වසර 2008 හා 2009 කාල වකවානුව තුල කොලඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුනයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ සැකකරුවෙකු වන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව ගොනු කෙරුන අධි චෝදනා පත්‍රය ඉවත් කර ගැනීම සඳහා අගෝස්තු 04 දා නීතිපති වෙනුවෙන් ඉල්ලීමක් කර තිබේ. කෙසේ නමුත්, චෝදනා හකුලා ගැනීම පිලිබඳව කිසිදු හේතු දැක්වීමක් කර නැත.
විසි හය අවුරුදු සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී සිදු කෙරුනු මෙම අපරාධය සම්බන්ධයෙන් කොලඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරනයේ පවත්වාගෙන යනු ලබන නඩුවේ සැකකරුවන් වන කරන්නාගොඩ ඇතුලු නාවික හමුදාවේ හිටපු උසස් නිලධාරීන්ට එරෙහිව, පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම, කප්පම් ගැනීම හා ඝාතනය කිරීම යන චෝදනා එල්ල වී ඇත.
පොලිස් පරීක්ෂන හා නඩුව ආරම්භකොට වසර ගනනාවකට පසු, එනම් 2019 මුල දී, නඩුවේ 14 වන සැකකරු ලෙස කරන්නාගොඩ නම් කෙරුන ද, ඔහුට අධිචෝදනා භාර දීම මෙතෙක් දිග්ගැසී ඇත.
යුද සමයේ දී හා විශේෂයෙන් එහි අවසාන සමයේදී, නිරායුධ සිවිල් වැසියන් දස දහස් ගනනින් මරා දැමීම හා යටත් වූ දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) සාමාජිකයන් ඝාතනය කිරීම ඇතුලු, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව යටතේ සිදුකෙරුනු යුද අපරාධ වලට වගකිව යුතු හමුදා සාමාජිකයින්ට හා තම දේශපාලන සහචරයන්ට එරෙහි චෝදනා වලින් ඔවුන් මුදා හැරීම සඳහා, එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව අනීතික උපාමාරු යොදමින් සිටී. එම උපාමාරු වල කොටසක් ලෙස, රටේ අධිකරනය ඉදිරියේ විභාග කෙරෙමින් පවතින අතලොස්සක් අපරාධ නඩුවලින් චූදිතයන් මුදාහැරීම යලියලිත් සිදුවන අතර, කරන්නාගොඩට එරෙහි චෝදනා හකුලා ගැනීම එහි ආසන්නම සිද්ධිය වේ.
අතුරුදහන් කෙරුනු තරුනයන් කිසිවෙකු එල්ටීටීඊ සංවිධානයට හෝ කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ අය නොවූ බව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (ටීඅයිඩී) විසින් මෙහෙයවන පරීක්ෂන මඟින් තහවුරු වී තිබිනි. යමක්කමක් ඇති පවුල් වලින් කප්පම් ගැනීමේ පුලුල් ක්‍රියාදාමයක කොටසක් ලෙස මෙසේ පැහැරගන්නා ලද තරුනයන්, පලමුව කොලඹ කොටුවේ නාවික හමුදා සිරමැදිරි තුල රඳවා තැබුනු බවත්, පසුව ත්‍රිකුනාමලය නාවික හමුදා මධ්‍යස්ථානය වෙත ගෙනගොස් එහි පොලව යට සිරකුටි තුල රඳවා තබා, 2009 මැයි මස දී මරාදමනු ලබන්නට ඇති බවත් පරීක්ෂන වලින් අනාවරනය වී තිබුනි.
මෙම සිද්ධිය, ලංකාවේ සිංහල වර්ගවාදී පාලක පන්තියේ ලේවැකි ඉතිහාසය තුල සිදු කෙරුනු කෲරතම අපරාධය කි. අතුරුදහන් කල තරුනයන් අතර දෙමල තුන් දෙනෙක්, මුස්ලිම් තුන් දෙනෙක් හා එක් සිංහල වාර්ගිකයෙක් වූහ. තරුනයන්ගේ දෙමව්පියෝ, තම දරුවන්ගේ මෘත ශරීරයක් හෝ නොදැක, ඔවුන් මෙතෙකුදු ජීවතුන් අතර ඇතැයි ද විශ්වාස කරමින් ඔවුන් සොයා යමින් සිටිති. ධනපති අධිකරනය තුල ඔවුන්ට යුක්තිය ඉටුවෙතැයි අපේක්ෂාවෙන් වසර 13 ක් පුරා අපරාධ නඩුව හඹා ගිය ඔවුහු, කරන්නාගොඩට එරෙහි නඩු කටයුතු ඉදිරියට ගෙන නොයාමට නීතිපති ගත් තීරනයට එරෙහිව පසුගියදා සංදේශයක් භාර දුන්හ.
එහි මෙසේ සඳහන්ය:
'මෙකී නඩු කටයුත්ත පුරා ඉතා සුවිසල් ආකාරයෙන් බලපෑම් රාශියකට මෙම නඩුකරය ලක්වූ බව කිසිවෙකුට රහසක් නොවේ. මූලික ලෙස සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම සඳහා මුලසිටම දේශපාලන බලපෑම් මත ක්‍රියා කිරීම සිදුවු අතරම ඉන් අනතුරුව එකී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවත් ඔවුන් නිදහස් කරගැනීම සඳහා විවිධාකාර කූඨ උපක්‍රම විවිධ අංශ මඟින් සිදුකරන ලදී.'
අධිකරන ක්‍රියාදාමයෙන් කරන්නාගොඩ මුදා හැරීම සඳහා විවිධාකාරයෙන් කටයුතු කිරීම ගැන ලිපිය සෘජුවම රජයේ චෝදක වන නීතිපතිට හා එම නිලධාරීන්ට ද චෝදනා කරයි.
දිගින් දිගටම අධිකරනය මඟහරිමින් සිටි කරන්නාගොඩ මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිදිනක අත්අඩංගුවට ගැනුනේ නැත. ඔහු අතුලු සැකකරුවන්ට එරෙහි මහාධිකරන නඩුව ඇසීම වලකා ලමින් 2020 ජුනි මස අභියාචනාධිකරනය අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය. තමන් අත්අඩංගුවට ගැනීම වලකාලීම සඳහා හිටපු නාවික හමුදාපති ගොනු කල මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට ගැනීමටත් පෙර නීතිපති ඉහත තීන්දුව ගෙන ඇත.
කරන්නාගොඩට එරෙහිව නඩුව යට ගැසීම සඳහාත්, ඔහු අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහාත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පුද්ගලිකවම මැදිහත්වූ බව එකල මාධ්‍ය වාර්තා කලේය. යුද්ධයේ අවසාන දින කිහිපයේ රාජපක්ෂ ආන්ඩුවේ ඉහලින්ම සිටිමින් සිරිසේන යුද්ධය අධීක්ෂනය කල අතර, කරන්නාගොඩ ඇතුලු මිලිටරි නායකයන් සිදුකල යුද අපරාධ වලට ඔහු සෘජුවම වගකිව යුත්තේය.
වේගයෙන් වර්ධනය වෙමින් පවත්නා කම්කරු පන්තික අරගල තලා දැමීම සඳහා, මිලිටරිය මත පාදක ජනාධිපති ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීම අපේක්ෂා කල රාජපක්ෂ, තම සොහොයුරු මහින්ද රාජපක්ෂ සහ මිලිටරි නායකයින් යුද අපරාධ චෝදනාවලින් නිදහස් කරගැනීම සදහා කටයුතු කරන බවට තම මැතිවරන වේදිකාවේදී ශපථ කලේය.
රාජපක්ෂ බලයට පත් වීමෙන් පසු මේ සදහා අවශ්‍ය ප්‍රධාන පියවරක් තබමින්, 'දේශපාලන පලිගැනීම් විභාග කර නිර්දේශ ඉදිරිපත් කිරීම' සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කලේය. මෙහි පලමු පැමිනිල්ලම ගොනු කරනු ලැබුවේ කරන්නාගොඩ විසිනි. වසරකටත් අඩු කාලයක් තුල, රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රබල ආධාරකරුවන්ට එරෙහිව ඇසෙන නඩු වලට සෘජුවම මැදිහත් වෙමින් කොමිෂම නිර්දේශ කලේ එම නඩුවලින් චූදිතයන් මුදාහරින ලෙසත්, එම පරීක්ෂන සිදුකල පොලිස් නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම නීතීඥවරුන්ටද එරෙහිව නඩු පවරන ලෙස යි.
තම අවසන් වාර්තාව පසුගිය වසර අගදී නිකුත් කල කොමිෂම, කරන්නාගොඩට එරෙහි පරීක්ෂන හා නඩුව දේශපාලන පලිගැනීමක් ලෙස ගුනාංගීකරනය කරමින් එයින් ඔහු මුදාහල යුතු බවට නිර්දේශ කලේය.
කොමිෂම මෙසේ කරන ලද වෙනත් නිර්දේශ මගින්, මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ අනුදැනුම සහිතව සිදුකෙරුනු මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාම හා වදහිංසා පැමිනවීම, ජෝසෆ් පරරාජසිංහම් ඝාතනය, මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතරුදහන් කිරීම, වැලිකඩ බන්ධනාගාර ඝාතනය, වැලිවේරිය ජන අරගලයට වෙඩිතබා පුද්ගල ඝාතන සිදුකිරීම ආදී අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන්ට එරෙහි නඩු හකුලා ගැනීමට පාර කපා දුනි. පසුගිය මැයි මස, අගමැති මහින්ද රාජපක්ෂ මෙම නිර්දේශ සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.
තම පක්ෂයේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි හිටපු මන්ත්‍රිවරයෙකු වූ දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිර්මට ඉන් අනතුරුව රාජපක්ෂ කටයුතු කලේය. රාජපක්ෂ හවුලේ දීර්ඝකාලීන සහචර මැරයෙකු සහ ව්‍යාපාරිකයෙකු වන සිල්වා නොබෝ දිනකින්ම නිවාස සංවර්ධන අධිකාරියේ ඉහලම පුටුවට පත් කෙරුනි.
මීට පෙර, රාජපක්ෂ බලයට පැමින නොබෝ කලකින්, වසර 2000 දී යාපනය මුලතිව් ප්‍රදේශයේදී කුඩා දරුවන් ඇතුලු දෙමල වාර්ගිකයන් අට දෙනෙකු ගෙල කපා මරදැමීමට වරදකරු කරනු ලැබ සිර දඬුවම් විඳිමින් සිටි හිටපු හමුදා නිලධාරියෙකු වන සුනිල් රත්නායක එලෙසම ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබීය.
පාලක ආන්ඩු විසින් පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සංඛ්‍යාත්මකව ලොව දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාව සිටින බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වාර්තා කරයි. 1971 හා 1988/89 දකුනේ සිදු කෙරුනු තරුන සංහාරය හා උතුරේ යුද්ධය තුල මෙසේ පැහැර ගැනුනු, අතුරුදහන් කෙරුනු හා මරා දැමුනු දස දහස් ගනනක් සම්බන්ධයෙන් මෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ආදී මේ කිසිම අපරාධයකට කිසිම දේශපාලකයෙකු හෝ මිලිටරි, පොලිස් නිලධාරියෙකු අධිකරනයක දී වගවීමකට ලක්කොට නැත.
බලයට පැමිනි වහාම රජයේ ඉහලම මර්මස්ථානවලට හිටපු හා සේවයේ යෙදී සිටින මිලිටරි නිලධාරීන් පත්කල රාජපක්ෂ, තම දේශපාලන හා ආර්ථික න්යායපත්රට බාධා නොකොට අවනත වන ලෙස රාජ්‍ය සේවකයන්ට ද, අධිකරනයටද විවෘතව කියා සිටියේ ය. මහින්ද රාජපක්ෂ සමයේ සිටි ජනාධිපති ලේකම්ගේ සිට ආන්ඩුවේ මැති-ඇමතිවරුන් හා සහචරයන්ට එරෙහි නඩු ගනනාවක් උසාවියෙන් ඉවතට විසි වූයේ මෙවන් පසුබිමක් තුල ය.
මහජනතාවගේ ඇස් ඉදිරිපිටම නීතිය ක්‍රියාත්මක වන්නේ දෙආකාරයකට බව කම්කරු පන්තිය හා පීඩිත ජනතාව එදිනෙදා අතිවිඳිමින් සිටිති. මහජනතාවගේ ප්රජාතන්ත්ර අයිතීන්ට එල්ල කෙරෙන මෙම රුදුරු ප්‍රහාරය, අධිරාජ්‍යවාදී රටවල සිට ලොව අන් සෑම රටක් දක්වා, කුනුවී ගිය ධනේශ්වර දේශපාලන ආර්ථික පර්යාය තුල ගැඹුරටම කිඳා බැස ඇති සාපරාධී ප්රපංචයකි. පාලන තන්ත්රයන්හි සහචරයන්ගේ දූෂන, වංචා, මිනීමැරීම් ඇතුලු අපරාධයන්ට මුක්තිය ලබා දීම හා එම අපරාධ යට ගැසීම මෙම ධනේශ්වර කුනුවීමේ ප්රකාශනයකි.
ඇමරිකානු බුෂ් පාලන නන්ත්රය විසින් ඉරාකය තුල ආරම්භ කල දෙවන ඉරාක ආක්රමනික යුද්ධයේදී මාධ්‍යවේදීන් ඇතුලු සිවිල් වැසියන් ඝාතනය කිරීමට අදාල සාක්ෂි හෙලිදරව් කල වීකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් දශකයකට වැඩි කාලයක් තිස්සේ ලෝක අධිරාජ්‍යවාදී බලයන්ගේ දඬුඅඬුවට හසුකර සිරගත කර ඇති අතර, එම අධිරාජ්‍යවාදී යුධ අපරාධවලට සම්බන්ධ මිලිටරි නිලධාරීන් කිසිදු අපරාධ වගවීමකට යටත් නොකිරීම මෙම කාරනය විශදව සනාථ කරයි.
අපරාධයන් යට ගැසීම හා අපරාධකරුවන් ආරක්ෂා කිරීම ධනපති පන්ති පාලනයේ දේශපාලන අවශ්‍යතාවයන් සමඟ අත්‍යන්තයෙන්ම බැඳී පවතී. මෙම අපරාධයන්ට එරෙහි වගවීම හා යුක්තිය පිහිටුවාලීමේ ක්‍රියාදාමය, එකී අපරාධයන්ගේ මූලය වන ධනපති පන්ති පාලනය මුලිනුපුටා දැමීම එල්ල කරගත් කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයක් සමඟ බැඳී ඇත.