රතුපස්වල පිරිසිදු ජලය ඉල්ලූ උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමේ නඩුවේ චූදිතයන් නිදහස් කෙරේ

විනිග්‍රොස් ඩිප්ඩ් ප්‍රඩක්ට් සමාගම විසින්, ගම්පහ, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පවත්වාගෙනගිය කම්හලකින් ජලය අපවිත්‍ර වීමට එරෙහිව, 2013 අගෝස්තු 1දා, වැලිවේරිය නගරයේ විරෝධතා උද්ඝෝෂනය නිරත වූ ප්‍රදේශවාසීන්ට, රාජ්‍ය හමුදා විසින් කල වෙඩි තැබීම පිලිබඳ නඩුවේ තීන්දුව ලබා දෙමින්, මැයි 17 දා, ගම්පහ මහාධිකරනය චූදිතයන් පිරිස නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කලේය.

ධනපති ආන්ඩුවේ නියෝගයක් මත රතුපස්වල සාමාන්‍ය මහජනතාවට එල්ල කල රුදුරු ප්‍රහාරය

එම ම්ලේච්ඡ හමුදා ප්‍රහාරයෙන් 18 හැවිරිදි රවිශාන් පෙරේරා හා 17 හැවිරිදි අකිල දිනේශ් ජයවර්ධන නම් ශිෂ්‍යයන් දෙදෙනා ද නිලන්ත පුෂ්ප කුමාර නම් 29 හැවිරිදි කම්කරුවා ද ඝාතනයට ලක් වූහ. තවත් 40කට පමන තුවාල සිදු විය.

වසර 11 කට පසු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ මහාධිකරන විනිසුරුවරුන් වන නිමල් රනවීර (සභාපති), සහන් මාපා බන්ඩාර සහ රශ්මි සිංගප්පුලි යන අයගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරන විනිසුරු මඩුල්ල විසිනි. නීතිපති මගින් ගොනු කල නඩුවේ ඝාතනය සම්බන්ධ විත්තිකරුවන් වූයේ යුද හමුදා මේජර් ජනරාල්වරයකු වන අනුර දේශප්‍රිය ගුනවර්ධන, මාන්ඩලික සැරයන් ඩිංගිරි අරුනගේ සිරිසේන, සැරයන් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ නැමැත්තන්‍ ය.

බීබීසී සිංහල අංශයේ වාර්තාවකට අනුව එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ ' විත්තිකරුවන්ට එරෙහි චෝදනා යටතේ මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ පනත යටතේ නිසි විමර්ශනයක් නොකිරීම සම්බන්ධයෙන් මෙන්ම විමර්ශකයින්ගේ දෝෂ සම්බන්ධයෙන් අධිකරනයට මැදිහත්වීමට හැකියාවක් නැති බැවින් විත්තිකාර යුද හමුදා මේජර් ජනරාල්වරයකු සහ හමුදා සෙබලුන් තිදෙනෙකු සියලු චෝදනා වලින් නිදොස් කර නිදහස් කරන බවය.'

බීබිසී වාර්තාවේ මෙසේ ද සඳහන් වෙයි: 'සිද්ධිය වු ස්ථානයේ මෙම විත්තිකරුවන්ට අමතරව කලු ඇඳුම් සහ ටී ෂර්ට් හැඳ ගිනි අවි අත දැරූ පිරිස් සිටි බවට සාක්ෂි ඉදිරිපත් වුවත් ඔවුන් හැර මෙම විත්තිකරුවන්ට එරෙහිව පමනක් චෝදනා ඉදිරිපත් කිරීමට හේතු වූ සුවිශේෂි හේතුව පැ මිනිල්ල විසින් අධිකරනයට හෙලි කර නැතැයි තීන්දුවේ සඳහන් කල විනිසුරු මඩුල්ල වෙනත් හමුදා නිලධාරීන් මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් නොකිරීම මඟින් ඇතිවන සැකයේ වාසිය විත්තිකරුවන්ට ලබාදෙන බවද සඳහන් කලේය.'

තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරනයට අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස, හමුදා ප්‍රහාරයට මුහුනදුන් මහජනයා නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද වාර්තාවේ.

නඩු තීන්දුව මගින් යලිත් ප්‍රකාශයට පත් වන්නේ, ධනපති රාජ්‍යයේ මර්දන උපකරනයක් වන හමුදාව, ධනපති ආන්ඩුවේ නියෝගයක් මත සාමාන්‍ය මහජනතාවට එල්ල කල රුදුරු ප්‍රහාරයක් සම්බන්ධයෙන්, එම රාජ්‍යයේම උපකරනයක් වන ධනපති අධිකරනයෙන් සාධාරනය සහ යුක්තිය ඉටුකර ගැනීමට නොහැකි බවයි.

එම ඝාතනයන් සිදු වූ සැනින් ඇවිලී ගිය පලල් මහජන කෝපය හමුවේ, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ, ප්‍රදේශයේ භූගත ජලයෙහි ආම්ලිකතාව සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වන බවටත්, මරන පිලිබඳ පරීක්ෂා කිරීමට මිලිටරි උසාවියක් පිහිටුවන බවටත් වහා පොරොන්දු විය.

ප්‍රදේශයේ ජල සැපයුම පරීක්ෂා කිරීම රජයේ රස පරීක්ෂක වෙත පවරා ඇති බව 2013 අගෝස්තු මාසයේදී රාජපක්ෂ ප්‍රදේශවාසීන්ට පැවසී ය. ඔහුගේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කාර්මික තාක්ෂනික ආයතනය (අයිටීඅයි) ද ඇතුලු රජයේ ආයතන වල විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් ජලය පරීක්ෂා කරනු ඇති බවට සහතික විය.

කම්හල පිහිටි ප්‍රදේශයේ ජලයෙහි ඉහල ආම්ලිකතාවක් පවතින බව තමන් හඳුනාගත් බව අයිටීඅයි නිවේදනය කල නමුත් එහි මූලාශ්‍රය හෙලි නොකලේ ය. පොරොන්දුවූ කිසිදු වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කෙරුනේ නැත.

ධනපති ආන්ඩුවේ ඊනියා පරීක්ෂන මගින් හෝ ධනපති අධිකරනමය ක්‍රියාදාම මගින් කවර හෝ සාධාරනයක් බලාපොරොත්තුවිය නොහැකිබව මහජනතාවට මුල සිටම පැහැදිලි කල සමාජවාදී සමානතා පක්ෂය (සසප), උක්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කම්කරු පංතිය තමාගේම ස්වාධීන පරීක්ෂනයක් පවත්වා, ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ වගකිවයුත්තන් කවුද යන්න අනාවරනය කර ගතයුතු බවත්, එමගින් ධනපති ක්‍රමය පිලිබඳ තම අවබෝධය පුලුල්' කරගත යුතු බවත් අවධාරනය කලේය.

මෙම පසුබිම තුල, රතුපස්වල ප්‍රදේශයේ ජල දූෂනය සහ එයට එරෙහිව පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට වෙඩි තබා සිදු කරන ලද ඝාතන සම්බන්ධයෙන්, සසප මූලිකත්වයෙන් ස්වාධීන කම්කරු පරීක්ෂනයක් දියත් කෙරෙන බව 2013 නොවැම්බර් 19 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරුනි.

එම ප්‍රකාශයේ මෙසේ සදහන් විය. 'රාජපක්ෂ ආන්ඩුව විනිග්‍රොස් සමාගම ආරක්ෂා කිරීමට මුලුමනින්ම යොමුවී සිටියි. මෙරටට ද බලපා ඇති ධනේශ්වර ගෝලීය අර්බුදය නරක අතට හැරෙද්දී ආන්ඩුවට අවශ්‍යව ඇත්තේ, මහා ව්‍යාපාරිකයින්ගේ හා විදේශ ආයෝජකයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට තමන් ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටින්නේය යන පනිවිඩය ඔවුන් වෙත යැවීමට ය. අගෝස්තු 01දා ප්‍රහාරය, වැඩකරන ජනතාවගේ කුමන හෝ ප්‍රතිරෝධයක් තලාදැමීම සඳහා 26 වසරක සිවිල් යුද්ධයේ අවධිය තුල වර්ධනය කරන ලද මර්දන ක්‍රමෝපායන් යොදාගන්නා බවට කෙරුනු අනතුරු ඇඟවීමකි.”

විපක්ෂ එක්සත් ජාතික පක්ෂය (එජාප) මැතිවරන වාසි ලබා ගැනීමේ අරමුනෙන් වැලිවේරිය විරෝධතා ගසා කමින් සිටින අයුරු ද, එජාප ට එහි ව්‍යාජ වාම අනුචරයින් වන නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහාය ලබාදෙන අයුරු ද ලෝසවෙඅ තුල හෙලිදරව් කෙරිනි. ඔවුහු මෙම දක්ෂිනාංශික ධනපති පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදයේ හා සාමාන්‍ය වැඩකරන ජනතාවගේ ආරක්ෂකයෙකු ලෙස හුවා දැක්වීය.

එජාප, ඉන් බෙදීගිය සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වැනි ධනපති පක්ෂ පමනක් නොව, එසප සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධානයන් ද රතුපස්වල නඩු තීන්දුව සම්බන්ධයෙන් පූර්න නිශ්ශබ්ධතාව රකිමින් එය අනුමත කරයි.

අදදින, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වලට එරෙහිව අරගලයට පිවිසෙන කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් රුදුරුම ආකාරයෙන් මර්දනය කරන එජාප නායක ජනාධිපති වික්‍රමසිංහ, එම මර්දනය සඳහා හමුදාව, පොලීසිය සහ අධිකරනය පෙරනොවූවිරූ ආකාරයෙන් යොදා ගනිමින් සිටී.

සජබ සහ ජවිපෙ ද බලයට පැමිනියහොත් ජාමූඅ හි ප්‍රහාරයන් ඉදිරියටම ගෙන යාමට සහ එයට එරෙහිව පැන නගින පංති අරගල වික්‍රමසිංහට නොදෙවෙනි ආකාරයෙන් තලා දැමීමට සැදී පැහැදී සිටිති. නඩු තීන්දුව සම්බන්ධයෙන් ඔවුනගේ නිශ්ශබ්ධතාව පිටුපස පවතින්නේ එයයි.

වැලිවේරිය ඝාතන සම්බන්ධයෙන් එජාප සහ ජවිපෙ ඇතුලු ධනපති පක්ෂ සහ ව්‍යාජ-වාම සංවිධාන ගෙනගිය ව්‍යාජ විරෝධයට විපරීතව, ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්තශාලා වලින් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.

එම පරීක්ෂනයට, ප්‍රදේශයේ ජනතාවගෙන් ලබා ගත් සාක්ෂි සහ නිරීක්ෂන ද රජයේ හා රජයේ නොවන පිලිගත් විද්‍යාත්මක පර්යේෂන ආයතන මගින් කරන ලද විමර්ශනයන් ද අදාල ක්ෂේත්‍රය පිලිබඳ ප්‍රාමානිකයන්ගෙන් ලබා ගත් අදහස් හා දැනුම ද අන්තර්ජාලය ඇතුලු විවිධ දැනුම් මූලාශ්‍රයන්ගෙන් ලබා ගත් දත්ත සහ තොරතුරු ද අන්තර්ගත වෙයි.

නිගමන ප්‍රකාශයේ මෙසේ සදහන් විය.'මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් 2013/08/01 දාතමින් යුක්තව ගම්පහ සෞඛ්‍ය අධිකාරිවරයා වෙත යවන ලද ලිපියට අනුව වැලිවේරිය ප්‍රදේශයේ නැදුම්ගමුව ගමෙන් ලබා ගත් ජල සාම්පල 100න් 55ක පී.එච්. අගය 4.5ට අඩු ය. පානයට සුදුසු ජලයේ අගය පී.එච්. අගය 7 විය යුතු ය. මේ අනුව ප්‍රදේශයේ ජලයේ ආම්ලිකතාව පානයට නුසුදුසු මට්ටමේ පවතින බැව් පැහැදිලි ය.

ප්‍රකාශයේ මෙසේ ද සදහන් කෙරිනි. “වැලිවේරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් කම්හලේ ස්ථාන හතරක දී ලබා ගන්නා ලද ජල සාම්පල හතරක් රජයේ රස පරීක්ෂක විසින් විමර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දී ඉහත සාම්පලයන්හි ජීවමය ඔක්සිජන් ඉල්ලුම හා රසායනික ඔක්සිජන් ඉල්ලුම සම්මත උපරිම ධාරන සීමාවට වඩා ඉතා ඉහල අගයක් ගන්නා බවත් කම්හලේ අපජල සංයුතිය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතීන් උල්ලංඝනය කරන බවත් පැහැදිලිව පෙන්වා දේ.'

වෙඩි තැබීම සම්බන්ධයෙන් ප්‍රකාශය මෙසේ පවසයි: 'ලැබූ සාක්ෂි පෙන්වා දෙන්නේ හමුදා ඛන්ඩයට අන දුන් නිලධාරියාට දුරකථන ඇමතුමක් ලැබීමත් සමග ම ජනමාධ්‍ය වාර්තාකරුවන් ඉවත් කර ප්‍රහාරය ආරම්භ කල බව ය. පලමුව ම පහන් කනුවලට වෙඩි තබා පලාත ම අඳුරු කර උද්ඝෝෂකයන්ට පලා යාමට ඉඩ නො තියා ම වෙඩි තැබීම හා පොලුවලින් පහර දීම ආරම්භ කෙරී ඇත.'

“වෙඩි තැබීමෙන් මිය ගිය තිදෙනාගේ මරන පරීක්ෂනයේ දී වැලිවේරිය පොලීසියේ ඕඅයිසී (ස්ථානාධිපතිවරයා) කියා සිටියේ හමුදාව අගෝස්තු 1 දින එම ස්ථානයට පැමිනියේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පනිවිඩයක් රැගෙන බව යි. හමුදා අන දෙන නිලධාරියා ආරක්ෂක ලේකම් සමග සාකච්ඡා කර පැමිනි බව ඉන් පෙනේ.'

මේ අනුව වැලිවේරිය ඝාතන සම්බන්ධයෙන්, රාජපක්ෂ ආන්ඩුව වගකිවයුතු බව පරීක්ෂනය නිගමනය කලේය.

ලංකාවේ, ඉන්දියාවේ සහ ජාත්‍යන්තර උදාහරන සැලකිල්ලට ගනිමින්, ලාභය සඳහා නිෂ්පාදනය කෙරෙන ධනපති ක්‍රමය තුල කම්හල්වල වැඩ කරන කම්කරුවන්ගේ ද කම්හල් ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනයාගේ ද ජීවිත, සෞඛ්‍යය හා සමාජ කොන්දේසි නො තකා නිෂ්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතින බව පරීක්ෂනය නිගමනය කලේය.

පරීක්ෂන කමිටුවේ ප්‍රකාශය අවසානයේදී මෙසේ පවසයි:.

“මෙම කම්හල් දෙකේ ම නිසි ප්‍රතිකාරක පද්ධති ස්ථාපනය කොට නොමැත්තේ ඒ සඳහා වන වියදම් කපා දමා සමාගමට ලැබෙන ලාභය තර කර ගැනීමට බව කමිටුව නිගමනය කරයි. යහපත් පරිසරයක ජීවත් වීමේ අයිතිය ඇතුලු අනෙකුත් අයිතීන් තහවුරු කල හැක්කේ ලාභය මත පදනම් වූ ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමෙන් පමනි.

“ධනපති ක්‍රමය විස්ථාපනය කිරීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙල යටතේ ලෝක කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සටන් වදින්නේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යි. සමාජවාදී සමානතා පක්ෂය (සසප) එහි ලංකා ශාඛාව යි. ලෝක සමාජවාදී වැඩ පිලිවෙල යටතේ ඉන්දු උපමහාද්වීපයේ සමාජවාදී සමූහාන්ඩු සංගමයකට ද එහි කොටසක් ලෙස කම්කරු-ගොවි ආන්ඩුවක ස්වරූපයෙන් ශ්‍රී ලංකා‐ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩ නැගීමට ද සසප සටන් වදියි. කාර්මික දූෂනයට එරෙහිව ඉදිරියට එන කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්ති මත සසප ගෙන යන මෙම අරගලය සමග ඒකාබද්ධ විය යුතු ය.”

Loading