“යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු!” යන මැයෙන් ලංකාවේ සසප/සසජාතශි ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

[මෙය SEP/IYSSE to hold “Free Ukrainian socialist Bogdan Syrotiuk!” public meeting in Sri Lanka යන මැයෙන් 2024 ජූනි 15 දා පල කෙරුනු ලිපියේ පරිවර්තනය යි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) “යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු!” යන මැයෙන්, ජූලි 7 ඉරිදා කොලඹදී මහජන රැස්වීමක් පවත්වයි.

යුක්‍රේනයේ ආරක්ෂක සේවය (එස්බීයූ) විසින් අප්‍රේල් 25දා බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගත්තේ, රාජද්‍රෝහී චෝදනාව යටතේ ය. ඔහු, යුක්‍රේනය සහ රුසියාව ඇතුලුව පැරනි සෝවියට් සංගමය තුල ක්‍රියාකාරී ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) හි නායකයෙකි.

දැනට මයිකොලයිව් නගරයේ අධි ආරක්‍ෂිත බන්ධනාගාරයක දරුනු තත්වයන් යටතේ රඳවා සිටින ඔහුට, ව්‍යාජ චෝදනාවලට වරදකරු වුවහොත් මරන දන්ඩනයට සමාන දඬුවමකට, එනම් ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට මුහුන දීමට සිදුවේ.

වයිජීබීඑල් දේශපාලනිකව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට (හජාජාක) අනුබද්ධිත ය. කොලඹ රැස්වීම, බොග්ඩන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා හජාජාක විසින් ගෙන යන ගෝලීය උද්ඝෝෂනයේ කොටසකි.

බොග්ඩාන් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට සැබෑ හේතුව වන්නේ, යුක්‍රේනියානුවන් සහ රුසියානුවන්ගේ ලක්ෂ ගනනකගේ ජීවිත බිලිගත් රුසියාවට එරෙහිව යුක්‍රේනය තුල සිදුවෙමින් පවතින එක්සත් ජනපද-නැටෝ යුද්ධයටත්, සෙලෙන්ස්කි සහ පුටින්ගේ ධනේශ්වර පාලන තන්ත්‍රයන්ටත් සමාජවාදී ජාත්‍යන්තරවාදියෙකු ලෙස ඔහුගේ ප්‍රතිපත්තිමය විරෝධය යි. බොග්ඩාන් සටන් වදින්නේ, යුද්ධයට එරෙහිව රුසියාව, යුක්‍රේනය සහ අනෙකුත් පූර්ව සෝවියට් සමූහාන්ඩු වල කම්කරුවන්ගේ හා තරුනයන්ගේ සමාජවාදී එකමුතුව සඳහා ය.

බොග්ඩාන්ට එරෙහි රාජද්‍රෝහී චෝදනා පදනම් වී ඇත්තේ, ඔහු පුටින් පාලන තන්ත්‍රයේ ඒජන්තයෙකු බවට හංවඩුගසන ව්‍යාජ ප්‍රකාශ මත ය. චෝදනාවල වංචනික ස්වභාවය තව දුරටත් හෙලිදරව් වන්නේ, එකී චෝදනා පදනම් වන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියට ඔහු විසින් ලියන ලද ලිපි සහ කතාවන් මතය යන කරුනෙනි. පුටින් පාලනය කෙරෙහි ලෝසවෙඅ, වයිජීබීඑල් සහ බොග්ඩාන්ගේ ස්ථාවර හා ප්‍රතිපත්තිමය දේශපාලන විරුද්ධත්වය මෙම ලිපි තුලින් මනාව තහවුරු වේ.

25 හැවිරිදි බොග්ඩන් සහෝදරයාගේ බොරු නඩුව සහ සිරගත කිරීම හුදෙක් පුද්ගලයෙකුට එරෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයක් නොව, සමස්තයක් ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තියට එල්ල කල ප්‍රහාරයකි.

බොග්ඩාන් නිදහස් කිරීම සඳහා ජාත්‍යන්තර කමිටුව ගෙනියන උද්ඝෝෂනය, ගෝලීය වශයෙන් කම්කරුවන්, තරුනයින්, සිසුන් සහ කලාකරුවන්ගෙන් පුලුල් සහයෝගයක් දිනා ගනිමින් තිබේ. බොග්ඩන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට විරෝධය පල කරමින් සහ ඔහු වහා නිදහස් කරන ලෙස බලකරමින් ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධීකරනය කරන ලද පිකට් උද්ඝෝෂන, ජූනි 13 දා, හජාජාක විසින් ඉස්තාන්බුල්, ලන්ඩන්, පැරිස්, බර්ලින්, වොෂින්ටන් ඩී.සී., ටොරොන්ටෝ, කැන්බරා සහ සිඩ්නි යන නගරවල පිහිටි යුක්‍රේන තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල අලලාගනිමින් පැවැත්විනි.

බොග්ඩාන් සයිරොටියුක් ආරක්ෂා කිරීම සඳහා කොලඹ දී පැවැත්වෙන මෙම තීරනාත්මක රැස්වීමට සහභාගී වන ලෙසත්, ඔහු වහාම සිරෙන් නිදහස් කර ගැනීම සඳහා වන අපගේ උද්ඝෝෂනයට සම්බන්ධ වන ලෙසත් අපි සිසුන්, විද්වතුන්, කම්කරුවන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

දිනය: ජූලි 7 ඉරිදා, ප.ව. 3 ට

ස්ථානය: ජාතික පුස්තකාල ශ්‍රවනාගාරය

(නිදහස් චතුරස්‍රය අසල)

කොලඹ 07

Loading