බංග්ලාදේශ ආන්ඩුව විරෝධතාවයේ යෙදෙන සිසුන්ට මිලිටරි-පොලිස් මර්දනයක් මුදා හැරීමත් සමග මරන සංඛ්‍යාව ඉහල යයි

[මෙය Rising death toll as Bangladeshi government unleashes military-police crackdown on protesting students යන මැයෙන් 2024 ජූලි 22 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සිකුරාදා (19), බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා රටපුරා ඇඳිරි නීතිය පැනවූ අතර රැකියා කෝටා (යම් කන්ඩායමක පුද්ගලයින්ට නීතියෙන් ලබා දිය යුතු අවම හෝ උපරිම රැකියා ප්‍රතිශත) ක්‍රමයට සහ ඉහල යන සමාජ අසමානතාවයට එරෙහිව පුපුරා ගිය පුලුල්ව පැතිරුනු ශිෂ්‍ය විරෝධතා මැඩපැවැත්වීම සඳහා 'දුටු තැන වෙඩිතැබීමේ' නියෝග සහිතව හමුදා යෙදවූවාය.

2024 ජූලි 20 සෙනසුරාදා, බංගලාදේශයේ ඩකා නගරයේ වීදිවල මුර සංචාරයේ යෙදෙන සන්නාහ සන්නද්ධ රථවල බංගලාදේශ හමුදා හමුදා [ඒපී ඡායාරූප/රජීබ් ධාර්] [AP Photo/Rajib Dhar]

පාලක අවාමි ලීගයේ මැරයින්ගේ සහ පොලිසියේ ප්‍රචන්ඩ ප්‍රහාරවලින් පසුගිය සතිය තුල පුද්ගලයන් 139 ක් මිය ගොස් දහස් ගනනක් තුවාල ලබා ඇත. මියගිය අයගෙන් බහුතරය සිසුන් ය. ඔවුන් වෙඩි තබා ඇත්තේ රබර් උන්ඩවලින් පමනක් බව පොලිසිය පැවසූවද, රෝහල් වාර්තා කරන්නේ බොහෝ සිරුරුවල හිසට වෙඩි වැදී ඇති බවයි.

තව දුරටත් නොසන්සුන්තාවන් ඇති වේ යැයි බියෙන්, ආන්ඩුව ඊයේ සහ අද රජයේ නිවාඩු දින බවටත් ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක වන බවටත් ප්‍රකාශ කලේය. ජාතික අගනුවර වන ඩකා නගරයට ඉහලින් හෙලිකොප්ටර් කරකැවෙමින් තිබෙන අතර, දැඩි ලෙස සන්නද්ධ හමුදා භටයන් සහ පොලිසිය වීදිවල මුර සංචාරයේ යෙදී සිටිති.

ජූලි 1 දා ආරම්භ වූ ශිෂ්‍ය විරෝධතා, බංග්ලාදේශයේ පසුගාමී සහ බෙදුම්වාදී ආන්ඩුවේ රැකියා කෝටා ක්‍රමය අහෝසි කරන ලෙස බලකරයි. කෝටා ක්‍රමය භාවිතා කරනුයේ හසීනාගේ අවාමි ලීගයේ දේශපාලන ආධාරකරුවන්ට වාසි ලබා දීම සඳහා ය.

මෙම ක්‍රමය යටතේ, රජයේ රැකියාවලින් සියයට 30 ක් 1971 බංග්ලාදේශය පිහිටුවීමේ අරගලයට සම්බන්ධ වූ “නිදහස් සටන්කාමීන්ගේ” ඥාතීන්ටද, සියයට 10 ක් කාන්තාවන්ට සහ රටේ නොදියුනු ප්‍රදේශවලටද, සියයට 5 ක් වාර්ගික සුලු ජාතීන්ටද සියයට 1 ක් ශාරීරික ආබාධ සහිත පුද්ගලයින්ට ද වෙන් කෙරේ. ඉතිරි සියයට 44 දැනට පවතින කුසලතා ක්‍රමය යටතේ තෝරාගත් අය සඳහා වේ.

ආන්ඩු-විරෝධී මහජන නොසන්සුන්තාව සමනය කිරීමට බලාපොරොත්තු වන බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරනය ඊයේ තීන්දු කලේ, “නිදහස් සටන්කාමීන්ගේ” ඥාතීන් සඳහා දැනට පවතින සියයට 30 ක රැකියා ප්‍රතිපාදනවලින් සියයට 5 ක කප්පාදුවක් සහ අනෙකුත් කාන්ඩවලට සියයට එකක කප්පාදුවක් කල යුතු බවයි. කෙසේ වෙතත්, ජනගහනයේ පුලුල් කොටස්වල සහාය ලබන ශිෂ්‍ය විරෝධතාකරුවන් කෝටා ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා සිටී.

වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරය අද රටපුරා වැඩ නවත්වන ලෙස ඉල්ලා ඇත. එක් ශිෂ්‍ය නායකයෙක් ඊයේ ඒඑෆ්පී (ජාත්‍යන්තර ප්‍රංශ ප්‍රවෘත්ති ඒජන්සියකි) වෙත පැවසුවේ: “ආන්ඩුව අපගේ ඉල්ලීම් සලකා බලා නියෝගයක් නිකුත් කරන තුරු අපි අපගේ විරෝධතා අත් නොහරිමු.” මර්දනය අතරතුර රඳවා සිටින සියලුම දෙනා වහා නිදහස් කරන ලෙසත්, මර්දනයට අන දුන් නිලධාරීන් ඉල්ලා අස්කරන ලෙසත් සිසුන් ඉල්ලා සිටින බව අල් ජසීරා වාර්තා කර ඇත.

ශිෂ්‍ය විරෝධතා සම්බන්ධීකාරකයෙකු වන නහිඩ් ඉස්ලාම් ෆේස්බුක් සටහනක ප්‍රකාශ කලේ, “නීතිය ක්‍රියාත්මක කරන ආයතන වීදිවලින් ඉවත් නොකලහොත්, නේවාසිකාගාර, විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන විවෘත නොකලහොත් සහ වෙඩි තැබීම් දිගටම පවතින්නේ නම් සම්පූර්න වගකීම ආන්ඩුව බාරගත යුතුය.'

2024 ජූලි 20 සෙනසුරාදා, බංගලාදේශයේ ඩකා නගරයේ වීදිවල මුර සංචාරයේ යෙදෙන සන්නාහ සන්නද්ධ රථවල බංගලාදේශ හමුදා හමුදා [ඒපී ඡායාරූප/රජීබ් ධාර්] [AP Photo/Rajib Dhar]

වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරය මතු වූයේ, ජූලි 1 දා ඩකා සහ චිතගොං විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පෙලපාලි සමඟිනි. ඒ ඔවුන්, රැකියා කෝටා ක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස ජුනි 5 වැනි දා මහාධිකරනය කල ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. ශිෂ්‍ය විරෝධතා රැල්ලකින් පසුව, 2018 දී මෙම ක්‍රමය අහෝසි කරන ලදී.

මෙම විරෝධතා ඉක්මනින් රට පුරා පැතිර ගියේ, හසීනා ආන්ඩුව සිසුන් සමඟ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීම ප්‍රතික්ෂේප කර, අධිකරනය විසින් කාරනය සමථයකට පත් කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව ය. සිසුන් “ඔවුන්ගේ කාලය නාස්ති කරන” බවත්, “කෝටා-විරෝධී ව්‍යාපාරයට කිසිදු සාධාරනත්වයක් නොමැති” බවත්‍ රූපවාහිනී විකාශනයකදී හසීනා පැවසුවා ය.

විරෝධතා විසුරුවා හැරීමට උත්සාහ කරමින්, ශ්‍රේෂ්ඨාධිකරනය ජුලි 10 වැනි දින මහාධිකරන තීන්දුව අත්හිටුවා, තීන්දුව සමාලෝචනය කර අගෝස්තු 7 වනදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කලේය. කෙසේ වෙතත්, ආන්ඩුවේ ඉල්ලීමකට අනුව, මෙම දිනය ජූලි 21 දිනට ගෙන ආවේය.

බොහෝ දුරට සාමකාමීව පැවති ශිෂ්‍ය විරෝධතා, පසුගිය සතියේ අවාමි ලීගයේ ශිෂ්‍ය සංවිධානය වන බංගලාදේශ චත්‍රා ලීගය විසින් (බීසීඑල්) ජූලි 15 දා විරෝධතාකරුවන්ට ප්‍රචන්ඩ ලෙස ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලේ වැකි හැරීමක් ගත්තේය. සිසුන්, බීසීඑල් සාමාජිකයින්ගේ බිය ගැන්වීම්වලට එරෙහි වූ විට, පොලිසිය වෙනස් කොට සැලකීමට එරෙහි සිසුන්ට පොලුවලින් හා රබර් උන්ඩවලින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ.

පොලිස් ඝාතන නිසා කෝපයට පත් සාමාන්‍ය ජනතාව විරෝධතාවලට එක්වීමට පටන් ගත්හ. මාධ්‍ය වාර්තාවලට අනුව, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඩකාහි පොලිසිය සහ ආන්ඩුවේ මැරයන් සමඟ සටන් කර ඇත. තවත් අය වෙනත් නගරවල විරෝධතාවලට සම්බන්ධ වී පොලිසිය සමඟ ගැටී තිබේ.

ඩකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිලිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය සමීනා ලුත්ෆා බීබීසීයට පැවසූ පරිදි: “එය තවදුරටත් සිසුන් පමනක් නොවේ, සෑම තරාතිරමකම මිනිසුන් විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වී ඇති බව පෙනේ.” ඇය තවදුරටත් මෙසේ ද පැවසුවාය: 'ආන්ඩුවට සහ පාලක පක්ෂයට එරෙහි කෝපය දිගු කලක් තිස්සේ ගොනු වෙමින් පැවතුනි.'

හසීනා ආන්ඩුව ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ, සියලුම රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල, පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන වසා දමන ලෙස නියෝග කරමිනි. බ්‍රහස්පතින්දා (18) එය අන්තර්ජාලය වසා දැමූ අතර ජංගම දුරකථන සම්බන්ධතා සහ කෙටි පනිවිඩ පද්ධති අවහිර කලේය. ඩේලි ස්ටාර් සහ ඩකා ට්‍රිබියුන් ඇතුලු සියලුම බංග්ලාදේශ මාධ්‍ය වෙබ් අඩවි ද අවහිර කල අතර, සිකුරාදා පෙලපාලිවලට එරෙහිව හමුදාව බලමුලු ගැන්වීය.

ආන්ඩු විරෝධී නොසන්සුන්තාව සම්බන්ධයෙන් හසීනා පාලනය විපක්ෂයේ බංග්ලාදේශ ජාතික පක්ෂයට (බීඑන්පී) දොස් පවරන නමුත් මෙය මුසාවකි. වෙනස් කොට සැලකීමට එරෙහි සිසුහු, විශේෂයෙන්, කිසියම් හෝ දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධ වීමෙන් ඈත් වී සිටිති.

බීඑන්පී මූලස්ථානය වටලන ලෙස ආන්ඩුව පොලිසියට නියෝග කල අතර එහි දී පුපුරන ද්‍රව්‍ය සොයාගත් බව කියා සිටියේය. බීඑන්පී හි සම ලේකම් රුහුල් කබීර් රිස්වි අහමඩ් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. බීඑන්පී බ්‍රහස්පතින්දා විරෝධතාවලට අවස්ථාවාදීව පිටුබලය දුනි; මෙම දක්ෂිනාංශික පක්ෂයට ශිෂ්‍යයන්, කම්කරුවන් සහ දුගීන් කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොමැති අතර, බලයේ සිටින විට මහජනතාව මත කුරිරු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර මුදා හලේය.

ජනවාරි පාර්ලිමේන්තූ මැතිවරනයේ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරුනේ හසීනා ය; දැන් ඇය අඛන්ඩව සිව්වන වාරයට පත්ව සිටී; කෙසේ වුවද, මැතිවරනයට සහභාගී වූයේ ඡන්දදායකයින්ගෙන් සියයට 41.8 ක් පමනි. ශිෂ්‍ය විරෝධතා සහ ඒවා දිනා ගනිමින් සිටින පුලුල් සහයෝගය පෙන්නුම් කරන්නේ ඇගේ පාලන තන්ත්‍රයට ඇති ගැඹුරු සතුරුකමයි.

2009 දී ප්‍රථමයෙන් බලයට පත් වූ හසීනාගේ ආන්ඩුව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සීමා කරමින්, ඇගේ දේශපාලන විරුද්ධවාදීන් සහ ප්‍රකාශනයේ නිදහස යටපත් කරමින්, වඩ වඩාත් ඒකාධිපති දිශානතියක් ගත්තේය. පසුගිය නොවැම්බරයේදී ඇයගේ ආන්ඩුව, ජීවත් විය හැකි වැටුපක් ඉල්ලා විරෝධතාවයේ නිරත වූ ඇඟලුම් කම්කරුවන්ට එරෙහිව පොලිසිය යෙදවීය. ගැටුමෙන් කම්කරුවන් හතර දෙනෙක් මිය ගියහ.

රට සියයට 5.8 ක ආර්ථික වර්ධන වේගයක් අත් කරගෙන ඇති බවටත්, 2023 දී ඩොලර් 2,528 ක ඒක පුද්ගල ආදායමක් අත්කර ගත් බවටත් හසීනා පුරසාරම් දොඩයි; නමුත් 2018 දී එහි වර්ධන වේගය සියයට 7.9 ක් වූ අතර එහි විදේශ සංචිත 2018 දී පැවති මුදලින් අඩක් දක්වා, එනම්, ඩොලර් බිලියන 26.5 දක්වා පහත වැටී ඇත. උද්ධමනය දැනට සියයට 9.7 ක මට්ටමක පවතී. විදේශ සංචිත පහත වැටීම් සහ ගෙවුම් ශේෂ පරතරය පුලුල් කිරීම සඳහා පසුගිය වසරේ ඇගේ ආන්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4.7 ක නයක් ලබා ගැනීමට සිදු විය.

බංග්ලාදේශයේ දරිද්‍රතාවය සහ විරැකියාව ශීඝ්‍රයෙන් ඉහල යමින් පවතී; දැනට විශ්ව විද්‍යාල උපාධිධාරීන් ද ඇතුලුව මිලියන 18 ක් පමන තරුනයින් රැකියා නොමැතිව සිටී. නවතම බංග්ලාදේශ සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, බංග්ලාදේශයේ තරුනයින්ගෙන් ආසන්න වශයෙන් සියයට 40 කට රැකියා නොමැති අතර අධ්‍යාපනය හෝ රැකියා පුහුනුවක් නොලැබේ. ඇස්තමේන්තුගත 400,000 ක් විශ්ව විද්‍යාල උපාධිධාරීන්, වසරකට ලබා ගත හැකි සිවිල් සේවා රැකියා 3,000 ක පුරප්පාඩු සඳහා තරඟ කරති. ආසියානු සංවර්ධන බැංකුවට අනුව 2022 දී ජනගහනයෙන් සියයට 18.7 ක් ජාතික දරිද්‍රතා රේඛාවට පහලින් ජීවත් වේ.

1972 දී අගමැති ෂෙයික් මුජිබර් රහ්මාන් විසින් ආරම්භ කරන ලද රජයේ රැකියා කෝටා ක්‍රමය, අඛන්ඩව පැමිනි ආන්ඩු විසින් කම්කරු පන්තියට එරෙහිව ආන්ඩු ගැති කන්ඩායම් ගොඩනැගීම සඳහා කිහිප වතාවක් ම වෙනස් කර තිබේ.

මෙම ක්‍රමයට විරුද්ධ ව පෙර පැවැත්වුනු විරෝධතා සම්බන්ධයෙන් 2018 දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කල පරිදි: “කෝටා වෙන් කිරීම බෙදුම්වාදී සහ පසුගාමී වන අතර, එය යොදා ගන්නේ, විරැකියාවේ සහ මහජන දරිද්‍රතාවයේ මූලාශ්‍රය වන, පවතින සමාජ පර්යායට සහ ධනේශ්වර ක්‍රමයට අභියෝග කිරීමෙන් මහජන විරෝධය වෙනතකට යොමු කිරීමට ය.”

බංග්ලාදේශ මාධ්‍ය විසින් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව “අර්ධ ජයග්‍රහනයක්” ලෙස ඉදිරිපත් කර ඇත; නමුත් අනාගතයේදී පාලක ප්‍රභූන්ට එය හැසිරවීමට ඉඩ සලසමින් ප්‍රතිගාමී කෝටා ක්‍රමය දිගටම පවතී. පකිස්ථානයේ සහ ඉන්දියාවේ එහි සගයන් මෙන් බංග්ලාදේශ ධනේශ්වරය ද කම්කරු පන්තිය හා පීඩිත ජනතාව මුහුන දෙන මූලික සමාජ හෝ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න කිසිවක් විසඳීමට අසමත් ය.

ශිෂ්‍යයන්ට එරෙහි ම්ලේච්ඡ මර්දනය, කම්කරු පන්තියට හා තරුනයින්ට අනතුරු ඇඟවීමකි; එමෙන්ම, හසීනා තන්ත්‍රය එහි සමාජ ප්‍රහාරවලට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීම පිනිස ආඥාදායක පාලන ආකාරයන් දෙසට හැරෙමින් සිටින බවට තවත් දර්ශකයකි.

බංග්ලාදේශ සිසුන්ට හා කම්කරුවන්ට ඇති එකම මග වන්නේ, ධනේශ්වර පාලනයට එරෙහිව, දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයයි. මෙම අරගලය වර්ධනය කිරීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙල අධ්‍යයනය කරන ලෙස අපි කම්කරුවන්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading