ශ්‍රී ලංකා ආන්ඩුව ජාමූඅ කප්පාදු තහවුරු කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට සැරසෙයි

[මෙය Sri Lankan government to entrench IMF austerity in legislation යන මැයෙන් 2024 ජූනි 02 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති පිලිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මැයි 22 දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත (ඊටීබී) ඉදිරිපත් කරන ලදී. ආන්ඩුවට අවශ්‍ය වන්නේ මෙම නව ක්‍රියාමාර්ගය හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර සම්මත කර ගැනීමයි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, 2024 මාර්තු 12 [ඡායාරූපය: Twitter/X @RW_UNP] [Photo: Twitter/X @RW_UNP]

පනතේ අරමුන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ඉල්ලීම් සහ එහි ඩොලර් බිලියන 3 ක ඇප නයට බැඳී ඇති ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ට අනුකූලව ජාත්‍යන්තර ප්‍රාග්ධනයට වැඩි අවස්ථා සඳහා පහසුකම් සැලසීමයි.

පනත් කෙටුම්පතේ දක්වා ඇති ප්‍රතිපත්ති, අනාගත සියලුම ශ්‍රී ලංකා ආන්ඩු විසින් පිලිපැදිය යුතු අතර, සෑම වසරකම මාර්තු 31 වන දින නිශ්චිත වාර්ෂික ඉලක්ක ඉදිරිපත් කල යුතුය. හයවන වගන්තියේ සඳහන් වන පරිදි, “ආන්ඩුවේ සියලු ප්‍රතිපත්ති, වැඩසටහන්, නියෝග, චක්‍රලේඛ සහ විධාන, ආර්ථික පරිවර්තනය පිලිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූල විය යුතු ය.”

පනත් කෙටුම්පතේ 11 වැනි වගන්තියෙන් ආර්ථික කොමිසමක් පිහිටුවීම යෝජනා කරයි. ආයෝජනවලට අදාල ප්‍රතිපත්ති සහ රෙගුලාසි සැකසීම සහ සමාලෝචනය කිරීම සහ ආයෝජන වාතාවරනය වැඩිදියුනු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම ඇතුලුව මහා ව්‍යාපාරිකයන්ට සහාය වීමට මෙම ආයතනයට දැවැන්ත බලයක් ඇත.

නිදහස් වෙලඳ කලාපයේ සහ ඉන් පිටත විදේශීය හා දේශීය ආයෝජන සඳහා පහසුකම් සැලසීමට 1978 දී පිහිටුවන ලද දැනට පවතින ආයෝජන මන්ඩලය ආර්ථික කොමිසම මගින් ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇත. 10 දෙනෙකුගෙන් යුත් කොමිසමෙන් හය දෙනෙකු පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙලඳාම සඳහා වූ කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික හා ජාත්‍යන්තර වෙලෙඳ ආයතනය ඇතුලු තවත් ආයතනික ව්‍යුහයන් කිහිපයක් මෙම පනත් කෙටුම්පත මගින් ස්ථාපිත කෙරේ. මෙම ආයතන කලමනාකරනය කරනු ලබන්නේ ආකො සාමාජිකයින් සහ වික්‍රමසිංහ විසින් පත් කරන ලද අනෙකුත් අය විසිනි.

සමස්තයක් ලෙස ගත් විට, ඊටීබී විසින් ආර්ථික ප්‍රතිපත්තිවල බලය තවදුරටත් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා අත සංකේන්ද්‍රනය කරන අතර එය අත්තනෝමතික පාලනයක් කරා තවදුරටත් ගමන් කිරීමකි.

පනත් කෙටුම්පතේ 13 වැනි වගන්තිය, ඕනෑම අයෙකු සමඟ ආයෝජන හෝ ව්‍යවසාය ගිවිසුම් අනුමත කිරීම සහ රටේ ඕනෑම තැනක පාහේ ආයෝජන කලාප ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුලුව ආර්ථික කොමිසමේ හි සමහර බලතල ලැයිස්තුගත කරයි. පනත් කෙටුම්පත, මහජන ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව හෝ වෙනත් ගැටලු හේතුවෙන් විදේශ ආයෝජන තහනම් කර ඇති 'සෘනාත්මක ලැයිස්තු' අහෝසි කරයි. ආකො විසින් ලියාපදිංචි කරන ලද ඕනෑම ආයෝජනයක් අනුමත කිරීමට ඊටීබී විසින් කැබිනට් මන්ඩලයට අවසර දෙනු ඇත.

46 වැනි වගන්තියට අනුව, ආන්ඩුවේ ආයතන කිසියම් ආයෝජන ව්‍යාපෘති යෝජනාවක් පිලිබඳ කිසියම් විමසීමක් හෝ ඉල්ලීමක්, දින 15 ක් ඇතුලත ආර්ථික කොමිසම වෙත දැනුම් දිය යුතුය. ආන්ඩුවේ ආයතනයක් විසින් එවැනි යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමේදී, දින 21 ක් ඇතුලත එහි තීරනය කොමිසම වෙත දැනුම් දිය යුතුය. කෙසේ වෙතත්, එවැනි සියලු ආයෝජන යෝජනා සඳහා අමාත්‍යවරයා හරහා තමන්ගේම නිර්දේශය කැබිනට් මන්ඩලයට ලබාදීමට කොමිසමට බලය ඇත.

මෙම නිශ්චිත කාල සීමාවන් සහ බලතල මගින් පෙන්නුම් කෙරෙන්නේ ඕනෑම ආයෝජන ව්‍යාපෘතියකට කොල එලියක් ලබා දීම සඳහා කම්කරු හා පරිසර ආරක්ෂන ගැටලු ඇතුලු ඕනෑම රාජ්‍ය ආයතනයක අදහස් නොසලකා හැරීමට ආර්ථික කොමිසම ට හැකි වනු ඇති බවයි.

විදේශ නය ආපසු ගෙවීම සඳහා ආදායම් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීම සඳහා පනත් කෙටුම්පතේ තුන්වන සහ හතරවන වගන්තිවලට අනුව පහත සඳහන් ක්‍රියාමාර්ග කෙටුම්පත් කර ඇත.

“දල දේශීය නිෂ්පාදිතයට මධ්‍යම ආන්ඩුවේ වාර්ෂික දල මුදල් සැපයීමේ අවශ්‍යතා අනුපාතය 2032 වර්ෂය වන විට සහ ඉන් පසුව සියයට දහතුනකට වඩා අඩු වන පරිදි

යෝජිත අඩු කිරීම, පසුගිය වසරේ සියයට 27 අනුපාතයට සාපේක්ෂව සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා ආන්ඩුවේ වියදම්, ගොවීන්ට සහනාධාර සහ සමාජ සුබසාධන අරමුදල්වල දැඩි කප්පාදුවක් පෙන්නුම් කරයි.

* “2027 වර්ෂයෙන් ඉදිරියට ආන්ඩුවේ ආදායම, දල දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් සියයට පහලොවක මට්ටමකට ලඟා වීම”

පසුගිය වසරේ සියයට 11 සිට ඉහල ගිය ආදායම් වැඩිවීම, දැනටමත් ඉහල උද්ධමනයකින් පීඩා විඳිමින් සිටින වැඩකරන ජනතාව සහ ග්‍රාමීය ජනතාව මත තවදුරටත් බදු වැඩිකිරීම් හරහා ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

එවැනි ක්‍රියාමාර්ග, ඉහල ආනයන බදු සහ විශේෂ බදුවලට අමතරව සියලුම භාන්ඩ හා සේවා සඳහා දැනටමත් පනවා ඇති සියයට 18 ක එකතු කල අගය මත බද්ද (වැට්) මත පදනම් වනු ඇත. රුපියල් 100,000 හෝ ඊට වැඩි මාසික ආදායමක් ලබන සේවකයින් ආවරනය වන පරිදි ආන්ඩුව පසුගිය වසරේ ආදායම් බදු වැඩි කලේය.

* “දල දේශීය නිෂ්පාදිතයට රාජ්‍ය නය අනුපාතය 2032 වර්ෂය වන විට සහ ඉන් පසුව සියයට අනූ පහකට වඩා අඩු වන පරිදි”

පසුගිය වසරේ සියයට 105 ඉක්ම වූ මෙම අනුපාතය අඩු කිරීමට නියමිතව ඇත්තේ, සමුච්චිත නය ගෙවීම සහ රාජ්‍ය වියදම් සීමා කර නව නය අඩු කිරීම මගිනි. එය ඉතිරිව ඇති සමාජ සුබසාධන වැඩසටහන්වලට මෙන්ම මහජන අධ්‍යාපනය සහ සෞඛ්‍යය යන ක්ෂේත්‍රයන්ට තවදුරටත් බලපානු ඇත.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලද්දේ, ආන්ඩුව විසින් පෞද්ගලීකරනය කිරීමට නියමිත රාජ්‍ය ව්‍යවසාය ලැයිස්තුව පුලුල් කරන විට ය. මේවාට හොටෙල් ඩිවලපර්ස් ලංකා, කැන්විල් හෝල්ඩිංස්, ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන්, ලිට්‍රො ගෑස් ලංකා සහ ලිට්‍රො ගෑස් ටර්මිනල් යන සමාගම් සහ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඇතුලත් වේ. මෙම ව්‍යවසායන් විකිනීම සඳහා ආන්ඩුව විසින් ගෝලීය වශයෙන් ප්‍රචාරනය කර ලංසු ලබාගෙන ඇත.

අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් සියගනනක් පෞද්ගලීකරනය සහ වානිජකරනය හෝ ලාභ නොලබන ආයතන ලෙස සැලකෙන ඒවා සම්පූර්නයෙන්ම වසා දැමීම සඳහා දංගෙඩියේ තබා ඇත. මෙම ප්‍රහාර මෙම ආයතනවල සේවයේ නියුතු කම්කරුවන් 500,000 කට පමන බලපානු ඇත.

ජාත්‍යන්තර නය හිමියන් සහ ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව ජාමූඅ කප්පාදු පියවරයන්ට එරෙහිව වැඩෙන කම්කරු පන්තියේ විරුද්ධත්වය පිලිබඳව භීතියට පත්ව සිටිති.

ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ගේ ලොබිය වන ලංකා වානිජ මන්ඩලය, 'සියලු දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකාවේ දිගුකාලීන තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කිරීමත්, කෙටි කාලීන මැතිවරන ජයග්‍රහන සඳහා ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය යොදා ගැනීමෙන් වැලකීමත් ඉතා වැදගත්' යනුවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කලේය.

පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) ඊටීබී සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර එහි ප්‍රධානියෙකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ එය යම් සංශෝධන සහිතව පිලිගත හැකි බවයි.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරනයට නඩුවක් ගොනු කරන බවට ජනතා විමුක්ති පෙරමුන ප්‍රමුඛ ජාතික ජන බලය (ජාජබ) ප්‍රකාශ කලේය. මෙය දේශපාලන අපසරනයකි. අධිකරනය විසින් යෝජනා කල හැකි සංශෝධන සහිතව හෝ රහිතව ඊටීබී පාර්ලිමේන්තුව හරහා තල්ලු කරගනු ඇත.

ඩේලි එෆ්ටී පුවත්පතට අනුව, වානිජ මන්ඩලයෙන්, කර්මාන්තකරුවන්ගේ සංගම්වලින් හෝ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් නව නීති සම්පාදනය සඳහා කිසිදු කැඳවීමක් සිදුවී නොමැති බව පවසමින් ජාජබ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති පනත විවේචනය කර ඇත. 'පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගත් තීරනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස' ඔහු ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. වෙනත් වචන වලින් කිවහොත්, ඊටීබීය ගැන ජවිපෙ/ජාජබ කනස්සල්ල කේන්ද්‍රගත වී ඇත්තේ එය ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ට කුමන බලපෑමක් ඇති කරයිද යන්න මතය.

ඉදිරි ජනාධිපතිවරනයේදී සහ ජාතික මැතිවරනයේදී වික්‍රමසිංහ පාලනයට විරුද්ධ සියලු දෙනා තමන්ට ඡන්දය දිය යුතු බව සජබ සහ ජාජබ යන දෙපක්ෂයම දිගින් දිගටම අවධාරනය කරති. ජනතාව රැවටීම සඳහා ඔවුන් වාචාල ලෙස කියා සිටින්නේ, ඔවුන්ගේ පාලනය යටතේ පවතින ආන්ඩුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල පිලිබඳව 'යලි සාකච්ඡා' කරනු ඇති බව යි.

මෙය අමූලික බොරුවකි. ශ්‍රී ලංකාව සඳහා ජාමූඅ නියෝජිතයන් සමඟ වැසුනු කාමරවල සාකච්ඡා පවත්වා එහි කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට එකඟ වූ දෙපක්ෂයම ජාමූඅ සමාජ ප්‍රහාර සම්පූර්නයෙන්ම වැලඳ ගනී.

මෙම පක්ෂවල සහ වෘත්තීය සමිතිවල මවාපෑම්වලට පටහැනිව, මහජන විරෝධතා සහ වික්‍රමසිංහ පාලනයට හෝ අනුප්‍රාප්තික ආන්ඩුවට කරන ආයාචනා, කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සමාජ කොන්දේසි ආරක්ෂා නොකරනු ඇත.

පසුගිය දෙවසර පුරා කම්කරු පන්තියේ කටුක අත්දැකීම්, එවන් ක්‍රියාවන්හි නිෂ්ඵල බව පෙන්නුම් කරනවා පමනක් නොව, ආන්ඩුවට එහි කුරිරු සමාජ පියවරයන් ඉදිරියට ගෙන යාමට කාලය ද ලබා දී ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), ග්‍රාමීය ජනතාව පෙලගස්වා ගනිමින්, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සහ බැංකු සහ විශාල සමාගම් ජනසතු කිරීම ඇතුලත් ජාත්‍යන්තරවාදී සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා දේශපාලන අරගලයක් දියත් කරන ලෙස කම්කරු පන්තියට කැඳවුම් කර සිටී.

Loading