ජවිපෙ නායකයෙකු වන ලාල් කාන්ත දෙමල විරෝධී යුද ජයග්‍රහනයට පක්ෂයේ උරුමකම ප්‍රකාශ කරයි

රත්නපුර දිස්ත්‍රික්කයේ මැයි 20 දා පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ රැස්වීමක් ඇමතූ, ජාතික ජන බලවේගයේ (ජාජබ) හා ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායකයෙකු වන කේ.ඩී.ලාල් කාන්ත, ලංකාවේ ආන්ඩු විසින් බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව 1983 පටන් ගෙනගිය ලේ වැකි වර්ගවාදී යුද්ධයට ස්ථිරසාර ව සහයෝගය දුන් සංවිධාන දෙකෙන් එකක් වූයේ තම ජවිපෙ බවට උදම් ඇනුවේ ය. ඔහු සඳහන් කල අනෙක් පක්ෂය, සිංහල ස්වෝත්තමවාදී ජාතික හෙල උරුමය යි. යූඇන්පීය, ශ්‍රීලනිපය හෝ “පොහොට්ටු” පක්ෂයට තමන්ට මෙන් එසේ උරුමකම් කිව නොහැකි බව ලාල් කාන්ත කියා සිටියේ තම පක්ෂයේ ලේවැකි ක්‍රියාකලාපය ගැන උජාරුවෙනි.

ලාල් කාන්ත (උපුටා ගැනීම:ලාල් කාන්ත ෆේස්බුක් පිටුවෙන්)

ලාල් කාන්තගේ ප්‍රකාශය, තමන් ජාතිවාදයට විරුද්ධ බව ද යුද්ධයේ දී දෙමල ජනයාට සිදුවූ විනාශයන් ගැන කම්පා වන බව ද කියාපාන ජාජබ/ජවිපෙ නායකයන්ගේ ප්‍රකාශවල පල්ල ගලවා ඇත. ජවිපෙ නායකයෝ වර්ගවාදී යුද්ධයට සහාය දීම ඇතුලු අපකීර්තිමත් අතීතය වසා ගැනීමට ජාජබ මැතිවරන පෙරමුනට මුවා වී සිටිති. එනමුත්, තම සගයාගේ ප්‍රකාශය ගැන මේ සංවිධානවල නායකයන් මුඛ පූට්ටු කරගෙන සිටින්නේ ඔවුන් ද ඊට එකඟ හෙයිනි. දෙමල හා මුස්ලිම් ජනයා ගැන මෙම පක්ෂවල ව්‍යාජ අනුකම්පාව, එලඹෙන මැතිවරනයක දී ඔවුන්ගේ චන්ද ගසාකෑම සඳහා කරන බොරු රඟපෑමකි.

ලාල් කාන්ත ගේ ප්‍රකාශය මෙසේ ය: “ඔයගොල්ලො (ත්‍රිවිධ හමුදාව) පලවෙනි අරගලය කලා. ඔයගොල්ලො ආයුධ අතට අරගෙන සටන් කලා, අපි ජනතා සහයෝගය ගොනු කලා.

“ලංකාවෙ දේශපාලන පක්ෂ දෙකයි කීවෙ මේක ගහල ඉවරකරන්න ඕන කියල. ඔයගොල්ලො ගැහුව, අපි ඒකට සමාජ මතවාදය ගොනු කෙරුව. බෙදුම්වාදී ත්‍රස්තවාදයට ගහල ඉවර කරන්න ඕන කියන මතයේ හිටියේ පක්ෂ දෙකයි.” ඒ පක්ෂ නම් කරන ලෙස රැස්වීමේ සිටියවුන්ගෙන් ඉල්ලා සිටි ඔහු, එම පක්ෂ ජනතා විමුක්ති පෙරමුන හා ජාතික හෙල උරුමය බව කිවේය.

ලාල් කාන්ත ප්‍රකාශය සත්‍යයකි. එහෙත් සම්පූර්න සත්‍යය ඊට එහා, දුරදිග ගිය එකකි.

1983 ජූලි මාසයේ දී ජේආර් ජයවර්ධන ආන්ඩුව බෙදුම්වාදී වර්ගවාදී යුද්ධය ඇවිලවූ තැන් පටන් එහි පෙරමුනටම පැනගත් කසකාරයා වූයේ ජවිපෙ ය. එවක සුලු ධනපති පක්ෂයක් ලෙස එය, මහ ධනපති පාලක පන්තියේ ගැත්තෙකු හැටියට ක්‍රියාවට බැස්සේ, සිංහල ස්වොත්තමවාදී ප්‍රචාරය රුදුරු ලෙස අවුස්සමිනි.

යුද්ධය නිසා රටේ ආර්ථික හා දේශපාලන අර්බුදය තියුනු වනවිට මෙන් ම අධිරාජ්‍යවාදී බලයන්ගේ හෝ කලාපයේ බලවතෙකු ලෙස ක්‍රියා කරන ඉන්දියාවේ බලපෑම මත කොලඹ ආන්ඩු උපාමාරු දමනවිට, ජවිපෙ නායකයෝ, එම ආන්ඩු යුද්ධය නතර කොට එල්ටීටීඊයට රට බෙදා දෙන්නට තැත් කරන්නේයයි මොරදුන්හ.

1987 ජූලි මාසයේ දිල්ලියේ හා කොලඹ ආන්ඩු ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කලවිට, කම්කරුවන් හා දේශපාලන විරුද්ධවාදීන් මරා දමමින් ජවිපෙ “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” අටවාගෙන ගෙනගිය බිහිසුනු ප්‍රචන්ඩ ක්‍රියා ඉතිහාස ගත ය. එවක වික්‍රමසිංහ ආන්ඩුවේ අධිරාජ්‍ය ගැති උපාමාරුවක් වූ 2002 සාම ගිවිසුම බිඳ දමා යුද්ධය යලි ඇරඹීමට මහින්ද රාජපක්ෂ සමඟ එකඟතා ගිවිසුමක් ගසාගෙන ඔහු ජනාධිපති කරවීමට, සෝමවංශ අමරසිංහ, අනුර කුමාර දිසානායක, ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති සහ ටිල්වින් සිල්වා ආදී ජවිපෙ නායකයෝ රොත්ත බුරුත්තම උද්ඝෝෂනය කලහ.

යුද්ධය ඇරඹු පසුව, ජවිපෙ නායකයෝ පක්ෂයේ “රතු තරුව ස්වේච්චා බලකාය” උතුරු නැගෙනහිර හමුදාවට බංකර් කපාදීමට මෙහෙයවූහ. මෙම ජවිපෙ නායකයන් ද, ධනපති ආන්ඩුවල හා මිලිටරි නායකත්වයේ යුද අපරාධවලට වගකිවයුතු ය. දැන්, පසුගිය 76 වසරේ පාලනයට වෙනස් පාලනයක් ලංකාව තුල ඇති කරම්හ යි උජාරු ප්‍රකාශ දිනපතා නිකුත් කරමින් ජාජබ නායකත්වයේ වැජඹෙන්නේ මේ කන්ඩායමයි.

ජවිපෙ ඇරඹුනේ, සිංහල දේශප්‍රේමය සමග මාඕවාදය, කස්ත්‍රෝවාදයේ විසකුරු මිශ්‍රනයක් මත ගම්බද ගොවිජන ගරිල්ලා සටන් දේශනා කරමිනි. ජවිපෙ සිංහල දේශප්‍රේමය වනාහි, බ්‍රිතාන්‍ය විජිත පාලකයන් 1948 ආන්ඩු බලය තමන් අතට මාරු කිරීමට පෙර පටන් ලංකාවේ ධනපතියන් අවුස්සමින් සිටි, “නිදහසින්” පසු උග්‍ර ලෙස ඇවිලවීමට පටන්ගත් දෙමල හා මුස්ලිම් විරෝධී සිංහල ස්වොත්තමවාදයේ ම ප්‍රකාශනයකි.

අනුප්‍රාප්තික ආන්ඩු දෙමල ජනයාට එරෙහි වාර්ගික වෙනස්කම් ව්‍යවස්ථාගත කරමින් වර්ගවාදී ව්‍යාපාරය ඇරඹුවේ, කම්කරු පන්තිය ජාතිකත්ව පදනම මත බෙදා, එකිනෙකාට එරෙහිව පිහිටුවමින් දුර්වල කොට ධනපති පන්ති පාලනය රැකගැනීමට යි. ලාල් කාන්ත ඔජවඩන්නේ, තමන් ඊට සහයෝගය දීම ගැන මෙන් ම එහි කොටසක් ලෙස ඇරඹු වර්ගවාදී යුද්ධයේ කොටස්කරුවන් වීම ගැනයි.

එල්ටීටීඊ බෙදුම්වාදය පැන නැගීමට ප්‍රධාන කොට ම වගකිවයුත්තේ ලංකාවේ පාලක පන්තියයි. ජාතික ප්‍රශ්නය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් මෙන් ම සමාජ ප්‍රශ්න විසඳීමට අධිරාජ්‍ය ගැති ධනපති පන්තියට හැකි නොවීය. ඒවෙනුවට, සිදුවූයේ ජාතිකත්ව වෙනස්කම් ඇවිස්සීම, පෙර කි පරිදි, ධනපති පන්ති පාලනය රැකගැනීමේ විෂඝෝර දේශපාලන ක්‍රමෝපායක් කර ගැනීමයි.

ඊට එරෙහිව, කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙතක් මත එකමුතු කර ප්‍රතිගාමී ධනපති ක්‍රමය පෙරලා දැමීමේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයක අරගලයක් ලංකාවේ පැවතුනි. ඉන්දියාවේ බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය තුලින් සුවිශිෂ්ටව ද පසුව පිරිහෙමින් ගිය ලංකා සම සමාජ පක්ෂය (ලසසප) යටතේ ද මෙම අරගලය දියත් කෙරුනි. 1964 ලසසපය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට එක්ව එම අරගලය පාවාදුනි.

පාලක පන්තියේ වර්ගවාදී භේදකාරී පිලිවෙතට එරෙහිව කම්කරු පන්තිය වාර්ගික රේඛා කපගෙන එක්සත් කිරීමේ ට්‍රොට්ස්කිවාදී අරගලය පාවාදුන් පසු, එල්ටීටීඊ යට උතුරු-නැගෙනහිර වෙනම රාජ්‍යයක් පිහිටුවීම මත බෙදුම්වාදය තොරොම්බල් කිරීමට ඉඩ සැලසුනි. ජවිපෙ, සිය රැඩිකල්වාදය දේශ ප්‍රේමය සමග විසකුරු ලෙස කලතාගත් දෘෂ්ටිවාදයක පදනම මත ඉස්මත්තට ආවේ ද ලසසප පාවාදීමේ කොන්දේසි තුල ය.

එල්ටීටීඊය ත්‍රස්ත ක්‍රියා යොදා ගැනීම, එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හංවඩු ගැසීමට ධනපති ආන්ඩු ගෙනගිය ප්‍රචාරය සමග ජවිපෙ ද පෙල ගැසුනි. මාක්ස්වාදීන් එල්ටීටීඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන්නේ නැත. ඒ, 1987-1990 ත්‍රස්ත ක්‍රියා නිසා ජවිපෙ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කල නොහැකිවාක් මෙනි.

ලාල් කාන්තගේ ප්‍රකාශයට දින කිහිපයකට පෙර, සාම්පුර් හි දී යුද්ධයෙන් මියගිය ඥාතින් සැමරීමකට සහභාගී වූ කන්ඩායමක කාන්තාවන්ගෙන් තිදෙනෙකු හා එක් පිරිමියෙකු, මැයි 14 දා මැදියම් රෑ පොලීසිය මුර්ග ලෙස අත්අඩංගුවට ගත්තේය. කම්කරු පන්තියේ හෙලා දැකීමට ලක්විය යුතු මෙම පොලිස් මර්දනය සිදුවූ දිනට පසු දා ජවිපෙ හා ජාජබ තවත් ප්‍රබලයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් “යුද්ධයෙන් මියගිය අය සැමරීමට කාටත් අයිතියක් ඇත” යි ප්‍රකාශ කලේය. යුද්ධයෙන් දෙමල සිවිල් වැසියන් මරනයට පත්වීමට හා අනේකවිධ වධහිංසාවලට ලක්වීමට තමන් ද හවුල් බව වසන් කිරීමට ජවිපෙ එලෙස නිෂ්ඵල වෑයමක යෙදෙයි.

ජාජබ/ජවිපෙ නායකයන්ගේ මවාපෑම් යටින් පවතින සිංහල ස්වොත්තමවාදයෙන් විසකැවුනු සැබෑ ධනපති දේශපාලනය ලාල් කාන්තගේ ප්‍රකාශයෙන් යලිත් පෙන්නුම් කෙරී ඇත. කම්කරුවන් හා තරුනයන් ජවිපෙ හා ජාජබ එහි අන්තරායකාරී භාවය තේරුම් ගත යුතු ය.

ජවිපෙ රට විනාශ කලබවට දැන් චෝදනා කරන සියලු ධනපති පක්ෂ හා නායකයන් සමග එකට ක්‍රියා කරමින් ධනපති ක්‍රමය රැකීමට සිය ඉතිහාසය තුල නැවත නැවතත් ක්‍රියාකර ඇත. එය තවදුරටත් කල නොහැකි තැන, මේ සියලු පක්ෂ මහජනයා විසින් පිලිකුල් කෙරෙන තතු තුල, ජවිපෙ ජාජබ වෙස්මුහුන දමාගෙන, පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදයක ගිලී ඇති ධනපති ක්‍රමය රැකීමට ඉදිරිපත්ව සිටියි.

Loading