ඉන්දු පැසිෆික් කලාපයේ චීනයට එරෙහි ඇමරිකානු යුද සැලසුම්වලට ඕස්ට්‍රේලියාව පෙරමුන ගනී

ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ෂෙරිල් ක්‍රිස්ප් Australia spearheads US war plans against China in the Indo-Pacific මැයි 4 වැනි දා පැවති 2024 ජාත්‍යන්තර ඔන්ලයින් මැදි දින රැලියේ දී පැවැත් වූ කතාව පහත පල කෙරේ.

වීඩියෝ කැප්ෂන්: මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

මම මගේ සියලු ම ජාත්‍යන්තර සහෝදරවරු සමඟ එකතු වෙමින් ලොව පුරා මෙම රැස්වීමට සවන් දෙන ඔබ සියලු දෙනාට ම ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ විප්ලවවාදී සුබපැතුම් පිරිනමමි.

දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසු අන් කවර අවස්ථාවකටත් වඩා ලෝකය තවත් ගෝලීය ගිනි ඇවිලවීමකට ලංව ඇති බැවින් මෙම මැයි දින රැස්වීමේ කේන්ද්‍රීය කර්තව්‍යය වන අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන වඩා හදිසිබවක් අත්කර ගනී.

තුන් වැනි ලෝක යුද්ධයේ ආරම්භක වෙඩිලි බවට පත් විය හැකි විවිධ යුද පෙරමුනු නිර්මානය වෙමින් පවතිී. යුක්‍රේනය තුල නේටෝව සහ එක්සත් ජනපදය න්‍යෂ්ටිකව සන්නද්ධ රුසියාවට එරෙහිව යුද්ධය සඳහා නිර්බාධිතව ඉදිරියට යමින් සිටිති.

මැද පෙරදිග, පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායලයේ මූලෝත්පාඨන යුද්ධයේ ම්ලේච්ඡත්වය දැන් එහි ප්‍රධාන ඉලක්කය වන ඉරානය දක්වා ව්‍යාප්ත ව ඇත. ලෙබනනය, ඉරාකය, ජෝර්දානය සහ සිරියාව ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉලක්ක බවට පත් වී තිබේ.

ත්‍රාසය දනවන ඉවක් බවක් නොමැති යුද්ධයේ මෙම ක්‍රියාමාර්ගය පුලුල් වෙද්දී, එක්සත් ජනපදය හා චීනය අතර විවෘත ගැටුමකට සූදානම බිය උපදවන වේගයක් අත් කර ගෙන ඇත. මෙම කලාපය තුල අල්බනීස් ගේ ලේබර් ආන්ඩුව මෙයට මූලිකත්වය ගැනීම ඕස්ට්‍රේලියානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියට දරුනු අනතුරු ඇඟවීමකි.

ඕස්ට්‍රේලියානු ලේබර් පක්ෂය යුද්ධයේ පක්ෂයයි. එය යුක්‍රේනයට සහ ඊශ්‍රායලයට ආයුධ සපයන අතරතුර චීනයට එරෙහි අධිරාජ්‍යවාදී ගැටුමේ වේදිකාවක් බවට රටේ උතුරු ප්‍රදේශ පරිවර්තනය කර ඇත. පසුගිය වසර හය තුල ඕස්ට්‍රේලියාවෙන් ඊශ්‍රායලය ට යුද්ධෝපකරන නැව්ගත කිරීම් 322 ක් සිදු කර තිබේ. ආන්ඩුවේ ඇමතිවරුන් විසින් එය ප්‍රතික්ෂේප කෙරුනත්, තොරතුරු දැනගැනීමේ පනත මත පදනම් ව ලබා ගත් තොරතුරු අනුව, ලේබර් පක්ෂය බලයට පත් වූ දා පටන්, විශේෂයෙන් 2022-23 වසර තුල දී, වසරක දී කෙරෙන නැව්ගත කිරීම් සංඛ්‍යාව වැඩි වී ඇත.

2023 මාර්තු 13 වැනි දින ඇමරිකාවේ සන් දියාගෝ හි පොයින්ට් ලෝමා නාවික කඳවුරේ පැවති බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනැක් (දකුනේ), එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් හමුව [AP Photo/Stefan Rousseau] [AP Photo/Stefan Rousseau]

2021 දී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව අතර චීනය ඉලක්ක කර ගනිමින් අස්සන් කෙරුනු ඕකස් (AUKUS) ගිවිසුම, ලේබර් ආන්ඩුව යටතේ ක්‍රමානුකූලව වර්ධනයකර ඇත. චීනයට එරෙහි යුද්ධය සඳහා වඩාත් ඒකාබද්ධ අනදෙන ව්‍යුහයක් සහතික කිරීම සඳහා ජපානය සහ එක්සත් ජනපදය අතර අත්සන් කරන ලද වැඩි දියුනු කල මෙම ආරක්ෂක ගිවිසුමට ආන්ඩුව ප්‍රශංසා කර තිබේ.

බයිඩන් පරිපාලනයේ එකඟතාවය ඇතිව, එක්සත් රාජධානියේ සහ ඕස්ට්‍රේලියාවේ ආන්ඩු දෙරටින් එක රටකට මිලිටරිමය වශයෙන් තර්ජනයක් එල්ල වුවහොත් දෙරටම ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමේ නව මිලිටරි සහ බුද්ධිතොරතුරු ගිවිසුම් අත්සන් කර ඇත. මෙය ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ඇති ක්වෝඩ් (QUAD) ගිවිසුමට අමතරව චීනය ඉලක්ක කරගත් කැනඩාව සහ නවසීලන්තය ඇතුලු ඉහලම මට්ටමේ පංච අක්ෂි (five eyes) බුද්ධි තොරතුරු බෙදාගැනීමේ ජාලයයි. දැනටමත්, උතුරු සහ බටහිර ඕස්ට්‍රේලියාවේ ස්ථිර කඳවුරු, සහ ආයුධ පහසුකම් එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපද හමුදා නිලධාරීන් වෙනුවෙන් ගොඩනගා ඇත.

ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෑම නිවේදනයක් සමගම සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස සහ යටිතල පහසුකම් ඇතුලු සමාජ සේවා සඳහා වන ආන්ඩුවේ වියදම් කපා හැරීම මගින් උකහා ගන්නා මිලිටරි වියදම් ඉහල යයි. කම්කරු පන්තියට අධිරාජ්‍යවාදී යුද්ධවල බරපැන දරන්නට බල කෙරී ඇත.

කෝවිඩ් -19 වසංගතය අතරතුර, වෛරසය පැතිරීමට ඉඩ හැරීමේ ඕස්ට්‍රේලියානු ආන්ඩුවේ ප්‍රතිපත්තියට එරෙහිව සහ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට සෞඛ්‍යය හා පොදු පියවර සඳහා සටන් කල වෛද්‍යවරු පීඩාවන්ට හා අපහාසයන්ට ලක් කරනු ලැබූහ. 2021 න් පසු ආරක්ෂක සීමාවන් ඉවත් කල විට මියගිය 20,000 කට වැඩි පිරිසකට මේ තීරනවලට තම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය.

වෛද්‍ය ඩේවිඩ් බර්ජර් [Photo: Imagen suministrada/WSWS] [Photo: Imagen suministrada/WSWS]

අද, ගාසා තීරයේ සෞඛ්‍ය සේවකයින්ට එරෙහි ප්‍රහාරය හමුවේ, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් සිය ගනනක් ඝාතනය කොට රෝහල් විනාශ කරනු ලැබූ ඊශ්‍රායලය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ආන්ඩුව පෙනී සිටීමට විරුද්ධ වූ වෛද්‍යවරු සෞඛ්‍ය බලධාරීන් විසින් දඬුවම්වලට ලක් කර ඔවුන්ට හානි පැමිනිය හැකි ආකාරයෙන් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු එලිදරවු කරමින් විමර්ශනය කරනු ලැබ ඇත.

සිය යුද සැලසුම් වර්ධනය කිරීමෙන් ඕස්ට්‍රේලියානු ජනතාව එක්සත් ජනපදය හා චීනය අතර න්‍යෂ්ටික ගැටුමක මුව විටට ඇද දමා ඇති ලේබර් ආන්ඩුව මෙ රට සංක්‍රමනිකයන්ට එරෙහි ව වඩාත් ඒකාධිපති නීති සම්මත කිරීමට උත්සාහ දරා තිබේ. අරමුන පැහැදිලියි: එනම්, පොදු ජනතාවගේ කෝපය සහ විරුද්ධත්වය සංක්‍රමනිකයන් වෙත යොමු කරවීමයි. මෙය ජාත්‍යන්තරව ඉතාමත් දක්ෂිනාංශික හා ෆැසිස්ට්වාදී පාලන තන්ත්‍ර සමග ගැලපෙන්නකි.

නීති බලාත්මක කිරීමෙන් ආන්ඩුව විසින් පිටුවහල් කිරීමට නියමිත සරනාගතයින් ඇතුලු සංක්‍රමනිකයන්, එක්කෝ තමන්ගේ පිටුවහල් කිරීමේ නියෝග අත්සන් කල යුතුය; නැතිනම් වසර එකක සිට පහ දක්වා සිර දඬුවමකට සූදානම් විය යුතු ය. සිර දඬුවමින් පසු තවදුරටත් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔවුන් නැවත සිරගත කල හැකි ය. පිටුවහල් කරන ලද තම පුරවැසියන් පිලිගන්නේ නැති රටවල්වල සමස්ත ජනතාවට ම ඕස්ට්‍රේලියාවට ඇතුලු වීම තහනම් කෙරෙනු ඇත. රුසියාව, චීනය, ඉරානය, සහ දකුනු සුඩානය සම්බන්ධයෙන් මෙය දැනටමත් සලකා බැලෙමින් තිබේ.

එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව ඇතුලු අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල සහාය, අරමුදල් සහ ආයුධ සම්පාදනය සහිතව ඊශ්‍රායලය පලස්තීන ජනතාවට එරෙහි ව සිදු කරන ජන සංහාරයෙන් මිලියන ගනනක් කම්පනයට හා භීතියට පත් කර ඇති බව අවිවාදිතයි. ජන සංහාරයට එරෙහි ව ගෝලීය වශයෙන් විරෝධතා පැන නැගී ඇති අතර ඔක්තෝබර් 13 වැනි දා සිට ඔස්ට්‍රේලියාව තුල සතිපතා නොකඩවා විරෝධතා පැන නැගුනි. විරෝධතා සිදු කෙරෙන්නේ කෙනෙකුට තව දුරටත් කිසිවක් නොකර පසෙකට වී බලා සිටිය නොහැකිය යන දැවෙන හැඟීමෙනි.

ගාසා තීරයේ සිදු කෙරෙන අධිරාජ්‍යවාදී ව්‍යසනය සම්බන්ධයෙන් ගත්කල එම විරෝධතා සම්පූර්යෙන් ම යුක්ති සහගත ප්‍රතික්‍රියාවකි. වියට්නාම් යුද්ධයේ අපරාධ ගැන දැන ගන්නා විට මගේ ම පරම්පරාවේ අයට ද මෙම හැඟීම දැනුනි. එහෙත් එම විරෝධතාවන්ට අධිරාජ්‍යවාදී යුද්ධය වැලැක්වීමට එදා හැකි වූයේ නැත, දැනුදු එසේමයි.

ගෝලීය යුද්ධයට යොමු වීමේ මූල හේතුව ධනවාදයේ ම ප්‍රතිවිරෝධතා මිස, එය නියෝජනය කරන තනි තනි දේශපාලනඥයන් නොවේ. මෙය ප්‍රතිසංස්කරනය කල නොහැකි ක්‍රමයක් බැවින් ඔවුන්ට ආයාචනා කිරීමෙන් යුද්ධය නතර කල නොහැක. විරෝධතාවල අත්දැකීම් මෙම යථාර්ථයට සාක්ෂි දරයි.

විරෝධතා දිගටම පැවතීගන යද්දී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව විසින් සපයන ලද බෝම්බවලින් ඊශ්‍රායලය විසින් ගාසා තීරයට බෝම්බ හෙලීම ද සිදුවෙයි. ඇත්ත වශයෙන්ම, ගාසා තීරය සුන්බුන් බවට පත් කිරීමට භාවිතා කල F-35 බෝම්බ හෙලන යානා ඕස්ට්‍රේලියාවේ පමනක් නිපදවන උපාංග නොමැතිව ගුවනට නොනැගෙනු ඇත.

සෝෂලිස්ට් අලායන්ස්, සෝෂලිස්ට් ඕල්ටර්නේටිව් සහ සොලිඩැරිටි වැනි මෙ රට තුල ක්‍රියාත්මක ව්‍යාජ වමේ සංවිධාන යුද්ධයට ආධාර අනුබල ලබා දෙන ආන්ඩුවලට ම ආයාචනා කිරීමෙන් පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් හා නියෝජිත කන්ඩායම් යැවීමෙන් එම ආන්ඩු නම්මා ගත හැකි ය යන වංචාව ප්‍රවර්ධනය කරති. මෙම බොරුව සේවය කරන්නේ, ලේබර් පක්ෂය, වෘත්තීය සමිති සහ පාර්ලිමේන්තුව පිටුපස යුද විරෝධය ගැටගැසීමට පමනයි.

ම්ලේච්ඡත්වයට ඇදවැටීම නතරකොට මනුෂ්‍ය වර්ගයාට අනාගතයක් උදා කර දිය හැක්කේ ධනවාදය පෙරලා දැමීම අරමුනු කර ගන්නා වූ යුද්ධයට එරෙහි කම්කරු පන්තියේ එක්සත්, ස්වාධීන සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයකට පමනි. ජාත්‍යන්තර කමිටුවත් එහි සියලුම ශාඛාත් සටන් වදින්නේ මේ ඉදිරිදර්ශනය වෙනුවෙනුයි. අපේ පක්ෂයට එකතු වෙන්න යැයි මම ඔබෙන් ඉල්ලා සිටිමි.

Loading