සමස්ත ලංකා වරාය පොදු සේවක සමිති සම්මේලනය:

ජවිපෙ ආන්ඩුවක් යටතේ ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීම සඳහා ආන්ඩු-සමිති යාන්ත්‍රනයක්

ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ ) සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ (සලවපොසේස) 24 වන සම්මේලනය නොවැම්බර් 2 දින කොටුව සේවාමුක්ත භට සංගම් ශාලවේ දී පැවැත්වුනි. ජවිපෙට අයත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක හා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති, වසන්ත සමරසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සම්මේලනය මුලුමනින්ම කැප වී තිබුනේ, ජවිපෙ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ව්‍යායාමයට ය.

ජවිපෙට අයත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක හා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති, වසන්ත සමරසිංහ (WSWS)

සම්මේලනය කැඳවා තිබුනේ, සලවපොසේස යේ මූලිකත්වයෙන් ගොඩනගා ඇති වරාය වෘත්තීය සමිති එකතුව මගින් වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් පාලකයන් වෙත ඉදිරිපත් කර තිබූ තත්වයකයි. 2024 ජනවාරි සිට වසර 3ක් සඳහා වාර්ෂික ව සියයට 36කින් වැටුප් වැඩි කිරීම, රු 20000 ක මාසික දීමනාවක් ලබා දීම, වැටුප් වර්ධකය දෙගුනයකින් ඉහල දැමීම සහ ප්‍රසාද දීමනාව ලාභයෙන් සියයට 10ක් වන සේ වැඩි කිරීම එම ඉල්ලීම් අතර විය.

පසුගිය වසර කීපය තුල දැවැන්ත පරිමානයෙන් ඉහල නැග ඇති ජීවන වියදම හමුවේ සියයට 36ක වැටුප් වැඩි වීමක් කිසි සේත් ප්‍රමානවත් නොවන බැවින් සහ පහල ශ්‍රේනි වල කම්කරුවන්ට ඒ අනුව වැඩි වන්නේ සොච්චමක් බැවින්, මෙම ඉල්ලීම ඉදිරිපත් කල සලවපොසේස ඇතුලු වෘත්තීය සමිති සම්බන්ධයෙන් බලගතු විරෝධයක් කම්කරුවන් අතර වැඩී තිබුනි.

මෙම විරෝධය සමහන් කරනුවස්, සමරසිංහ තම කතාව ආරම්භ කලේ සියයට 36ක වැටුප් වැඩිවීමක් “කිසිසේත් ප්‍රමානවත් නොවන” බව පවසමිනි. පසුගිය මහජන නැගිටීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරිය නමුත්, විසඳුමක් ලැබී නොමැති බව පැවසූ සමරසිංහ, ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ ) බලයට පත්වුවහොත්, වෘත්තීය සමිති සමග එක්ව වැඩපිලිවෙලක් සකසා වැටුප් ප්‍රශ්නය ඇතුලු සියලු ප්‍රශ්න විසඳන බව කියා සිටියේ ය.

ජාජබ යේ ආන්ඩුවක් යටතේ එම ප්‍රශ්න විසඳන ආකාරය ඔහු විස්තර කලේ මෙසේ ය: “වරාය ඇමතිවරයාගේ සිට වරායේ සියලු වෘත්තීය සමිති එකතුකර ගත්ත මෙහෙයුම් ක්‍රියාවලියක් … වරාය මෙහෙයුම, ගොඩනැගීම, සේවක ශුභසාධනය, වරාය සංවර්ධනය ඒකාබද්ධ කර ගත්ත පුලුල් මෙහෙයුමක් සහිත මැදිහත්වීමක් තමයි ක්‍රියාවට දමන්නෙ.”

නැව් වලට කාර්යක්ෂම සේවා සපයන්නකු ලෙසත්, රැකියා උත්පාදනය කරන්නකු ලෙසත් කොලඹ වරාය සංවර්ධනය කලයුතු බව කියා සිටි සමරසිංහ, “හොඳ ඵලදායීතාවයක් රටට ගෙන ඒම” සම්බන්ධයෙන් කම්කරුවන්ට කාර්යභාරයක් ඇති බව පැවසී ය.

වරායේ ඵලදායිත්වය වැඩි කිරීම යනු, ධනපති රාජ්‍යය සතු ව්‍යවසායක් ලෙසින් හෝ පුද්ගලික ව්‍යවසායක් ලෙසින් හෝ එහි ලාභෝත්පාදනය වැඩි කිරීම සඳහා කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කෑම රුදුරු ම ආකාරයෙන් තීව්‍ර කිරීම හැර අන් යමක් නොවේ. ජවිපෙ/ජාජබ ආන්ඩුවක් බලයට ගෙන ඒමට දරදිය අදින සලවපොසේස වැනි සමිති, එම සූරාකෑමේ වැඩපිලිවෙලට කම්කරුවන් යටත්කර දිය යුතු බව සමරසිංහ කියා සිටියේ මෙසේ ය: ”වෘත්තීය සමිති එකතුවෙලා ආන්ඩුවක් හැදුවනම් වෘත්තීය සමිතියි ආන්ඩුවයි දෙකක් වෙන්න බැහැ. එහෙම වෙන්න පුලුවන්ද ? එහෙමනම් වෘත්තීය සමිති විසුරුවන්න ඔ්න.”

ආන්ඩුව සහ සමිති ඒකාග්‍ර කරගත් මෙවන් යාන්ත්‍රනයක රුදුරු ප්‍රතිඵල වරාය කම්කරුවන් ඇතුලු ලංකාවේ සමස්ත කම්කරු පංතිය අත්විඳ ඇත. 1970 දී බලයට පැමිනි අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුව විසින් පිහිටුවන ලද, ආන්ඩුවේ සහ සමිතිවල නියෝජිතයන්ගෙන් සමන්විත “කම්කරු උපදේශන සභා” මේ පිලිබඳ බලගතු සාදෘශයයකි. මෙම සභා යොදා ගැනුනේ, ආන්ඩුවේ ප්‍රහාර වලට එරෙහි කම්කරු සටන් පූර්ව-භංග කිරීමට සහ එවන් සටන්වල නායකත්වය ගත් කම්කරුවන් දඩයම් කිරීම සඳහා ය. අද දින ලංකාවේ පාලක පංතීන් මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ එවන් යාන්ත්‍රනයක් වඩාත් විෂඝෝර වනු ඇත.

එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් යලි ලෝකය බෙදා ගැනීම සඳහා, යුක්‍රේනය සහ ගාසාව මැදි කර ගෙන ගෙන යන ලේ වැකි යුද්ධ, හුදෙක් “කල් ඉකුත්වූ ආයුධ” විකුනා ගැනීම සඳහා අවුලුවන ලද යුද්ධ ලෙස හඳුන්වමින්, එම යුද්ධවල සැබෑ අරමුනු සහ ඒවායේ ව්‍යසනකාරී ප්‍රතිඵල කම්කරු පංතියෙන් වසන් කිරීමේ අන්ත ප්‍රතිගාමී උත්සාහයක ද සමරසිංහ නිරත විය. යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධය “කල් පිරුනු යුද්ධයක්” බවට පත්ව ඇති බැවින්, “කල් පිරුනු අවි ආයුධ” සඳහා අවශ්‍ය වූ යුදබිම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර නිර්මානය වී ඇති බව ඔහු පැවසී ය.

අතීතයේදී වැමෑරූ අධිරාජ්‍ය-විරෝධී වාගාලාප හැරපියා ජවිපෙ අධිරාජ්‍යවාදීන් සමග වඩවඩාත් පෙලගැසෙමින් සිටී. පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපතිනිය යලියලිත් හමුවූ ජවිපෙ නායකයෝ ඇය සමග “සුහද සාකච්ඡා” පැවැත්වූහ. අවසාන සාකච්ඡාව පැවැත්වූයේ ගාසා තීරයේ ජන සංහාරය සහ චීනයට එරෙහි එක්සත් ජනපද යුද-මූලෝපායික වැඩකටයුතු වර්ධනය කෙරෙන තතු යටතේය.

සමරසිංහ තම කතාව අවසානයේ, ජවිපෙ/ජාජබ ආන්ඩුවක් පිහිටුවීමට ඉදිරියට එන ලෙස වරාය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

සලවපොසේස ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන සම්මේලනය අමතා කතා කරමින්, වරාය සමිති විසින් පුද්ගලීකරනයට එරෙහි අතීත සටන් පාවාදීම සම්බන්ධයෙන් තම අත්සෝදා ගැනීමේ මංමුලාසහගත ප්‍රයත්නයක නිරත විය. “අපේ ශක්ති ප්‍රමානයෙන් අපි වරාය සම්පත් රැකගනීමට ප්‍රයත්න දැරුවා. නමුත් අවසන් වුනේ පාවා දීමෙන්” යැයි ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආන්ඩු සහ එක්සත් ජාතික පක්ෂ ආන්ඩු යටතේ පුද්ගලීකරනය සිදු කෙරෙනවිට, පිලිවෙලින් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ජාතික සේවක සංගමය එම සටන් පාවා දුන් බව පවසමින්, තම සමිතියේ පාවාදීම් වසන්කිරීමට ගොරකාන යත්න දැරීය.

සලවපොසේස පිහිටුවා වසර 27ක් ගතව ඇති තතු තුල, 2000 වසරේ සිට වරාය අධිකාරිය සතුව පැවති කොටස් පුද්ගලික අංශයට පැවරීම සම්බන්ධයෙන් එම වෘත්තීය සමිතියද වගකිව යුතුය. 2021 දී, කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු අදානි සමාගමට පැවරීමට එරෙහිව කොලඹ වරායේ සියලු සේවකයන්ගේ වැඩ වර්ජනය පාවා දී නැගෙනහිර වෙනුවට බටහිර පර්යන්තය පවරා දීමට එගගවූ වෘත්තීය සමිති සන්ධානයට සලවපොසේස ද ඇතුලත්‍ ය.

ඔහු ද අවසානයේ කියා සිටියේ, මෙම ප්‍රහාර පරාජය කිරීම වරාය සේවකයාට තනිව කල නොහැකි බැවින්, “අපේ පක්ෂයට (ජවිපෙ) දේශපාලන බලය ලබා දිය යුතු” බවයි.

ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් කැපවන බවට, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනය හමුවේ යලියලිත් ශපථවන සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සමග විවෘතව පෙල ගැසෙමින් සිටින ජවිපෙ බලයට පැමිනියහොත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුලු ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ප්‍රහාර රුදුරුම ආකාරයෙන් ඉදිරියට ගෙනයාම සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ භූ-මූලෝපායික වැඩකටයුතු වලට ශ්‍රී ලංකාව වඩවඩාත් ඒකාග්‍ර කිරීම හැර අන් කවර හෝ විකල්පයක් එයට නොමැත.

වරාය කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පංතිය, ජවිපෙ යෝජනා කරන මෙම ආන්ඩු-සමිති ප්‍රතිගාමී යාන්ත්‍රනයට එරෙහිව, වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට පෙරට පැමිනීම අත්‍යවශ්‍ය ය.

සෑම වැඩපොලකම, කම්හලකම සහ නිවස්නා ප්‍රදේශයක පිහිටුවා ගන්නා එවන් ක්‍රියාකාරි කමිටු ජාලයක නියෝජිතයන්ගෙන් සමන්විත කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් කැඳවා, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් වැදිය යුතුය.

Loading