ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම: ගුරුවරුන්ට එල්ල කල පොලිස් ප්‍රහාරය හෙලාදකිනු! නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරනු! ගුරුවරුන්ට ඉහල වැටුප් ගෙවනු!

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව, “ගුරුවරුන්ට එල්ල කල පොලිස් ප්‍රහාරය හෙලාදකිනු! නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරනු! ගුරුවරුන්ට ඉහල වැටුප් ගෙවනු!” යන මාතෘකාවෙන් යුත් ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක්, ජූලි 11දා සවස 7ට පවත්වනු ඇත.

ජුනි 26දා විරෝධතාවේ යෙදුනු, දහස් ගනනක් ගුරුවරුන්ට වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කල ම්ලෙච්ඡ ප්‍රහාරය අප ක්‍රියාකාරී කමිටුව තරයේ හෙලාදකී.

මෙම ප්‍රහාරයෙන් දිනයකට පසුව, අස්ගිරිය පාර්ශවයේ මහානායක හමුවූ ජනාධිපති වික්‍රමසිංහ, ගුරුවරුන්ට හෝ කිසිදු රාජ්‍ය අංශ සේවක කන්ඩායමකට වැටුප් ඉහල දැමීම සඳහා මුදල් නොමැති බව කීවේ ය. ඒ හුස්මට ම ඔහු තර්ජනය කලේ, ගුරු වෘත්තිය අත්‍යවශ්‍ය සේවාවක් බවට නම් කරන බවයි - එනම්, කාර්මික ක්‍රියා තහනම් කරමින්, රුදුරු දඬුවම් ගෙන දෙන අත්‍යවශ්‍ය මහජන සේවා පනත බලාත්මක කරනබව යි.

ආන්ඩුව සමග පෙලගැසුනු මාධ්‍ය, ශිෂ්ට සම්පන්න වැටුපක් හා නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂාව වෙනුවෙන් අධ්‍යාපනිකයන් ගෙන යන අරගලය හෙලාදකින වනචර උද්ඝෝෂනයක් දියත් කර ඇත.

අප ක්‍රියාකාරී කමිටුව ජූලි 11 දින රැස්වීම පවත්වනු ලබන්නේ, මෙම දේශපාලන තර්ජනයන් පරාජය කරන්නේ කෙසේද? අපේ අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහායි. මෙම ප්‍රශ්න, හුදෙක් ගුරු වෘත්තියේ යෙදෙන්නන්ට පමනක් නො ව, සමස්තයක් ලෙස කම්කරුවන්ට හා දුගීන්ට තීරනාත්මක ය.

පසුගිය කොලඹ ආන්ඩු විසින් දැනටමත් ඇටපොත්තට ම කපා දමා ඇති නිදහස් අධ්‍යාපනය මත වික්‍රමසිංහ ආන්ඩුව තව දුරටත් ප්‍රහාර තීව්‍ර කරමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි තීරනාත්මක සමාජ ක්‍රියාමාර්ග සඳහා ආන්ඩුවෙන් වෙන් කරන අරමුදල් කපා දමන්නේ, රජයට අයත් ව්‍යවාසයයන් පුද්ගලීකරනය කරමින් සහ බදු හා විදුලිය--ජල ගාස්තු ඉහල දමන්නේ විදේශ නය ආපසු ගෙවීමටත්, මහ-ව්‍යාපාරිකයන්ගේ ලාභ පිම්බීමටත් ආන්ඩුවට අවශ්‍ය ආදායම් සූරා ගැනීම සඳහාය.

ඉහල වැටුප් ඉල්ලා ගුරුවරුන් ගෙන යන සටනට සමාන්තරව, ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට විරුද්ධ ව කම්කරු පන්තිය අරගල මාලාවක් දියත් කරමින් සිටී. අනෙකුත් අංශවල තම වෘත්තීය සමිති සගයන් මෙන් ම, ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති නිලධරයන් ද , මෙම ප්‍රහාර පරාජය කිරීමේ ඒකාබද්ධ ක්‍රියාවන් සංවිධානය කිරීමට විරුද්ධව සිටිී. ඒ වෙනුවට, හුදකලා, විසිරුනු හා සීමිත විරෝධතා වෘත්තීය සමිති නිලධරයන් විසින් කැඳවුම් කරන්නේ, ආන්ඩුවට බලපෑම් දමා එය එල්ල කරන සමාජ ප්‍රහාර නැවැත්විය හැකි යයි කියාපාමිනි. මෙම නිෂ්ඵල ඉදිරි දර්ශනය, අපේ අරගල පරාජය කිරීමට හා සිය ප්‍රතිගාමී පියවරයන් පැටවීමට ආන්ඩුවට කාලය ලබා දෙයි.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) පාලනය යටතේ ඇති ලංකා ගුරු සේවා සංගමය වැනි ගුරු වෘත්තීය සමිතිවල නායකයන්, ගුරුවරුන්ට කියා සිටින්නේ, ඉදිරියේ එන ජනාධිපතිවරනයේ දී, ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ (ජාජබ) ආන්ඩුව තෝරා පත්කිරීමෙන් ඔවුන් ගේ ගැටලු විසඳා ගත හැකි බව යි. මෙය අමු බේගලයකි. ජාජබ/ජවිපෙ හා සමගි ජන බලවේගය වැනි ලංකාවේ සියලු ධනේශ්වර විරුද්ධ පක්ෂ, ජාමූඅ විධානයන්ට මුලුමනින් කැප වී සිටිති.

ශිෂ්ට සම්පන්න වැටුපක් දිනා ගැනීම සහ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරගැනීම, ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි පලල් දේශපාලන අරගලයක කොටසකි. අත්‍යවශ්‍ය නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා වැඩි දියුනු කිරීමට රුපියල් බිලියන ගනනින් මුදල් වෙන් කල යුතු ය.

මෙම අත්‍යවශ්‍ය ඉල්ලීම්, විදේශ නය ආපසු ගෙවීමට කැපවී සිටින ආන්ඩුව හා ධනපති ක්‍රමය සමග ගැටෙයි. මෙම ඉල්ලීම් සඳහා අරගලය අපේ අතට ම ගැනීමට, ගුරුවරු, ශිෂ්‍යයන් හා දෙමාපියන් ඇතුලත් වන ක්‍රියාකාරී කමිටු, සෑම පාසලක ම ගොඩනැගීම සඳහා අප කැඳවුම් කරන්නේ මේ නිසා ය. ශිෂ්ට සම්පන්න වැටුප් හා ප්‍රමානවත් පහසුකම් සහිත ඉහල ගුනාත්මක නිදහස් අධ්‍යාපනයක් අපට අවශ්‍ය වේ.

මෙම තීරනාත්මක ප්‍රශ්න සාකච්ඡා කරන අපේ ප්‍රසිද්ධ රැස්වීම, අධ්‍යාපනය ආරක්ෂා කරගැනීම සඳහා සටන්කාමී සමාජවාදී ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කරනු ඇත. ජූලි 11දා පවත්වන අපේ රැස්වීමට පැමින, මෙම වැදගත් සාකච්ඡාවට සහභාගි වන ලෙස අපි සියලු ගුරුවරුන්ට, දෙමාපියන්ට හා ශිෂ්‍යයන්ට කැඳවුම් කරමු.

රැස්වීමට සහභාගිවීමට මෙතැනින් ලියා පදිංචි වන්න.

අප ක්‍රියාකාරී කමිටුව පිලිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා:

විද්‍යුත් ලිපිනය: seplanka@gmail.com

දුරකථන අංකය: 0773562327

වට්ස්ඇප් අංකය: 0773562327

Loading