ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි ප්‍රසිද්ධ දේශනය—“ශ්‍රී ලංකාවේ 2022 මහජන අරගලයෙන් දෙවසරක්: දේශපාලන පාඩම්”

[මෙය SEP/IYSSE (Sri Lanka) to hold public lecture—“Two years since the 2022 mass uprising in Sri Lanka: The political lessons” යන මැයෙන් 2024 මැයි 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ජූනි මස 4 වනදා ප.ව. 4 ට, කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී '2022 මහජන අරගලයෙන් දෙවසරක්: දේශපාලන පාඩම්' යන මැයෙන් ප්‍රසිද්ධ දේශනයක් පවත්වයි.

මීට වසර දෙකකට පෙර, 2022 මුල් භාගයේදී, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහි මහජන විරෝධතා සහ වැඩ වර්ජන වලින් ශ්‍රී ලංකාව දෙදරා ගියේය.

මෙම ආන්ඩු-විරෝධී ව්‍යාපාරය පුපුරා ගියේ, කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධයෙන් නිපන්, රටේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයේ සමාජ බර, රාජපක්ෂ විසින් කෲර ලෙස වැඩකරන ජනතාව මත පැටවීමට එරෙහිව ය. මෙම අරගල, ජාත්‍යන්තරව කම්කරු පන්තියේ නැගී එන අරගල රැල්ලක කොටසකි.

මෙම විරෝධතා, අප්‍රේල්-ජූලි අතර කොලඹ ගාලු මුවදොර පිටිය අත්පත් කර ගැනීමත් සමඟ, සිංහල, දෙමල සහ මුස්ලිම් වාර්ගික බෙදීම් කපාගෙන කම්කරුවන්, තරුනයන් සහ ග්‍රාමීය ජනතාව සම්බන්ධ කර ගනිමින් අනෙකුත් ශ්‍රී ලංකාවේ නගරවල විරෝධතා සමඟ වර්ධනය විය. අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල එක්දින මහා වැඩ වර්ජන දෙකේදී, කම්කරුවන් මිලියන ගනනින් සහභාගී වූහ. මෙම නැගිටීම, ජනාධිපති රාජපක්ෂට රටින් පලා යාමටත්, ඉල්ලා අස්වීමටත් බලකල අතර එය ඔහුගේ පාලනය බිඳවැටීමට තුඩු දුන්නේය.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති නිලධරය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම කන්ඩායම්වල පිටුබලය ඇතිව, මෙම මහජන ව්‍යාපාරය පීලි පන්නවා පාර්ලිමේන්තු රාමුවට බැඳ තැබීමට ධනේශ්වර සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන සහ එහි ජාතික ජන බලවේගය සමග පෙලගැසුනි.

මෙම දේශපාලන පාවාදීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ ඉන්දීය ආන්ඩුවේ ආශිර්වාදය ඇතිව, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවට අපකීර්තිමත් රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධූරයට ඔසවා තැබීමට මග පෑදීය. වික්‍රමසිංහ ගාලු මුවදොර පිටියේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාඩිලාගැනීම් කුරිරු ලෙස මර්දනය කලේය; ඉන්පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) දරුනු කප්පාදු පියවරයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි විවිධ ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය.

මහජන ව්‍යාපාරයේ මෙම පාවාදීම සහ ධනේශ්වර පාලනයේ මෙම තාවකාලික ස්ථාවර වීම සිදු වූයේ කෙසේද? එයට පිලිතුර පවතින්නේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත බලය අල්ලා ගැනීම සඳහා ග්‍රාමීය දුප්පතුන්ගේ සහාය ඇතිව කම්කරු පන්තිය අරගලයක් තුල බලමුලු ගැන්වීමට මහජන විප්ලවවාදී පක්ෂයක් නොමැති වීම තුල ය.

මෙම අරගලය පුපුරා යාමේදී, කම්කරුවන්ගේ හා දුගී ජනතාවගේ සමාජ කොන්දේසි ආරක්ෂා කිරීමට, ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමේ වැඩපිලිවෙලක් සැපයූ එකම පක්ෂය වූයේ සසප යි. ආන්ඩුවට සහ ලාභ පද්ධතියට එරෙහිව—ධනේශ්වර පක්ෂ, වෘත්තීය සමිති සහ ඔවුන්ගේ ව්‍යාජ-වාම හෙංචයියන්ගෙන් ස්වාධීනව—ඒකාබද්ධ අරගලයක් මෙහෙයවීම සඳහා කම්කරුවන්ගේ මෙන්ම ගම්බද දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එය යෝජනා කලේය.

සමාජවාදී ප්‍රතිපත්ති සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට, එම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින්ගෙන් සැදුම් ලබන කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් සඳහා සසප කැඳවුම් කලේය.

වසර දෙකකට පසුව, ආන්ඩුවේ ජාමූඅ කප්පාදු පියවර හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර වලට විරුද්ධව, ශ්‍රී ලංකාවේ කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව යලිත් අරගලයට පැමිනෙමින් සිටිති. කෙසේ වෙතත්, ව්‍යාජ-වාම පෙසපයේ සහාය ඇතිව ධනේශ්වර-ගැති වෘත්තීය සමිති මෙම අරගල හිතාමතාම අවහිර කරමින් සිටින්නේ, ඒවා පාලනය කල නොහැකි ලෙස උත්සන්න වනු ඇතැයි යන බියෙනි. ධනේශ්වර පාලනය බිඳවැටීමේ අද්දරට ගෙන ආ 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීමේදී පාලක සහ විරුද්ධ පක්ෂ සිටියාක් මෙන්, වෘත්තීය සමිති නායකත්වය ද බියපත්ව සිටී.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොටසක් ලෙස ශ්‍රී ලාංකික කම්කරුවන්, වේගයෙන් වෙනස් වන දේශපාලන වාතාවරනයකට මුහුන දෙමින් සිටිති. එක්සත් ජනපදය ප්‍රධාන කරගත් අධිරාජ්‍යවාදී බලවතුන්, ගැඹුරු වන ධනේශ්වර අර්බුදයක් මධ්‍යයේ, ව්‍යසනකාරී තුන්වන ලෝක යුද්ධයක් කරා ලෝකය ගෙන යමින් සිටිති. මෙම ව්‍යසනය වැලැක්වීමට ඇති එකම මග නම්, සමාජවාදී පිලිවෙත් මත පදනම් වූ ගෝලීය යුද-විරෝධී ව්‍යාපාරයකට නායකත්වය දීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි.

වික්‍රමසිංහ ආන්ඩුව සහ ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ අනෙකුත් ප්‍රතිගාමී නියෝජිතයන් 2022 මහජන නැගිටීම 'ත්‍රස්තවාදී ක්‍රියාවක්' නැතහොත් 'කුමන්ත්‍රනයක්' ලෙස ප්‍රහාර එල්ල කරන අතරේ, පෙසප, නැගී එන ආන්ඩු-විරෝධී මනෝගතිය භාවිතා කිරීමට උත්සාහ කරමින් සිටින්නේ ධනපති පාර්ලිමේන්තුවට බලපෑම් කිරීම සඳහා ජන සභා ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට ය.

ප්‍රතිගාමී බලවේගවලට සහ ව්‍යාජ-වමට එරෙහිව, කම්කරුවන් හා තරුනයින් දේශපාලනිකව සන්නද්ධ කිරීම සඳහා, 2022 ආන්ඩු විරෝධී මහජන නැගිටීමේ වැදගත් පාඩම් උකහා ගැනීමට සසප/සසජාතශි සටන් කරයි. ජූනි 04 මහජන රැස්වීම මෙම අරගලයේ කොටසකි.

වත්මන් ගෝලීය වර්ධනයන්හි සන්දර්භය තුල මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස සසප ගොඩනැගීමේ දේශපාලන අවශ්‍යතාවය මෙම රැස්වීම තුල සාකච්ඡා කරනු ඇත. අපි කම්කරුවන්, තරුනයන් සහ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින සියල්ලන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි රැස්වීමට සහභාගී වී මෙම තීරනාත්මක ප්‍රශ්න සාකච්ඡා කරන ලෙසයි.

රැස්වීම පැවැත්වෙන ස්ථානය:
මහජන පුස්තකාල ශ්‍රවනාගාරය, කොලඹ
දිනය සහ වේලාව: ජූනි 4 ප.ව. 4 ට

දිනය සහ වේලාව: ජූනි 4 ප.ව. 4 ට

Loading