ඉන්දියාවේ සංගත වෙනුවෙන් මෝදි ආන්ඩුව වසංගතය දරුනු ලෙස පැතිරීමට ඉඩ දෙයි

[මෙම ලිපිය At corporate India’s behest, Modi government lets pandemic run rampant යන මාතෘකාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් 2021 අප්‍රේල් 21 දින පලවූ ලිපියේ පරිවර්තනයයි.]

ඓතිහාසිකව දැවැන්ත පරිමාවක, වඩාත් නිවැරදිව සඳහන් කරන්නේ නම් 21වන සියවසේ ධනේශ්වර පරිමානයේ, මානව ව්‍යසනයකට තර්ජනය කෙරමින්, කොවිඩ්-19 වසංගතය දැන් ඉන්දියාව පුරා ලැව් ගින්නක්සේ පැතිර යමින් පවතී.

අප්‍රේල් 20, ඉන්දියාවේ සෞඛ්‍ය අධිකාරීහු නව ආසාදන 259,170ක් වාර්තා කල අතර, එය, සෙනසුරාදා වාර්තා වූ ඉහල ම ආසාදන සංඛ්‍යාව වන 273,802ට වඩා අඩුවන්නේ යන්තමිනි. අප්‍රේල් 15දා සිට සෑම දිනක ම, දින හයක් එක එල්ලේ, ඉන්දියාවේ නව කොවිඩ්-19 ආසාදන ගනන, 200,000 ඉක්මවා ඇත.

අප්‍රේල් 14දා පටන්, දෛනික කොවිඩ්-19 මරන සංඛ්‍යාව 1,000ට අධික සංඛ්‍යාවකට ඉහල ගොස් තිබෙන අතර ම, එය බරපතල අවගනනයක් බව විවිධාකාර වාර්තා මගින් පෙන්නුම් කෙරේ. ඊයේ දිනයේ කොවිඩ්-19 මරන සංඛ්‍යාව, නව වාර්තාවක් විය: එනම්, නිල වසයෙන් වෛරසය හේතුවෙන් සිදු වූ වාර්තාගත මරන 1761 සමග මියගිය සමස්ත සංඛ්‍යාව 182,000 ඉක්මවා ගියේය. 

2021 අප්‍රේල් 19දා ඉන්දියාවේ ජම්මුහි රජයේ රෝහලක කොවිඩ්-19 පරීක්ෂාව සඳහා පෙලගැසී සිටින මහජනයා.(AP Photo/Channi Anand)

 ආසාදන හා මරන රැල්ල නොතකා, නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව, ලොවපුරා වඩාත් වේගයෙන් බෝවෙන හා වඩාත් මාරාන්තික නව කොවිඩ්-19 ප්‍රභේදයන් විසින් අවුලුවනු ලබන වසංගතයේ ව්‍යාප්තිය නැවැත්වීම පිනිස, ජාතික පරිමාන අගුලු දැමීමක් පනවන්නේ නැතැයි දැඩි ලෙස කියා සිටී. 

සඳුදා, මරුති සුසුකි හා ටාටා ස්ටීල් ඇතුලු රටෙහි විශාලතම සංගතවල ප්‍රධාන විධායක නිලධාරීන් හා ප්‍රධාන ව්‍යාපාරික සන්ධාන කන්ඩායම්වල ප්‍රධානීන් සමග, ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් සාකච්ඡාවක් පැවැත්වූයේ, මධ්‍යම ආන්ඩුව අඛන්ඩ ව මානව ජීවිතවලට ඉහලින් සංගත ලාබ ප්‍රමුඛත්වයේ තබා කටයුතු කරන බව යලි තහවුරු කිරීම පිනිස යි.

“ජාතික පරිමාන අගුලු දැමීමේ සැලැස්මක් නැතැ” යි සීතාරාමන් කීවා ය. ඉන්දීය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යවසායයන්ගේ (එෆ්අයිඑස්එම්ඊ) සම්මේලනයේ සභාපති වන අනිමේෂ් සක්සේනා, එකොනොමික් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙත මෙසේ කීවේ ය: “සාකච්ඡා නාභිගත වුනේ (වෛරසයේ) පැතිර යාම නැවැත්වීමට කුඩා සීමා කලාප නිර්මානය කිරීම කෙරෙහි ය. අපේ උත්සුකයන්ගෙන් ඕනෑම දෙයකට ආමන්ත්‍රනය කිරීමට, අපගේ අදහස් ඇයට අවශ්‍ය වුනා.”

ඉන්දියාවේ විශාලතම මෝටර් රථ කර්මාන්තකරුවා වන මරුති සුසුකි සංගතයේ ප්‍රධානී ආර්. සී. භර්ගාවා, වෛරසයට පලල් පරිමානයෙන් පැතිර යාමට ඉඩ දෙන ආන්ඩුවේ තීරනය පිලිබඳ ව සතුට පලකලේ ය. “මේ අවස්ථාවේ යෝග්‍ය ප්‍රතිචාරය වන්නේ අගුලු දැමීම යයි සිතන්න එපා. (එය) යහපතට වඩා හානියක් කරාවි” යි කල්කටාවේ පලවන ටෙලිග්‍රාෆ්  පුවත්පතට ඔහු කීවේ ය.

ඊයේ රාත්‍රීයේ ජාතික ව ප්‍රචාරය කල රූපවාහිනී කතාවක දී, අගමැති මෝදි ඔහුගේ මුදල් ඇමතිවරියගේ පනිවිඩයට බොහෝ සෙයින් සමාන වූවක් ප්‍රකාශ කලේ ය. ඉන්දීය මහජනයාගේ උත්සුකයන්ට “ආමන්ත්‍රනය” කිරීම වෙනුවට, ඔහු ඔවුන්ට කීවේ, පෙර නුවූ විරූ සමාජ-ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, මහා පරිමාන මරනවල තර්ජනය සමග ජීවත් වෙමින් තමන්ම ආරක්ෂාව සලසා ගතයුතු බවයි. 

“ප්‍රතිකාරය රෝගයට වඩා නරක නොවිය යුතු” යි යන ධනපති මන්ත්‍රය පුනරුච්ඡාරනය කල මෝදි, ඉන්දියාව “ආරක්ෂා” කරගත යුත්තේ වසංගතයෙන් නොව, වෛරසය පෙරට යාම නවත්වන හා ජීවිත ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් අගුලු දැමීමෙන් බව ප්‍රකාශ කලේ ය. “අද තත්ත්වය අනුව, අපි රට අගුලු දැමීමෙන් ආරක්ෂා කරගත යුතු” යි මෝදි සඳහන් කලේ ය.

“ප්‍රාන්තවලින් මා ඉල්ලා සිටින්නේ, අගුලු දැමීම අවසාන විකල්පය ලෙස යොදාගන්නා ලෙස යි. අගුලු දැමීමක් වැලැක්වීම සඳහා වෙහෙස විය යුතු යි, අපගේ අවධානය යොමුවිය යුත්තේ කුඩා සීමා කිරීමේ කලාප කෙරෙහි පමනක්” යැයි ඔහු වැඩි දුරටත් පැවසී ය. 

ඉන්දියාවේ වත්මන් භයංකර තත්ත්වය ඇතුලු සියලු කරුනු පෙන්වා දෙන්නේ, කොවිඩ්-19 ආසාදන හා මරනවල සීඝ්‍ර වර්ධනය යන්තම් ආරම්භ වූවා පමනක් බවයි :

* දැනට කොවිඩ්-19 සක්‍රීය ආසාදන මිලියන 2ට වැඩි ගනනක් තිබෙන අතර, එය අප්‍රේල් 1දා පැවති 580,237 මෙන් ආසන්න වසයෙන් සිව් ගුනයකි.

* බටහිර මහාරාෂ්ට්‍රය, උතුරේ දිල්ලිය හා උත්තර් ප්‍රදේශ් සිට මැද-නැගෙනහිර චැටිස්ගාර් සහ දකුනේ කර්නාටක හා තමිල්නාඩු දක්වා බොහෝ ප්‍රදේශවල වෛරසය පැතිර යමින් පවතී.

* ආසාදන සංඛ්‍යාව ඉහල යාමේ බර නිසා, ඉන්දියාවේ ගරා වැටුනු මහජන සෞඛ්‍ය  පද්ධතිය බිඳ වැටෙමින් පවතී.

කාර්ය මන්ඩලය, දැඩි සත්කාර ඇඳන් හා කොවිඩ්-19 රෝගයට ප්‍රතිකාර ලෙස යොදා ගන්නා රෙම්ඩෙසිවීර් සහ ටොසිලිසුමාබ් වැනි  ඖෂධවල හිඟයන් හේතුවෙන්, රෝහල් දැනටමත් පිරී ඉතිරී ගොස් ඇත. ප්‍රාන්ත කිහිපයක් සහ රටෙහි ඉහල ම ඒක ජන කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව වාර්තා කෙරෙන දිල්ලි ජාතික අගනුවර භූමි ප්‍රදේශය, තියුනු ඔක්සිජන්  හිඟයකට මුහුන දෙමින් සිටී.

“අප දැන් බිඳ වැටිලා, මහාරාෂ්ට්‍රය ගිලෙමින් පවතිද්දී අනෙක් ප්‍රාන්ත එය අනුගමනය කරාවි” යැයි මුම්බායිහි ලිලාවතී රෝහලේ ප්‍රධාන පෙනහලු විද්‍යාඥ වෛද්‍ය ජලීල් පාකර් එන්ඩීටීවීහි ජනමාධ්‍යවේදී බර්කා දත්ට කීවේ ය. “මේක දෙවන ලෝක යුද්ධයටත් වඩා භයානකයි.”

ඖෂධ හා ඔක්සිජන්වල හිඟය කොතෙක් ගැඹුරු ද යත්, සමහර රෝහල් ඒවා වෙලෙන්දන්ගෙන් කෙලින් ම සපයා ගන්නා ලෙස රෝගීන්ට කියයි.

කොවිඩ්-19 ආසාදනවල ඉහල යාම, ආන්ඩුවේ එන්නත්කරන වැඩසටහන බොහෝ සෙයින් ඉක්මවා යමින් තිබේ. පෙබරවාරියේ හා මාර්තු මුල දී ආසාදනයන් ඉහල යාම ඇරඹෙද්දී, වෛරසය පැතිර යාම නැවැත්වීමට ක්‍රියාකරන්නැයි කල කැඳවුම්, මෝදි හා ඔහුගේ ආන්ඩුව විසින් උඩඟු ලෙස ගසබසා දැමුවේ, සංස්පර්ශයෙන් බෝවීමට පිලිතුර, ලෝකය පරයා යන ඉන්දියාවේ එන්නත්කරන වැඩසටහන තුලින් සොයාගනු ලැබිය හැකි යයි කියාපාමිනි. ඉන්දියාව වසංගතයේ “අවසන් අදියරේ” පවතින බව සෞඛ්‍ය ඇමති හර්ෂ් වර්ධන් තකතීරු ලෙස පාරම්බෑවේ ය.

බොහෝ පුරසාරම් දොඩවමින් ආරම්භ කල එන්නත්කරන වැඩසටහන දැන් ගාටමින් යයි. අප්‍රේල් 19 සඳුදා වන විට, බිලියන 1.4ක් වන ඉන්දියාවේ ජනගහනයෙන් සියයට 8කට පමනක් පලමු එන්නත ලැබී තිබුනු අතර, එන්නත් දෙකම ලබා දී තිබුනේ මිලියන 17කට යන්තම් වැඩි පිරිසකට හෙවත් ඉන්දියානුවන්ගෙන් සියයට 1.3කට පමනි. 

තව ද ඉන්දියාව ලෝකයේ විශාලතම එන්නත් නිපදවන්නා වුව ද එන්නත් සම්පාදනය වියැලෙමින් පවතී. එසේ වී ඇත්තේ, එන්නත් සඳහා  මුලුමනින්ම පාහේ ඉන්දියාව මත රැඳී සිටින, පහල හා මධ්‍ය ආදායම් සහිත රටවලට විනාශකාරී බලපෑමක් ඇති කරන, ප්‍රතිගාමි අපනයන තහනමක් මෝදි ආන්ඩුව විසින් පනවා ඇති තත්වයකය.

රැකියා අහිමි වීම නිසා හා ප්‍රාදේශීය අගුලු දැමීමේ පියවර හේතුවෙන් රැකියා අහිමිවී දරිද්‍රතාවට ඇද වැටෙතැයි බියපත් වී සිටින සංක්‍රමනික කම්කරුවෝ දිල්ලිය හා මුම්බායි වැනි ප්‍රධාන නගරවලින් පලායාම අරඹමින් සිටිති. මහජන සෞඛ්‍ය පහසුකම් බොහෝ සෙයින් නො පවතින ඉන්දියාවේ ගම්බද ප්‍රදේශවලට, වෛරසයට වැඩිදුර පැතිර යාමේ භව්‍යතාව මෙමගින් ඉහල දමයි. 

ගිය වසරේ මාර්තුවේ හා අප්‍රේල් මාසයේ, කිසිදු අනතුරු ඇඟවීමකින් හෝ සමාජ සහනාධාර සම්පාදනයකින් තොර ව, මිලියන සිය ගනනකට ඔවුන්ගේ ජීවිකාවන් අහිමි කල මෝදි ආන්ඩුවේ විපත්තිකර අගුලු දැමීම නිසා ඇතිකල අවුල්සහගත මහජන සංක්‍රමනයක දී මිලියන 10ට අධික සංක්‍රමනික කම්කරුවෝ ඔවුන්ගේ ගම්මාන බලා ආපසු ගියහ.

සඳුදා අපර භාගය වන විට, තම නිවෙස් වලට යාමේ අපේක්ෂාවෙන් 50,000ක් දෙනා දිල්ලියේ බස් ඩිපෝවලට පැමින තිබූ බව වාර්තා වේ. “ගිය අවුරුද්දෙන් පස්සෙ අප ගැන කිසි කෙනෙක් තකන්නේ නැති බව හොඳින් දන්නා නිසා, මම ආපහු යනවා”යැයි එක් කම්කරුවෙක් එන්ඩීටීවි වෙත කීවේ ය. බසයක් අපේක්ෂාවෙන් බුන්ඩල්ඛාන්ඩ්හි සිටි කාන්තාවක් “අපි ගෙදර ගියහම, අඩු තරමින් කාගෙන් හරි උදව්වක් ඉල්ල ගන්න පුලුවන් කියලත්, අපේ ලමයි බඩගින්නේ නො සිටින බවත් අපි දන්නවා. ගිය අවුරුද්දෙ පෝලිම්වල හිටගෙන ආහාර හිඟාකන්න අපිට සිද්ධ වුනා” යැයි කීවා ය.

වසංගතය වඩා දරුනු බවට පත්කරමින්, බලගතුලෙස රෝගාතුරවූ හා මිය යාමට යන අයවලුන්ගේ රෝග ස්වභාවය වෙනස් කරන, නව කොවිඩ්-19 ප්‍රභේදයන් ඉස්මතු වීමේ අර්ථභාරය යටගැසීමට ඉන්දියාවේ බලධාරීහු සාපරාධි ලෙස උත්සාහ දරති.

අනෙක් තැන්වල මෙන්ම, වර්තමාන ආසාදන රැල්ල, බොහෝ ජනයාට පහරදෙනු ලබන්නේ ඔවුනගේ ජීවිතයේ වැදගත්ම කාලය තුලය. මධ්‍යම ආන්ඩුවේ ඒකාග්‍රිත රෝග පරීක්ෂන වැඩසටහනේ දත්තවලට අනුව, කොවිඩ්-19 රෝහල්ගත කිරීම්වලින් ආසන්න වසයෙන් තුනෙන් පංගුවක් හෙවත් සියයට 31.5ක් , වයස 39 හා ඊට අඩු ජනයා වන අතර, රෝහල්ගත කිරීම්වලින් සියයට 5.8ක් දෙනා දරුවන් හා යෞවනයන් ය.

ලෝකයේ ජනගහනය අතින් දෙවැනි තැන ගන්නා රට තුල දැන් සංසරනය වන, ඊනියා බ්‍රිතාන්‍ය, දකුනු අප්‍රිකානු හා බ්‍රසීලියානු කොවිඩ්-19 මාදිලියන් හෙවත් ප්‍රධාන ගෝලීය ප්‍රභේද තුනට අමතර ව, අන් සෑම තැනක ම හඳුනාගනු ලැබෙන, විකෘතීන් දෙකක් ඒකාබද්ධ වී ජනනය වන ඊනියා “ද්විත්ව විකෘතතා” වෛරසය ඉස්මතු වීම ඉන්දියාව තුල දකින්නට ලැබේ. 

පසුගිය සතිය තුල සෑම දිනක ම ආසන්න වසයෙන් ආසාදන 55,000ක සාමාන්‍යයක් වාර්තා කර ඇති මහාරාෂ්ට්‍රයේ, එම සතියේ නව ආසාදනවලින් සියයට 20ක් හා සමහර දිස්ත්‍රික්කවල සියයට 60කට අධික ප්‍රමානයක් වුයේ ද්විත්ව විකෘතතා වෛරසය බව පරීක්ෂන මගින් පෙන්නුම් කරයි.

ඉන්දියානු ද්විත්ව-විකෘති ප්‍රභේදය පලමු වරට හඳුනා ගන්නා ලද්දේ පසුගිය වසරේ අවසාන භාගයේය. පෙබරවාරියේ ආසාදන ඉහල යාමට එය තුඩුදුන් බව සමහර වසංගත විද්‍යාඥයින් පෙන්වා දුන්නේ වුවත්, මහජනයාගේ සෞඛ්‍යය කෙරෙහි ආන්ඩුව දක්වන උදාසීන නො තකා හැරීමට අනුරූපවන පරිදි, ප්‍රභේදයන්ගේ බලපෑම නිසියාකාරව සොයා ගැනීම කල නොහැකි දෙයක් බවට පත්කරමින්, ආන්ඩුව පසුගිය මාසය තුල කොවිඩ්-19 ආසාදිත බව තහවුරු කෙරුනු සාම්පලවලින් ජානමය අනුක්‍රමය සකස්කොට ඇත්තේ සියයට 1ටත් අඩු ප්‍රමානයකි.

ඉන්දීය පාලක ප්‍රභූවේ ලාභ හා ධනය ආරක්ෂා කිරීමට අධිෂ්ටානවත් ව සිටින හින්දු-අධිපතිවාදී බීජේපී ආන්ඩුව, දිගහැරෙමින් පවතින මෙම ව්‍යසනය මධ්‍යයේ, මහජනයා ආරක්ෂා කිරීමට ඉතා අවම පියවරවත් නො ගනු ඇත. රෝහල්වලට යලි සම්පාදනය කල හැකි වන පරිදි, සියලු ම අත්‍යවශ්‍ය නොවන කර්මාන්තවලට ඔක්සිජන් බෙදාහැරීම අත්හිටුවන ලෙස වහා ම නියෝග කිරීමට ආන්ඩුව අසමත් වීම ගැන ඊයේ දිල්ලි මහාධිකරනය අවධානය යොමු කලේ ය. කර්මාන්ත තුල ඔක්සිජන් භාවිතය තහනම් කරන ආන්ඩුවේ නියෝගය ක්‍රියාත්මක වන්නේ බ්‍රහස්පතින්දා පටන් පමනක් යයි සටහන් කල උසාවිය  “කර්මාන්තවලට බලා සිටිය හැකි යි. රෝගීන්ට බැහැ... ජීවිත පරදුවට තැබී තිබෙනවා. ඔබ රෝගීන්ට කීමට සූදානම් වන්නේ ඔක්සිජන් ලැබිමට අප්‍රේල් 22 තෙක් බලා සිටීමට කියා දැ”  යි ආන්ඩුවට දෝෂාරෝපනය කලේය.

එහෙත්, දැන් ඉන්දියාව සිසාරා යන ව්‍යසනයට වගකිව යුත්තේ මෝදි ආන්ඩුව පමනක් නොවේ. සමස්ත පාලක ප්‍රභූවේ හා දේශපාලන සංස්ථාපිතයේ අත්වල ලේ තැවරී ඇත. තදින් ම බලපෑමට ලක්වූ ප්‍රාන්ත දෙක වන මහාරාෂ්ට්‍රය හා දිල්ලිය පාලනය කරනු ලබන්නේ බීජේපීයේ දේශපාලන විරුද්ධවාදීන් ලෙස පෙන්වා ගත්තවුන් විසින් වුවත්, ඔවුන් ද අනුගමනය කර ඇත්තේ, කම්කරුවන්ගේ ජීවිතවලට ඉහලින් සංගත ලාභවලට ප්‍රමුඛත්වය දෙන එම මාරාන්තික පිලිවෙත ම ය. 

මහ ව්‍යාපාරිකයේ අනෙක් කොටස් මෙන් සංගත මාධ්‍ය ද අගුලු දැමීම්වලට එරෙහි ව රොක් වී ඇත. වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් තවදුරටත් කඩා වැටෙන මිලියන සිය ගනනක් වන ඉන්දියානුවන්ගේ ඉරනම සම්බන්ධයෙන් නරුම ලෙස දෙවියන් යදින මාධ්‍ය, ඒ හුස්මටම, ඉන්දීය බිලියනපතියන්ගේ ධනය පිම්බීම ඉන්දියානු ධනවාදයේ නැග්ම සනාථ කරන්නක් ලෙස වර්නනා කරයි.

ඇත්තෙන්ම, වසංගතය සහ එහි ආර්ථික ඇද වැටීම මගින් ඉන්දියාවේ කම්කරුවන් හා පීඩිතයන් විනාශභාග් කෙරුනු අතර, පාලක පන්තිය තම උදරය පුරවා ගත්තේ ය. ෆෝබ්ස් සඟරාවේ 2021 බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව, ඉන්දීය ඩොලර් බිලියනපතියන් සංඛ්‍යාව පසුගිය වසරේ දී 102 සිට 144 දක්වා පිම්බෙද්දී, ඔවුන්ගේ ධනය “ඩොලර් බිලියන 596 දක්වා ආසන්න වසයෙන් දෙගුනයකින් නැගුනි.”

ලොව පුරා මෙන් ම, ඉන්දියාව තුල ද වසංගතයට එරෙහි සටන පන්ති අරගලයයි. ධනපති ලාභයට ඉහලින් මානව ජීවිත හා සමාජ අවශ්‍යතා පිහිටුවන සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු පන්තිය දේශපාලනික ව ස්වාධීන ලෙස බලමුලුගැන්වීමත්,  මහජනයා එන්නත්කරනය කොට වෛරසයේ ව්‍යාප්තිය නතර කරන තෙක්, අවශ්‍ය මහජන සෞඛ්‍ය පියවරයන් ගැනීමට සහ සමාජීය ආධාර සැපයීමට අරමුදල් සම්පාදනය කරගැනීම පිනිස, අසාධාරනයෙන් උපයාගත් ධනයෙන් තරවූ ධනපති ප්‍රභූවේ වත්කම් අත්පත්කර ගැනීමත් අවශ්‍යවේ.

Loading