශ්‍රීලනිපය සමග නිතරඟ ගිවිසුමකට ඇතුලත් විය.

මේ සියලු පියවරයන්ට අනුමැතිය දුන් පැබ්ලෝවාදීහූ, ලසසපය ශ්‍රීලනිප ආන්ඩුවකට ඇතුලු වීම සඳහා මාවත පාදා දුන් හ. 1960 දී ලසසපය වෙත ලිපියක් එවූ ඔවුහු මෙසේ උපදෙස් දුන් හ: “විජිත හෝ අර්ධ-විජිත රටක් තුල (මධ්‍යම පන්තික වේවා ධනපති වේවා) කම්කරු පන්තික නො වන ආන්ඩුවකට විප්ලවවාදී පක්ෂයක් විසින් විවේචනාත්මක සහයෝගය පුද කිරීමේ හැකියාව අපි පිලිගනිමු.”

හජාජාක ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වූ, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) 1968 දී ස්ථාපිත කරන ලද්දේ, 1964 දී ලසසපය බන්ඩාරනායක මැතිනියගේ ආන්ඩුවට ඇතුලත් වීමට විරුද්ධ ව ය. එම පාවාදීම හුදෙක් ලසසප නායකයන්ගේ වගකීමක් පමනක් නො ව, යූසෙක්හි නායකත්වයෙහි පැබ්ලෝවාදී අවස්ථාවාදයේ නිර්මිතයක් ය යන අවබෝධය මත එම විරුද්ධත්වය පදනම් විය.

එහෙත් නසසපය කිසිවිටෙක ලසසපයේ පන්ති සහයෝගිතාවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කලේ නැත. කරුනාරත්න ඇතුලු නසසප නායකයන් ඔවුන්ගේ දේශපාලන වෘත්තීය 1960 ගනන්වල දී ආරම්භ කලේ ලසසප සාමාජිකයන් ලෙස ය. කෙටි කලක් පැවතුනු බන්ඩාරනායක ආන්ඩුවට ලසසප ඇතුලු වීමෙන් පසුව මෙන් ම, ස්ටැලින්වාදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද ඇතුලත් කරගෙන 1970 දී බලයට පැමිනි දෙවන ශ්‍රීලනිප-ලසසප සභාග ආන්ඩුව සමයේ ද ඔවුහු ලසසපය ඇතුලත සිටිය හ.

හදිසි නීතිය පැනවීම, දෙමල-විරෝධී ප්‍රජාගනවාදය තීව්‍ර කිරීම හා ගම්බද තරුනයන් දහස් ගනනක් සමූල ඝාතනය කරමින් 1971 ජනතා විමුක්ති පෙරමුනේ නැගී සිටීම තලා දැමීමට, දෙවන බන්ඩාරනායක සභාග ආන්ඩුව වගකිව යුතු විය. සිංහල බහුතරයේ ප්‍රධාන ආගම වූ බුද්ධාගමට හා සිංහල භාෂාවට ප්‍රමුඛතාව ලබා දෙමින් 1972 දී බලාත්මක කරන ලද වාර්ගික ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට වගකිව යුතු ඇමතිවරයා වූයේ ලසසප නායකයෙකු වූ කොල්වින් ආර්. ද සිල්වා ය.

1975 දී බන්ඩාරනායක ලසසපය සභාග ආන්ඩුවෙන් එලියට දැමූ විට, ලසසපය කම්කරු පන්තියේ හා ගම්බද දුගීන්ගේ දෑස් ඉදිරියේ මුලුමනින් හෙලිදරව් වී තිබුනි. එහෙත්, 1977 මහ මැතිවරනයේ දී ලසසපය අන්ත පරාජයට පත්වන තෙක් ම, එය තුල රැඳී සිටි කරුනාරත්න හා නසසප නායකයන්, එය අත් හැර අලුත් පක්ෂයක් තැනුවේ ඉන් පසුව පමනි. 1978 දී නසසපය බිහි කරන ලද අතර, සභාගවාදයේ හා පන්ති සහයෝගිතාවේ දේශපාලනය වූ ලසසප සම්ප්‍රදායන් දිගට ම ගෙනයාමට දිවුරුම් දුන්නේය.

යූසෙක් වෙතින් බිඳී ගිය කන්ඩායමක් වන කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුවට (සීඩබ්ලිව්අයි)1981 දී නසසපය බැඳුනු අතර, එහි ආශීර්වාදය සහිත ව ඊ ලඟ දශකය තුල තම ද්‍රෝහී භූමිකාව අඛන්ඩ ව ඉදිරියට ගෙන ගියේය.

නසසපය දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෙකු ලෙස ප්‍රකාශයට පත් කරන එජාපය, 1977 දී බලයට පැමින, ඒකාධිපතිවාදී විධායක ජනාධිපති ධූරය ස්ථාපිත කරන ලද ප්‍රජාතන්ත්‍ර-විරෝධී ව්‍යවස්ථාව බලාත්මක කලේ ය. එහි නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන, ප්‍රථම විධායක ජනාධිපති ලෙස පත් වී, පුද්ගලීකරනය, සමාජ වියදම් කප්පාදුව සහ රැකියා, වැටුප් හා සේවා කොන්දේසි විනාශ කිරීමට තුඩු දුන් වෙලඳපොල ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල ආරම්භ කලේ ය.

කම්කරු පන්තිය තුල විරෝධය ඉස්මතු වෙද්දී, එය කිසිදු දේශපාලන අරගලයක් කිරීමෙන් වැලැක්වීම සඳහා නසසපය තීරනාත්මක භූමිකාවක් ඉටු කලේ ය. 1980 රාජ්‍ය අංශයේ කම්කරුවන් නිරත වුනු මහා වැඩ වර්ජනයක් මධ්‍යයේ, ආන්ඩුව බලයෙන් පහ කිරීම සඳහා විකොස කල කැඳවුමට නසසපය හා එහි වෘත්තීය සමිති විරුද්ධ වූ හ. නසසපයේ පිලිවෙත වැඩ වර්ජිත කම්කරුවන් 100,000ක් නෙරපා දැමීම සඳහා ජයවර්ධනට මාවත පාදා දුන්නේ ය.

අඛන්ඩ සමාජ කැලඹීමට මුහුන දුන් ජයවර්ධන පාලන තන්ත්‍රය, කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා දෙමල-විරෝධී ස්වෝත්තමවාදී ප්‍රකෝපකරනයක් ඇවිලවී ය. 1983 දිවයින පුරා සිදු කල දෙමල ජන සංහාරය තුලින් කුලුගැන්වුනු මෙම ප්‍රකෝපකරනය, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ම්ලේච්ඡ වාර්ගික යුද්ධයේ ආරම්භය සනිටුහන් කලේ ය.

අඛන්ඩ සමාජ කැලඹීම හා මිලිටරි පෙරමුනේ අර්බුදයට මුහුන දුන් ජයවර්ධන, විරුද්ධ පක්ෂවල සහයෝගය ගොනු කර ගැනීම සඳහා 1986 දී වට මේස සාකච්ඡාවක් කැඳවී ය. ඇද වැටෙමින් තිබූ ධනේශ්වර පාලනයට මුක්කුව දීම පිනිස කොලඹ දේශපාලන සංස්ථාපිතය සැලසුම් කල මේ රැස්වීමට නසසපය උද්‍යෝගිමත් ව සහභාගි විය.

1987 ජූලි මාසයේ දී ජයවර්ධන ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමග ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කලේ ය. මෙම ගිවිසුම යටතේ, දෙමල ප්‍රභූවට උතුරු-නැගෙනහිර පලාත් තුල සීමිත බලතල ප්‍රදානය කරන ලද අතර, එල්ටීටීඊය නිරායුධ කොට දෙමල වැසියන් අතර කැරලිකාරිත්වය මර්දනය කිරීම සඳහා ඉන්දියානු “සාම-සාධක” භටයන් යවනු ලැබිනි. මේ සියල්ල ප්‍රගතිශීලී යයි නසසපය විසින් උත්කර්ෂයට නංවන ලදී.

ඇත්ත වශයෙන්ම, ජයවර්ධන ගිවිසුම අත්සන් කලේ, දිවයිනේ දකුනු පලාත්වල ගම්බද සිංහල තරුනයන් අතර වැඩෙමින් තිබුනු අතෘප්තියට එරෙහි ව හමුදාව හා පොලීසිය යොදා ගැනීම පිනිස දෑත් නිදහස් කර ගැනීමට ය. සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ සමග සන්ධානයක් සඳහා වන අදහස සමග සෙල්ලම් කිරීමෙන් පසු, ජාතිය බෙදන්නේ ය යන ප්‍රතිගාමී වාර්ගික පදනමින් ගිවිසුමට විරෝධය අවූලුවමින් සිටි ජවිපෙට එරෙහි ව එජාප ආන්ඩුව ආපසු හැරුනි.

කම්කරුවන්, වෘත්තීය සමීති නායකයන් හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි ව ජවිපෙ ගෙන ගිය මිනීමරු ඝාතන මධ්‍යයේ, කම්කරු පන්තිය හා එහි සංවිධාන ආරක්ෂා කර ගැනීම සඳහා සංයුක්ත පියවරයන් ගැනීමට කම්කරු-පන්තික පක්ෂවල එක්සත් පෙරමුනක් සඳහා විකොස කැඳවුම් කලේ ය. මෙම කැඳවුම ප්‍රතික්ෂේප කල නසසපය, 1988 හා 1990 අතර ගම්බද තරුනයන් 60,000ක් සමූල ඝාතනය කල මිලිටරියට සම්බන්ධ ඝාතක කල්ලි දියත් කල එජාප ආන්ඩුවේ පැත්ත ගත්තේ ය.

1989 දී සීඩබ්ලිව්අයි වෙතින් බිඳී ගිය නසසප, 1991 දී පැබ්ලෝවාදී යූසෙක් වෙත බැඳුනු අතර, ඉන් පසුව එලඹුනු දශක තුන පුරා යූසෙක් නසසපයේ දේශපාලන ද්‍රෝහීත්වයට අනුබල දීමට කටයුතු කලේ ය.

එජාප පාලන තන්ත්‍රයේ මර්දනකාරී පාලනයට එරෙහි ව වැඩුනු විරෝධය විසින් 1990 ගනන්වල මුල් කාලය සලකුනු කරන ලද්දේ ය. අනෙකුත් ව්‍යාජ-වාම සංවිධාන සමගින් චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය දුන් ශ්‍රීලනිපය වටා රොක් වුනු නසසප, එල්ටීටීඊය සමග යුද්ධය අවසන් කොට ජීවන තත්ත්වයන් වැඩි දියුනු කරන බවට ඇය දුන් පච පොරොන්දු තොරොම්බල් කලේ ය. එසේ කිරීම මගින් විවෘත ව ධනේශ්වර පක්ෂයක් වන ශ්‍රීලනිපයට කම්කරු පන්තිය යටත් කල ඔවුහු, මහජන ව්‍යාපාරය පීලි පන්නවා 1994 දී කුමාරතුංගට ජනාධිපති ධුරය දිනා ගැනිමට උදව් කල හ.

යුද්ධය හා එජාපයේ වෙලඳපොල-ගැති ප්‍රතිව්‍යුහකරන තීව්‍ර කරමින් කුමාරතුංග ඇයගේ සියලු පොරොන්දු බිඳ දැම්මා ය. ආන්ඩුව කෙරෙහි විරෝධය වැඩෙද්දී, තම ගරිල්ලා විධික්‍රම අත්හරිමින් කොලඹ දේශපාලන සංස්ථාපිතය තුල ස්ථානයක් සොයා ගැනීමට උත්සාහ දරමින් සිටි ජවිපෙ සමග නසසප සන්ධානයක් තනා ගත්තේ ය. 1980 ගනන් අග භාගයේ ජවිපෙ ෆැසිස්ට්වාදී ප්‍රහාරවල දී නසසප සාමාජිකයන් කිහිප දෙනෙකු ම එය විසින් මරා දමා තිබියේ වුවත්, නසසප ජවිපෙට දේශපාලන සහයෝගය සම්පාදනය කලේ ය. [බලන්න: ශ්‍රී ලංකාවේ නව වාමාංශික පෙරමුන: කම්කරු පන්ති විරෝධී කන්ඩායමක් (ඉංග්‍රීසි) ]

ඒ අතර ම, පැබ්ලෝවාදීන්ගේ අනුමැතිය සහිත ව නසසප එජාපය සමග සමීප සබඳතා වගාදිගා කර ගැනීම ඇරඹී ය. 2002 දී එක්සත් ජනපදය පිටු බලය දුන් සාම සාකච්ඡාවලට සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ එජාප ආන්ඩුව හා එල්ටීටීඊය අතර සටන් විරාම ගිවිසුමට නසසප සිය සහයෝගය දුන්නේ ය. මෙම සාම සාකච්ඡා ජාතිය පාවා දීමක් ලෙස හෙලා දැකි ජවිපෙ හා මිලිටරිය සමග පෙල ගැසුනු ජනාධිපතිනි කුමාරතුංග විසින් එම සාකච්ඡා කඩාකප්පල් කරන ලදී.

2009 වසර මුල දී, නසසපය හා ඉන් බිඳී ගොස් සීඩබ්ලිව්අයිහි නව ශ්‍රී ලංකා ශාඛාව ලෙස කටයුතු කල එක්සත් සමාජවාදී පක්ෂය (එසප), එජාපය සමග ඊනියා නිදහසේ වේදිකාව තැනී ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ශ්‍රීලනිප ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනයට එරෙහි ව, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන කප්පිත්තන් ලෙස වික්‍රමසිංහ හා එජාපය උත්කර්ෂයට නැංවීමට නසසප හා එසප ක්‍රියා කල හ.

එජාප නායක වික්‍රමසිංහ (වමේ) සහ කරුනාරත්න නිදහසේ වේදිකාවේ රැස්වීමක

තමන් එජාපයට දෙන සහයෝගය විස්තර කරමින්, 2011 අගෝස්තු 25දා කරුනාරත්න ලියූ ලිපියක්, එෆ්අයිබීහි ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට්හි පල කරන ලදී. නසසප එජාපයට හා එහි නායකයන්ට “විවේචනාත්මක සහයෝගය” දෙන බව ප්‍රකාශ කල ඔහු, ඔවුන්ගෙන් එජාපය “සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්- එනම් රැඩිකල් ප්‍රතිසංස්කරනවාදී ධනේශ්වර පක්ෂයක්” ලෙස පරිවර්තනය කරන්නැයි ඉල්ලා තිබුනි. [බලන්න: නව සම සමාජ පක්ෂය සමාජවාදය හා ඔක්තෝබර් විප්ලවය ප‍්‍රතික්ෂේප කරයි

ඊජිප්තුවේ එක්සත් ජනපද පිටු බලය ලත් මිලිටරි පාලන තන්ත්‍රයට එරෙහි ව කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල පුපුරා යාම, පැබ්ලෝවාදීන් හා ජාත්‍යන්තර කමිටුව විසින් ව්‍යාජ-වම ලෙස විලක්ෂනය කරන අනෙකුත් දේශපාලන වංචාකරුවන් පිම්මේ දකුනට පැදීම ඉස්මතුවූ අවස්ථාවක් විය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නායකත්වය යටතේ ලිබියාව හා සිරියාව තුලට කරන මිලිටරි මැදිහත් වීම්වලට, “මානව හිමිකම්” රැකීමේ කඩතුරාව යටතේ ප්‍රන්සයේ නව ධනපති විරෝධී පක්ෂය (එන්පීඒ) හා නසසප සහයෝගය දුන් හ. ග්‍රීසියේ දී, ජාත්‍යන්තර ව්‍යාජ-වම්මුන්ගේ සහයෝගය ලද සිරිසා ආන්ඩුව, මැතිවරන පොරොන්දු ඉරා දමා, ග්‍රීක කම්කරු පන්තිය මත මූල්‍ය ප්‍රාග්ධනය විසින් අනවන ම්ලේච්ඡ කප්පාදු පියවරයන් පටවන උපකරනය බවට පත් විය.

ශ්‍රී ලංකාවේ දී, රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව එක්සත් ජනපදයේ පිටු බලය ලත් එජාපයේ හා දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) ව්‍යාපාරයට නසසප සහයෝගය දුන්නේ ය. 2009 මැයි මාසයේ අවසන් වූ එල්ටීටීඊයට එරෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ම්ලේච්ඡ යුද්ධයට පිටු බලය දුන් එක්සත් ජනපදය, දෙමල සිවිල් වැසියන් දසදහස් ගනකක් සංහාරයට ලක්කිරීම සහ වධ බන්ධන හා ඝාතනය කිරීම් නුදුටුවා සේ සිටියේ ය. එහෙත් යුද්ධය අවසන් වීමත් සමග, රාජපක්ෂට බෙයිජිනය සමග තිබූ සමීප සබඳතා කෙරෙහි වඩ වඩා උත්සුක වූ වොෂින්ටනය, “මානව හිමිකම්” ප්‍රශ්නය ගසා කෑමට උත්සාහ දැරුවේය.

පීඩනය යෙදීමෙන් රාජපක්ෂගේ මාවත වෙනස් කිරීමට අසමත් වූ කල, 2015 ජනාධිපතිවරනයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස හා රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස යොදාගෙන රාජපක්ෂ විස්ථාපනය කිරීමේ තන්ත්‍ර මාරු මෙහෙයුමක්, ඔබාමා පරිපාලනය විසින් ක්‍රියාවට දැමුවේ ය. මෙම අධිරාජ්‍යවාදී මෙහෙයුමට සහ දක්ෂිනාංශික එජාපයට හා රාජපක්ෂගේ ප්‍රමුඛ ඇමතියෙකු වූ සිරිසේනට ප්‍රගතිශීලී සලුපිලි ඇන්දවීමේ දී, නසසප හා අනෙකුත් ව්‍යාජ-වාම කන්ඩායම්, වෘත්තීය සමිති හා ශාස්ත්‍රාලිකයෝ ක්‍රියාකාරිීව සහභාගි වූ හ. සිරිසේනගේ ජයග්‍රහනය “යහපාලනය” තහවුරු කරනු ඇතැයි ඔවුන් කියා සිටි අතර, නසසපය එම ජයග්‍රහනය “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” යි ප්‍රකාශ කලේ ය.

අධිරාජ්‍යවාදයට හා ශ්‍රී ලංකාවේ ධනේශ්වරයට ඔහුගෙන් සිදු වන සේවය හඳුනාගැනීමක් ලෙස, ජවිපෙ හා දෙජාස නායකයන් ද සමග නසසප නායක කරුනාරත්න, සිරිසේන හා වික්‍රමසිංහ නායකත්වය දුන් ඊනියා “විධායක සභාවට” පත් කරනු ලැබී ය. මාස හතරක් පැවති මෙම විධායක සභාවේ අරමුන වූයේ, විදෙස් පිලිවෙත වහාම වොෂින්ටනය දෙසට යලි හරවමින් සිටි නව පාලන තන්ත්‍රය ස්ථාවර කර ගැනීම ය.

සිරිසේනගේ හා වික්‍රමසිංහගේ “සමගි ආන්ඩුවේ” කප්පාදු පිලිවෙත් හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී විධික්‍රම කෙරෙහි වැඩුනු සමාජ කෝපය විසින් එම ආන්ඩුව දෙකඩකර දමන තෙක්, නසසප එම ආන්ඩුවේ තථ්‍ය හවුල්කරුවෙක් ලෙස ක්‍රියා කලේ ය. ආන්ඩුව බිඳ වැටුන ද කරුනාරත්න වික්‍රමසිංහගේ දෘඪ ආධාරකරුවෙක් ලෙස දිගට ම රැඳී සිටියේ ය.

මේ කිසිවක් පැබ්ලෝවාදී එෆ්අයිබී වෙතින් දේශපාලන විවේචනයක් හෝ අනතුරු ඇඟවීමක් පැන නැංවූයේ නැත. 2019 අප්‍රේල් තරම් මෑත දී, ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරවලින් පසුව, වික්‍රමසිංහට හා අනෙකුත් දේශපාලන නායකයන්ට ප්‍රහාරය පිලිබඳ ව කල් තබා රාජ්‍ය බුද්ධි ඒජන්සි විසින් දැනුම් දී තිබියේ වුව ද ඔවුන් කිසිවක් නො කල බව ආවරනය කරමින්, නසසප නිකුත් කල ප්‍රකාශයක් ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට්හි පල කෙරුනි. මුස්ලිම්-විරෝධී උන්මාදය ඇවිලවීමටත්, පන්ති අරගලයේ ඉහල යන රැල්ලක් මධ්‍යයේ හමුදාව දිගේලි කිරීම සාධාරනීකරනය කිරීමටත්, ආන්ඩුව එම ප්‍රහාර ගසාකෑවේ ය.

වික්‍රමසිංහ “බලය ශක්තිමත් කිරීම සඳහා අවස්ථාවට සුදුසු ලෙස නැගී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කල යුතු” යැයි නසසප එම ප්‍රකාශයෙන් කියා සිටියේය. එහෙත් සත්‍යය වූයේ, එජාපය හා වික්‍රමසිංහ සහයෝගය හා විශ්වාසය වේගයෙන් අහිමි කර ගනිමින් සිටි බව යි. එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ ම්ලේච්ඡ අවසන් මාස කිහිපය තුල ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂට එරෙහි “ප්‍රජාතන්ත්‍රවාදී විකල්පය” ලෙස, නසසප, ජවිපෙ හා දෙජාස එජාපයට අඛන්ඩ ව සහයෝගය දීම, අපකීර්තිමත්, අර්බුද-ග්‍රස්ත ධනපති පක්ෂ දෙකෙන් එකකට හෝ අනෙකට කම්කරුවන් බැඳ තැබීමට උදව් විය. 2020 අගෝස්තු මහ මැතිවරනයට පෙර බෙදී ගිය එජාපයට කරුනාරත්න ලබා දුන් කීකරු සේවය වෙනුවෙන්, ඔහුට එජාප මැතිවරන අපේක්ෂක ලැයිස්තුවේ ස්ථානයක් ප්‍රදානය කරන ලදී.

“මූලික මූලධර්ම” ආරක්ෂා කිරීම පිලිබඳ ඔවුන්ගේ සියලු පච දෙඩවිලි තිබිය දී, පැබ්ලෝවාදීන් සූදානම් කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය නව වටවලින් පාවාදීම ය. තම නව ශ්‍රී ලංකා ශාඛාව ලෙස, නසසපයෙන් පතුරක් වන වමේ හඬ නමැති කන්ඩායම දෙසට එෆ්අයිබී හැරී ඇත. “නව සම සමාජ පක්ෂයේ සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යාමට ආරාධනයක්” යන හිසින් වමේ හඬ විසින් නිකුත් කල ප්‍රකාශයක්, ජූලි 17දා ඉන්ටර්නැෂනල් වීව්පොයින්ට්හි පල කරනු ලැබී ය. වෙනත් වචනවලින් මෙහි අර්ථය වන්නේ, නසසපය විලක්ෂනය කරන ලද එම ද්‍රෝහී පන්ති සම්මුතිවාදී දේශපාලනය ම ඉදිරියට ගෙන යාම යි. සත්‍යය නම්, එම කැඳවුමට අත්සන් තැබූ අය, මෑතක් වන තුරු ම නසසප නායකයන් වීම හා එජාපය සමග එහි සියලු දූෂිත උපාමාරු තුල පැටලී සිටි අය වීම යි.

යුද්ධය කරා ධාවනය, කප්පාදුව, ඒකාධිපති පාලන ක්‍රම ඇතිකිරීම ආදී ගෝලීය කොවිඩ්-19 වසංගතය විසින් වේගවත් කරනු ලැබ ඇති කම්කරු පන්තිය මුහුන දෙන යෝධ ගැටලුවලින් කිසිවක්, ධනපති පද්ධතියේ රාමුව ඇතුලත විසඳනු ලැබිය නො හැක. විප්ලවවාදී අරගල න්‍යාය පත්‍රයට ඇතුලු වී තිබෙන නමුත්, සාර්ථකත්වය සඳහා කම්කරුවන්ට හා තරුනයන්ට අව්‍යාජ විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය වේ. ජාත්‍යන්තර පරිමාන ව ධනවාදය පෙරලා දමා සමාජවාදය ගොඩ නැගීමට අවශ්‍ය සාරභූත දේශපාලනික සූදානම් වීම ලෙස, අවස්ථාවාදයේ සියලු රූපාකාරයන්ට එරෙහි දිග්ගැස්සුනු දේශපාලන සටනක් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ගෙන ගොස් ඇත. හජාජාක ශ්‍රී ලංකා ශාඛාව වන සසපට බැඳී, ඉදිරියේ එන අරගල සඳහා අවශ්‍ය මහජන විප්ලවවාදී පක්ෂය ලෙස එය ගොඩනගන මෙන් අපි කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

වැඩි දුර කියවන්න:

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

Loading