ලංකාවේ කම්කරුවන්ගෙන් සසප පක්ෂ සංවර්ධන උද්ඝෝෂනයට බලගතු සහායක්

[මෙය Sri Lankan workers enthusiastically support SEP’s party development campaign යන මැයෙන් 2024 මැයි 13දා පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) උප නගර සහ ප්‍රධාන නගර කිහිපයක කම්කරුවන් හා තරුනයන්ගේ සහයෝගය දිනා ගනිමින්, මේ මාසයේදී, සිය අභිලාෂකාමී පක්ෂ සංවර්ධන උද්ඝෝෂනය අනවරතයෙන් ඉදිරියට ගෙන යමින් සිටී.

ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට පක්ෂ උද්ඝෝෂනයේ දී ජනතාව සසප පොත්පත් වෙත අවධානය යොමුකරමින්

මැයි 7 දා සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාශි) සාමාජිකයෝ ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට පොත් මේසයක් ස්ථාපනය කර, සිංහල හා දෙමල භාෂාවලින් 'කම්කරු පන්තික පක්ෂ මැතිවරනවලින් ඉවත්කිරීමේ ආන්ඩුවේ ප්‍රයත්නය පරාජය කරමු' යනුවෙන් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂනයක නිරතවූහ. ගම්පහ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පලාතේ හයවන විශාලතම නාගරික ප්‍රදේශය වන අතර සෑම දිනකම මගීන් දහස් ගනනක් දුම්රිය ස්ථානය භාවිතා කරයි.

ලියාපදිංචි පක්‍ෂයකට හෝ ස්වාධීන මට්ටමින් මැතිවරනයට තරග කරන අපේක්‍ෂකයන්ට ඉදිරි මැතිවරනවලදී ඇප මුදල් විශාල වශයෙන් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ කැබිනට් මන්ඩලය පසුගිය මාසයේ තීරනය කලේය. නිදසුනක් වශයෙන්, සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත මීලඟ ජනාධිපතිවරනයේ දී ලියාපදිංචි පක්ෂයක අපේක්ෂකයකුගේ තැන්පතු මුදල රුපියල් 50,000 සිට රුපියල් මිලියන 2.6 දක්වා 52 ගුනයකින් වැඩි කර ඇත. ස්වාධීන අපේක්ෂකයෙකු සඳහා මෙම මුදල, රුපියල් 75,000 සිට රුපියල් මිලියන 3.1 දක්වා ඉහල දමා තිබේ.

මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරේ අරමුන වන්නේ, සමාජවාදී සමානතා පක්ෂය ඇතුලු අනෙකුත් පක්ෂ කොන් කරන අතරම, ඡන්දදායකයින්ගේ තෝරා ගැනීම් ධනේශ්වර පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයින්ට සීමා කිරීමයි.

සසප සාමාජිකයෝ තම උද්ඝෝෂනයේ පදනම ලෙස යොදාගෙන තිබූ පරිදි, “ආන්ඩුව මැතිවරන අපේක්ෂකයන්ට පෙර නුවූ විරූ ප්‍රජාතන්ත්‍ර-විරෝධී සීමා පැනවීම් නිවේදනය කරයි” යන පක්ෂයේ අප්‍රේල් 15 ප්‍රකාශයේ පිටපත් දහස් ගනනක් දුන්නෝ ය. “සමාජවාදී සමානතා පක්ෂය සිය දේශපාලන වැඩ කටයුතු පුලුල් කිරීම සඳහා පක්ෂ සංවර්ධන අරමුදලක් දියත් කරයි,” යන මැයෙන් වූ සසප තවත් ප්‍රකාශයක් ද බෙදා හැරුනි.

සියල්ලන්ම පාහේ, ස්වාධීන හා සමාජවාදී අපේක්ෂකයින් මැතිවරනයට සහභාගී වීම වැලැක්වීමට ආන්ඩුව දරන උත්සාහයන් හෙලා දකිමින්, සසප හා සසජාතශි උද්ඝෝෂකයින් සමග සාකච්චාවලට උනන්දුවෙන් සම්බන්ධවූහ.

“මේක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට විරුද්ධ කැත ප්‍රහාරයක්,” යනුවෙන් පවසූ රාගම තැපැල් සේවකයෙකු වන තිස්ස එයට මෙසේ ද එකතු කලේය: “ආන්ඩුවට ඕන වෙලා තියෙන්නේ, වාමාංශික අපේක්ෂකයිනුයි, පක්ෂයි මැතිවරනයෙන් පැත්තකට කරලා අයින් දාන්න කියලා මේකෙන් පැහැදිලියි. එතකොට ධනපති පක්ෂවලට විතරක් හැමදෙයක්ම තීන්දු කරලා උන්ට ඕන විදියට රට මංකොල්ල කන්න පුලුවන් එකම ක්‍රමේ මේකයි.'

ඔහු කෝපයෙන් මෙසේ පැවසීය: “මේ ආන්ඩුවට මිනිස්සු ගැන මොනම අනුකම්පාවක්වත් නැහැ; සෑම පෙරමුනකම වැඩ කරන ජනතාවටයි දුප්පතුන්ටයි හැම පැත්තෙන්ම පහර දෙනවා. පාරිභෝගික භාන්ඩවල මිල අහස උසට නැගලා, ඒ නිසා නිසා අපට ලැබෙන සොච්චම් පඩියෙන් අපට ජීවත් වෙන්න බැහැ.'

සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සඳහා සසප කරන ලද ඉල්ලීමට එකඟ වූ තිස්ස, “එක එක ආන්ඩුවලින් පහුගිය කාලයේ නයට ගත්ත මේ සල්ලි ගියේ කොහාටද? ඇයි කම්කරුවොයි දුප්පත් මිනිස්සුයි උන්ගෙ නය ගෙවන්නේ? අපිට මේ නය දිගටම ගෙවන්න සිද්ධ වුනොත් අපේ දරුවන්ට ඔවුන්ගේ අනාගතය ගැන හිතන්නවත් බැරි වෙයි, ඔහු කීවේ ය.

ඔහුගේ සහෝදර තැපල් සේවකයන් අතර බෙදීමට කියා තිස්ස සසප ප්‍රකාශයේ පිටපත් කිහිපයක් ඉල්ලා ගත්තේ ය.

ගම්පහ ප්‍රදේශයේ කුඩා ව්‍යාපාරිකයෙකු වන නිරේෂ්, ආන්ඩුව විසින් මැතිවරන ඇප මුදල් විශාල ලෙස ඉහල දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයක් බවට එකඟ වූ අතර, විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහ එහි ජාතික ජන බලවේගයේ (ජාජබ) අවස්ථාවාදී දේශපාලනය ද විවේචනය කලේය.

'ජවිපෙ/ජාජබ සහ අනෙකුත් ධනේශ්වර පක්ෂ අතර කිසිදු වෙනසක් මට නම් පේන්නෙ නැහැ' යනුවෙන් ඔහු පැවසුවේ, විවිධ ධනේශ්වර ආන්ඩු සහ ජනාධිපතිවරුන් බලයට ගෙන ඒම සඳහා ජවිපෙ මීට පෙර දැරූ ප්‍රයත්නයන් ගැන ද සඳහන් කරමිනි.

“[1990 ගනන්වල] ජවිපෙ, චන්ද්‍රිකා (කුමාරතුංගට) ඡන්දය දෙන්න කියල මිනිස්සුන්ට කීවා, පස්සෙ ඔවුන් අපට කීවා, මහින්ද [රාජපක්ෂට] ඡන්දය දෙන්න කියලා, ඊට පස්සේ [මෛත්‍රීපාල] සිරිසේනට සහාය දුන්නා. දැන් ඔවුන් කියන්නෙ ඒ සියලු දේශපාලනඥයන් හොරු සහ ඔවුන් [ජවිපෙ/එන්පීපී] හොඳ මිනිසුන් කියලා. ඔවුන් සිතන්නේ මිනිසුන් මෝඩයො කියල ද? මේක විහිලුවක්,” ඔහු පැවසීය.

ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහි ඊස්රායල ජන සංහාරය හෙලා දකිමින් නිරේෂ් පැවසුවේ ය, “ඊස්රායලය හිතාමතාම හමාස් සටන්කාමීන්ට ඊශ්‍රායලය ඇතුලට රිංගලා ඔක්තෝබර් 7 ප්‍රහාරය එල්ල කිරීමට ඉඩ දුන්නා. ඔවුන් මෙය කලේ, ඊස්රායලයේ ගාසා වැසියන්ට එරෙහි පෙර නොවූ විරූ අපරාධ සාධාරනීකරනය කරන්න ලෝක මතයක් නිර්මානය කිරීමේ අරමුන ඇතිවයි.' ඊස්රායලයේ නීති විරෝධී හා කුරිරු යුද්ධයට විරුද්ධ වන ලෙස ඔහු ලොව පුරා සිටින ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මැයි 6 දා තවත් සසප කන්ඩායමක් කොලඹ වරායෙන් පිටත ඛාන් ඔරලෝසු කනුව අසල පොත් මේසයක් තබා මෙම උද්ඝෝෂනයේ නිරතවිය. වරාය සේවකයන් ඇතුලු බොහෝ කම්කරුවන් මෙම කාර්ය බහුල ස්ථානය පසුකර යති. කිහිප දෙනෙක් පක්ෂ උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර සසප සාහිත්‍යය ගැන දැඩි උනන්දුවක් දැක්වූහ. පොත්පත් මිලදී ගත් ඔවුහු, පක්ෂ සංවර්ධන අරමුදලට රුපියල් 3,500 ක පමනක් මුදලක් පරිත්‍යාග කලහ.

සසප උද්ඝෝෂකයෝ කොලඹ වරාය අසල කම්කරුවෙකු (වමේ) සමග කතා කරති

සසප උද්ඝෝෂනයට ප්‍රතිචාර දැක්වූ කොලඹ වරායේ පුද්ගලික සමාගමක එක් සේවකයෙක්, අපේක්ෂකයින් සඳහා මැතිවරන ඇප මුදල් විශාල ලෙස ඉහල දැමීම ගැන මෙසේ කීවේ ය: 'තමන්ට මැතිවරනය දිනන්න බැරි බව ආන්ඩුව දන්නවා. ඒක නිසා තමය් ඔවුන් මේක කරල තියෙන්නෙ.'

විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ ජාජබ වැනි පක්ෂවලට මෙම පියවරෙන් බලපෑමක් ඇති නොවන බව ඔහු පැවසීය. “ඔවුන්ට ගෙවන්න පුලුවන්. එයාලට ගෙවන්න මිනිස්සු ඉන්නවා, ඒ නිසා මේ ඇපය වැඩිකිරීම බලපාන්නෙ කුඩා පක්ෂවලට” යැයි පවසමින් ඔහු පක්‍ෂය ගොඩනැගීමේ අරමුදලට මුදල් පරිත්‍යාගයක්ද කලේය.

කම්කරු පන්තිය සමාජවාදී ආන්ඩුවක් බලයට ගෙන ඒම සහ සැමට සමාන අවස්ථා සහතික කල යුතු බව පවසූ කම්කරුවා, කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන ගැටලු ජාජබ/ජවිපෙ ආන්ඩුවකට විසඳිය හැකිද යන්න දැනගැනීමට කැමත්ත පලකලේ ය. ජාජබ/ජවිපෙ ධනේශ්වර පක්ෂයක් බවත් එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට කැපවී සිටින බවත් සසප සාමාජිකයෝ පැහැදිලි කලහ.

කිසියම් කටයුත්තක් සඳහා කොලඹට පැමිනි මහනුවර ආන්ඩුවේ රෝහලක භෞතචිකිත්සකයෙකු සමග සසප උද්ඝෝෂකයෝ කතා කලහ. රජයේ රෝහල්වල වෛද්‍ය වෘත්තිකයන්, ඉතා අඩු කාර්ය මන්ඩලයක් සහ අධික වැඩ බර නිසා දැඩි පීඩනයකට ලක්ව සිටින බව ඔහු පැවසීය. “ආන්ඩුවට අලුතින් සේවකයන් බඳවා ගන්න අවශ්‍ය නැහැ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය පිලිබඳව අදහස් දක්වමින් භෞතචිකිත්සකවරයා කියා සිටියේ මෙම තත්වයට සියලුම පාර්ලිමේන්තු පක්ෂ වගකිව යුතු බවයි.

“මැතිවරනයේදී මේ පක්ෂ සියල්ලම පරාජය කරලා, ලෝක සම්ප්‍රදායට අනුව මෙම ගැටලු විසඳන්න කම්කරු පන්තිය මැදිහත් වෙන්න ඕන. මේ කම්කරු පංතියේ පක්ෂය ගොඩනැගීම සඳහා ඔබලා විශාල කාර්යභාරයක් ඉටු කරන බව මම විශ්වාස කරනවා” ඔහු කීවේ ය. භෞතචිකිත්සකවරයා සසප පොත් කිහිපයක් මිල දී ගෙන පක්ෂයේ උද්ඝෝෂන අරමුදලට මුදල් පරිත්‍යාග කරමින්, “අනිත් අයට පැහැදිලි කරන්න පුලුවන් වෙන්න, මට ඔබේ පොත් ලබා ගැනීමට අවශ්‍යයි,” යනුවෙන් පැවසීය.

දෙමටගොඩ උද්ඝෝෂනය අතරතුර සසප සාමාජිකයින්ට කතා කරන කම්කරුවෙක් (වමේ සිට දෙවැන්නා)

පසුගිය මාසයේ සසප සාමාජිකයින් කොලඹ දෙමටගොඩ ලංකා රජයේ දුම්රිය මහල් නිවාසයේ උද්ඝෝෂනයක නිරත වූ අතර, වසර 31 ක් දුම්රිය සේවයේ සේවය කල විශ්‍රාමික දුම්රිය සේවකයෙකු එහිදී ඔවුන්ට හමුවිය. මැතිවරන තැන්පතු ඉහලදැමීම හෙලා දකිමින් ඔහු, “මේක ඔවුන් කලේ ඔවුන්ගේ වාසි සහ ඔවුන්ගේ [දේශපාලන] බලය වැඩි කර ගැනීමට” යැයි පැවසීය.

කම්කරු පන්තියේ පක්ෂවලට මෙය බලපානු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය, “අනාගතයේ දී ආන්ඩුව මෙම පක්ෂ සම්පූර්නයෙන්ම විසුරුවා හරින්න උත්සාහ කරයි කියලයි මම හිතන්නෙ. ඔවුන් [කම්කරු ව්‍යාපාරය] යටපත් කිරීමට යන්නේ කම්කරුවන් ආයෙමත් නැගිටින්න පුලුවන් කියන බය හින්දා,' 2022දී හිටපු ජනාධිපති ගෝඨාභය සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහ කල මහජන නැගිටීම ගැන සඳහන් කරමින් විශ්‍රාමික කම්කරුවා කීවේ ය.

තමන් එවකට ජනාධිපති රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය (ශ්‍රීලංපොපෙ) ඇතුලු විවිධ ධනේශ්වර දේශපාලන පක්ෂවලට සහය දීම සම්බන්ධයෙන් ඔහු සිය කනගාටුව ප්‍රකාශ කලේය.

“මට දැන් මේ ගැන [සත්‍යය] වැටහෙනවා, ආයෙත්නම් මම මේ කිසිදු පක්ෂයකට සහාය දක්වන්නෙ නැහැ,” ඔහු පැවසූ අතර කම්කරුවන් සහ දුගීන් දැන් මුහුන දෙන කනගාටුදායක දරිද්‍රතාවය පැහැදිලි කලේය. “මේ තත්වය සම්පූර්නයෙන්ම වෙනස් කල යුතුයි,” ජනතා විමුක්ති පෙරමුනේ ද්‍රෝහී ක්‍රියාකලාපය සිහිපත් කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔවුන් විශ්වාස කල නොහැකි බවට අනතුරු ඇඟවූයේ ය.

සසප උද්ඝෝෂකයෝ ජවිපෙ පන්ති ස්වභාවය සහ ජාමූඅ කප්පාදුවට එහි ධනේශ්වර ගැති සහයෝගය පැහැදිලි කලහ. හිටපු දුම්රිය සේවකයා මෙසේ පැවසීය: “ඔවුන් කරන්නේ කුමක්දැයි මට දැන් වැටහෙනවා. ඔවුන් තානාපතිවරුන් සහ [විදේශීය] රාජ්‍ය තාන්ත්‍රිකයින් මුනගැසෙනවා, ඔවුන්ගේ නායකයා [දිසානායක] විවිධ රටවලට යනවා, නමුත් ඔහු මේ දේවල් ගැන පැහැදිලිව කරනු දක්වන්නෙ නැහැ. කවුරුවත් ඇත්ත කියන්නේ නැහැ.”

සසප ඉතිහාසය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙල පිලිබඳ වැඩිදුර සාකච්ඡාවෙන් පසු ඔහු පිලිතුරු දුන්නේ ය: “අපට අවශ්‍ය වන්නේ පහලින් නැඟී එන, ජනතාවට කැප වුනු, වරප්‍රසාදවලට යටත් නොවන ව්‍යාපාරයක්. ඔබ පැහැදිලි කල වැඩසටහන සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

Loading