ඉදිරිදර්ශන

ශ්‍රේෂ්ඨාධිකරනය සහ 2024 ජූලි 1 වැනි දින ප්‍රති-විප්ලවය

[මෙය The Supreme Court and the Counter-Revolution of July 1, 2024 යන මැයෙන් 2024 ජූලි 04 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදය (Trump v. United States) නම් වූ නඩුව පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව, ඉහල උසාවියේ ඉතිහාසයේ වඩාත්ම දුරදිග යන සහ ප්‍රතිගාමී ම තීන්දුවයි. එය 2024 ජූලි 1 වැනි දින ප්‍රති-විප්ලවය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

වොෂින්ටන් ශ්‍රේෂ්ඨාධිකරනය [AP Photo/Alex Brandon]

ඔහු තීරනය කල ඕනෑ ම අවස්ථාවක, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හෝ ඕනෑ ම නීතියක් කඩ කිරීමට ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලබා දී තිබේ. විනිසුරු සෝනියා සෝටොමේයර් සිය විසම්මුතියේ නිගමනය කල පරිදි, දැන් නඩු පැවරීමෙන් නිදහස් වූ ජනාධිපතිගේ ක්‍රියාකාරකම්වලට, “දේශපාලන ප්‍රතිවාදියෙකු ඝාතනය කිරීමට” ජනාධිපතිවරයා මිලිටරියට නියෝග කිරීම, “බලය රඳවා ගැනීමට හමුදා කුමන්ත්‍රනයක්” දියත් කිරීම සහ “සමාව දීමට අල්ලසක් ලබා ගැනීම” වැනි අවස්ථා ඇතුලත් විය හැකි ය.

වෙන ම විසම්මුතියක, විනිසුරු කෙතන්ජි බ්‍රවුන් ජැක්සන් අවධාරනය කලේ, මිනීමැරුම් දක්වා ද ඇතුලු අපරාධ “නිල රාජකාරි” ක්ෂේත්‍රයට අයත් විය හැකි බවයි. උසාවිය ඉදිරියේ ඇති ප්‍රශ්නය වන්නේ, ජනාධිපතිවරයාට නීතිපතිවරයා නෙරපා හැරිය හැකි ද යන්න නොව, “නීතිපතිවරයාට වස දී මරනයට පත් කර ඔහු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබේ ද,” යන්න බව ඇය ලිවීය.

1934 ජූනි මාසයේදී ඇඩොල්ෆ් හිට්ලර් 'දිගු පිහියා රාත්‍රියේ' (Night of the Long Knives - 1934 ජූනි 30 වන දින, ඇඩොල්ෆ් හිට්ලර් විසින් තම ප්‍රතිවාදී නාසි නායකයින් සහ දේශපාලන විරුද්ධවාදීන් විරේක කර දැමීම) දී කලාක් මෙන් දේශපාලන සතුරන් සිය ගනනින් ඝාතනය කරන ලෙස ජනාධිපතිට දැන් රහස් සේවයට, ෆෙඩරල් විමර්ශන කාර්යාංශයට හෝ හමුදා නිලධාරීන්ට නියෝග කල හැකි අතර ඔහු ඒවාට නීත්‍යානුකූල ව වග නොකියනු ඇත.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

ජනරජයේ උපතේ සිට 250 වැනි සංවත්සරයට දෙවසරක් තිබියදී, නිදහස් දින නිවාඩුවට දින කිහිපයකට පෙර නිකුත් කරන ලද මෙම තීරනය, බලතල බෙදීම, නීතියේ ආධිපත්‍යය සහ මහජන පරමාධිපත්‍යය වැනි මූලික ජනරජ මූලධර්ම ඇතුලුව ඇමරිකානු ව්‍යවස්ථාමය රාමුව සුනුවිසුනු කර දමයි. ට්‍රම්ප්ට එරෙහි ව එක්සත් ජනපදය හි තීන්දුව, තථ්‍ය වශයෙන් සහ නීති ප්‍රකාර ව, පාලනයකින් තොර ජනාධිපති ආඥාදායකත්වය නීත්‍යානුකූල කරයි. ඔහු හෝ ඇය නිල බලයෙන් ක්‍රියා කරන බව කියන සෑම අවස්ථාවකම, එය, ප්‍රධාන විධායකයා නීතියේ සීමාවට වඩා ඉහලින් ඔසවා තබයි.

ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව මගින්, ජනාධිපතිවරයා “පෞද්ගලික” අපරාධවලට මුක්තිය නොලැබීමට ඉඩකඩ විවෘත බව පවසමින්, බොහෝ මාධ්‍ය තමන් සනසා ගැනීමට සහ ජනතාව නිර්වින්දනය කර තැබීමට උත්සාහ දරයි. නමුත් පුද්ගලික සහ නිල කාරනා ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පවතින බව තීන්දුවෙන් පැහැදිලි වේ. උපරිම වශයෙන්, නව තීන්දුවෙන් අඩු වාසි ලබන උසාවිවලට ජනාධිපතිවරයාගේ අපරාධ සමාලෝචනය කල හැකි වුව ද, සමාලෝචනය භාර ගැනීමට පවරන විනිසුරුවන් ඝාතනය කිරීමට නියෝග කිරීමෙන් ජනාධිපතිවරයාට සමාලෝචනය පූර්වභංග කල හැකි ය. දැනටමත්, නිව් යෝර්ක්හි දී පුද්ගලික පලහිලව්වක් පිලිබඳව මතුව ආ චෝදනා වලට වරදකරු වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරන දූෂනයක් යට ගැසීමට “අල්ලස්” (hush money - රහසක් රැකගැනීම සඳහා දෙන මුදල) දී දන්ඩන සහනයක් ලබා ගැනීමට උත්සාහ කලා පමනක් නොව, ඔහු එය ලබාගෙන තිබේ.

කෙසේ වෙතත්, තීරනය, ට්‍රම්ප් අභිබවා යයි. උසාවිය විසින් පවරා දෙන බිහිසුනු බලතල ආරෝපනය කරනු ලැබෙන්නේ පුද්ගලයෙකුට නොව, තන්ත්‍රයකට ය. ජනාධිපතිවරයා කවුරුන් වුවද, ධවල මන්දිරයේ පදිංචිකරුවාට ඔහුගේ හෝ ඇයගේ ආඥාදායක බලතල හිමිවනු ඇත. එවැනි බලයක් උසාවි තීන්දුවේ පැහැදිලි ව ම අන්තර්ගත ව පවතී. ප්‍රශ්නයට තුඩු දී ඇති “නිල ක්‍රියාමාර්ගය” වූයේ, 2021 ජනවාරි 6 වන දින, ට්‍රම්ප් විසින් රහසිගත ව, ඔහුගේ මැතිවරන පරාජයේ ප්‍රතිඵල අවලංගු කිරීමටත්, එමගින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවීමටත් කුමන්ත්‍රනයක් සංවිධානය කිරීමයි.

ෆැසිස්ට් කැරැල්ලක් ජනාධිපති ධූරයේ නිල රාජකාරියට අයිති නම්, එයට අයිති නොවන දෙයක් ඇත්තේ නැත.

ශ්‍රේෂ්ඨාධිකරනය සිය තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. ඇමරිකානු ජනාධිපතිවරයා නීතියට ඉහලින් සිටින බව “සොයාගෙන” තිබේ. ධවල මන්දිරයේ පදිංචිකරුවා වටා ඇත්තේ, පසුගිය ශතවර්ෂයේ මුසෝලිනි සහ හිට්ලර් වෙත සංකේන්ද්‍රනය වූ ෆැසිස්ට් රාජ්‍යයන්ගේ අධිකාරිත්වයට සමාන ආඥාදායකත්වයේ ස්ථාවර පාලනයකි. “නිල රාජකාරි” තුල ක්‍රියා කරන ජනාධිපතිවරයාට කල නොහැකි දෙයක් නැත.

එහෙත් කම්කරු පන්තිය තවමත් සිය තීන්දුව ලබා දී නැත.

අද, කෝටි ගනන් කම්කරුවන් ජූලි හතරවැනිදා සමරනු ඇත. කෙසේ වෙතත්, මෙම නිවාඩු දිනය සනිටුහන් කරන්නේ, 1776 ජූලි 4 වන දින, විප්ලවවාදී ප්‍රකාශනයක් වන ස්වාධීනතා ප්‍රකාශය (The Declaration of Independence) අනුමත කිරීම මිස, 1776 ජූලි 2 වන දින ලී යෝජනාව (Lee Resolution) හරහා සිදු වූ මහා බ්‍රිතාන්‍යය සමඟ සබඳතා බිඳ දැමීම නොවන බව සාමාන්‍යයෙන් නොදන්නවා විය හැකිය. දැන් ශ්‍රේෂ්ඨාධිකරනය විසින් එල්ල කර ඇති ඒකාධිපතිත්වයේ තර්ජනය ගැන බොහෝ දේ සඳහන් “ප්‍රකාශනයට” කම්කරුවන් හා තරුනයන් හුරුපුරුදු වීම තීරනාත්මක ය.

“ස්වාධීනතා ප්‍රකාශයේ”, කෙටුම්පත් කමිටුව ඔවුන්ගේ වැඩ කොන්ටිනෙන්ටල් කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ආකාරය නිරූපනය කරන ජෝන් ට්‍රම්බුල්ගේ චිත්‍රය. ජෙෆර්සන් මැද, ෆ්‍රෑන්ක්ලින් ඔහුගේ වම් පසින් සහ ඇඩම්ස් ඔහුගේ දකුනු පසින් සිටිති.

ප්‍රධාන කතුවරයා වන තෝමස් ජෙෆර්සන් සහ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සහ ජෝන් ඇඩම්ස් ඇතුලත් කමිටුවක් විසින් ෆිලඩෙල්ෆියා හි කෙටුම්පත් කරන ලද මෙම ලේඛනය ආරම්භ වන්නේ, “මනුෂ්‍ය වර්ගයාගේ අදහස්වලට මනා ගෞරවයක්” ලබා දීම සඳහා, “අවංක ලෝකයකට”, වසරක් පුරා පැවති විප්ලවයේ හේතු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කල යුතු බව ප්‍රකාශ කිරීමෙනි. ඊලඟට සඳහන් වන දේ, ලෝක ඉතිහාසයේ වඩාත්ම විප්ලවීය ප්‍රකාශය විය හැකි ය—එහි සියලු දැවැන්ත හා පුපුරන සුලු ඇඟවුම්, අද ද 1776 දී මෙන් ම ප්‍රබල ය: “සියලු මිනිසුන් මවා ඇත්තේ සමාන ලෙස ය; අපි මෙම සත්‍යයන් ස්වයං-ප්‍රත්‍යක්ෂ ලෙස සලකමු.”

අනතුරුව, ජෙෆර්සන්, ආන්ඩුව පිලිබඳ “ඇමරිකානු න්‍යාය”, නැතහොත් “ජනරජ න්‍යාය” ලෙසින් හැඳින්වෙන දෙයෙහි සිද්ධාන්තය ඉදිරිපත් කරයි. රාජ්‍යයන් මිනිසුන්ට අයිතිවාසිකම් “ප්‍රදානය” නොකරයි. මිනිසුන් උපත ලබන්නේ ආන්ඩු පැවතීමට පෙර සිට පැවති—“අපරාරෝපනීය (අන් සතු කල නොහැකි) අයිතිවාසිකම්” සමග ය. ආන්ඩු තමන්ගේ “බලතල ලබාගන්නේ පාලිතයාගේ කැමැත්තෙන්” මිස—අංශු මාත්‍රයක් හෝ ඊට වැඩියෙන් නොවේ. ඇත්ත වශයෙන්ම, රාජ්‍යයන් සාධාරන ව පැවතිය හැක්කේ, මෙම අයිතීන් තහවුරු කරන තාක් දුරට පමනි; “ඒවා මිනිසුන් අතර පිහිටුවා ගෙන ඇත්තේ” ඒ නිසා ය.

එතැන් සිට, ප්‍රකාශය, “ඕනෑම ආකාරයක ආන්ඩුවක් මෙම පරමාර්ථ විනාශ කරන සෑම අවස්ථාවක ම” විප්ලව කිරීමේ අයිතිය තහවුරු කරයි. අද ශ්‍රේෂ්ඨාධිකරනයට සහ කුමන්ත්‍රනකාරී බලයේ අනෙකුත් බලකොටුවලට අනතුරු ඇඟවීමක් ලෙස කියවිය හැකි දේ තුල ජෙෆර්සන් අපට පවසන්නේ, විප්ලවයට ඇති අයිතිය ලඟා වන්නේ, “අපයෝජන සහ කොල්ලකෑම් දිග්ගැස්සෙන විට”... ජනතාව “පරම ඒකාධිපතිවාදය යටතට පත්කිරීමේ සැලසුම් පෙන්නුම් කරන විට” බවයි. එවන් මොහොතක, ජනතාවගේ අයිතියක් පමනක් නොව, ඔවුන්ගේ “යුතුකම” ද වන්නේ, “එවන් ආන්ඩුවක් පන්නා දැමීම” ය.

ස්වාධීනතා ප්‍රකාශය, මුල් ලේඛනයේ ඡායා-පිටපතක්

මෙම ‘ප්‍රකාශය’, මානව චින්තනයේ වෙහෙසකර වර්ධනයක කූටප්‍රාප්තිය වූ අතර එහි මූලාරම්භය බුද්ධි ප්‍රබෝධයේ (Enlightenment) යුගය සහ එමගින්, දිව්‍ය අනුමැතිය ලත් වැඩවසම් ක්‍රමයට එල්ල වූ අභියෝගය දක්වා දිවෙයි. නමුත් 1763 දී, සත් අවුරුදු යුද්ධයේ දී මහා බ්‍රිතාන්‍යය විසින් ප්‍රංශය ජයග්‍රහනය කිරීමේ ප්‍රීති ඝෝෂාව මධ්‍යයේ, දශකයකට මඳක් වැඩි කාලයකට පසුව මානව සමානාත්මතාවයේ මූලධර්මය මත පදනම් වූ විප්ලවයකින් අධිරාජ්‍යය බිඳ දමනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකලේ ය.

වෙනස් වූයේ කුමක්ද? විප්ලවය සඳහා මහජන විඥානය සූදානම් බව “ප්‍රකාශය” විස්තර කලේ “අපයෝජනවල දිග්ගැස්සීම” මගිනි. ජෝන් ඇඩම්ස් පසුව ජෙෆර්සන්ට ලිවුවේ, “විප්ලවය මිනිසුන්ගේ මනසෙහි පැවතියේ ය; ලෙක්සිංටන්හිදී ලේ බිඳුවක් හෝ වැගිරීමට පෙර, 1760 සිට 1775 දක්වා වසර පහලොවක් තුල මෙය ක්‍රියාත්මක විය.”

ටොම් පේන් 1776 ජනවාරියේ නිකුත් කරන ලද 'සාමාන්‍ය බුද්ධිය' (Common Sense) කෘතිය සමඟින් “මහජන විඥානයට” යන මාවත කපා ගැනීමේ අවසාන බාධකය ඉවත් කරන ලදී. අධිරාජ්‍ය අර්බුදයේ එම අවධිය තෙක්, යටත් විජිතවාදීන් එංගලන්තය සමඟ අරගලයේ, අධිරාජ්‍යය තුල නියෝජනය පිලිබඳ ප්‍රශ්නයේ දෘෂ්ටිවාදාත්මක සංරචකයට එරෙහිව සටන් කලහ. 1775 වන විට පාර්ලිමේන්තුවෙන් බිඳීමක් අවශ්‍ය බවට ඔවුන් නිගමනය කර තිබුනි. නමුත්, තවමත් ඔවුන් තුල රජුගෙන් බිඳී යාමට සූදානමක් නොවීය. බොහෝ අය විසින් වෙන ම පාර්ලිමේන්තුවක් සහිත “බලය බෙදා හල” ඇමරිකානු රාජ්‍යයක් පරිකල්පනය කල නමුත්, රජු රාජ්‍ය නායකයා ලෙසම තබා ගැනීම අරමුනු කල එය, අධිරාජ්‍යයේ ප්‍රතිගාමී පොදුරාජ්‍ය මන්ඩලීය න්‍යාය අපේක්ෂා කල, පසු ව දකුනු ආසියාතිකයන්, කැනේඩියානුවන් සහ ඕස්ට්‍රේලියානුවන්ට පිලිගැනීමට සිදුවූ අදහස ම විය.

ටොම් පේන්, 1792 දී පමන ලෝරන්ට් ඩබෝස් විසිනි

පේන් පොදුවේ රජුට සහ රාජකීය අධිකාරියට එරෙහිව සිය අවි මුවහත් කර ගත්තේ ය. ඉංග්‍රීසි සංක්‍රමනිකයෙකු, කම්කරුවෙකු සහ රැඩිකල් දේවවාදියෙකු වූ පේන්—'වෙලඳාමෙන් බොස්තරොක්ක මසන්නෙක්, වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක්, සහ නැඹුරුවෙන් ප්‍රචාරකයෙක්'—1774 දී ෆිලඩෙල්ෆියා වෙත පැමින ඇත්තේ ෆ්‍රෑන්ක්ලින්ගේ සහාය ඇතිව ය. වසරකට වැඩි කාලයකට පසු, ඔහු ‘සාමාන්‍ය බුද්ධිය’ රචනා කලේ ය. රජ කෙනෙකු නොමැති ආන්ඩුවක් පිලිබඳ භීතිය දුරු කරමින්, අද ද ශ්‍රේෂ්ඨාධිකරනයට එරෙහි ව සමාන ව එල්ල කල හැකි වචන වලින්, නීතියට ඉහලින් සිටින රජෙකු පිලිබඳ අදහස ගැන පේන් අධිචෝදනා කලේ ය:

නමුත්, ඇමරිකාවේ රජු කොහෙද යැයි සමහරු අසති. මම ඔබට කියමි, මිත්‍රයා, ඔහු ඉහල සිට රජකම් කරනවා, නමුත්, මහා බ්‍රිතාන්‍යයේ රාජකීය තිරිසනා මෙන් මනුෂ්‍ය වර්ගයාට විනාශයක් නොකරනු ඇත... අප රාජාන්ඩුව අනුමත කරන තාක් දුරට, ඇමරිකාවේ රජු වන්නේ නීතියයි.

සාමාන්‍ය බුද්ධිය’ උල්කාවක් මෙන් පහර දී, විප්ලවීය අදහස්වලින් ජනතාව සංතෘප්ත කලේ ය. පලමු මාස ​​දෙක තුල එහි පිටපත් 100,000 ක් ද, 1776 අවසානය වන විට 500,000 ක් ද අලෙවි වී ඇති බවට ගනන් බලා ඇත. අද එක්සත් ජනපදයේ ඒ හා සමාන ප්‍රතිපත්ති ප්‍රකාශයක පිටපත් මිලියන 60 ක් බෙදා හැරීමට අවශ්‍ය වනු ඇත; මෙය පේන්ගේ කාලයේ සිට ලිඛිත වචනයේ බහුලත්වය විශිෂ්ට තාක්ෂනික ප්‍රගතිය අනුව අද දින පරිපූර්න ලෙස සාක්ෂාත් කරගත හැක්කකි. ‘සාමාන්‍ය බුද්ධිය’ , ‘ස්වාධීනතා ප්‍රකාශය’ සඳහා මාර්ගය සකස් කල අතර, එය වඩාත් පුලුල් ලෙස බෙදා හරින ලදී; 1776 ජූලි මාසය පුරාවට ම මහාද්වීපික හමුදාවේ සහ රාජ්‍ය මිලීෂියාවන්ගේ උත්සවාකාර වෙඩි මුර වලදී එය හඬ නඟා කියවන ලදී.

‘සාමාන්‍ය බුද්ධිය’ කෘතියේ මුල් කවරයේ පිටපතක්

ස්වාධීනතා ප්‍රකාශනයේ විප්ලවවාදී මූලධර්මවලට පිටුපසින් දියත් කරන ලද නිදහස සඳහා වූ යුද්ධය, අවසානයේ, 1783 දී ජයග්‍රහනය කරන ලදී—එහෙත් ඒ ඉතා ඉහල පිරිවැයක් දරමිනි. මියගිය ජන සංඛාව ගත් කල, දෙවන ඇමරිකානු විප්ලවය වන සිවිල් යුද්ධය හැරුනුකොට, අන් සියලු යුද්ධවලට වඩා ඇමරිකානුවන් ප්‍රමානයක් මෙහිදී මිය ගියහ. නමුත්, තමන්ව පාලනය කරනු ලබන්නේ (govern) කෙසේ ද යන ප්‍රශ්නය ඇමරිකානුවන්ට ඉතිරි විය.

පවතින සෑම ආන්ඩුවකට ම පරමාධිපත්‍යයේ අවසාන සහ බෙදිය නොහැකි කෝෂ්ඨාගාරයක් තිබිය යුතු බව පවතින චින්තනයයි. සහස්‍ර වර්ෂයක් පුරා යුරෝපය පාලනය කල රාජාන්ඩු ක්‍රමය, බ්‍රිතාන්‍යයේ “පාර්ලිමේන්තු-රාජ” ක්‍රමය හෝ ප්‍රංශයේ, ඔස්ට්‍රියාවේ, ස්පාඤ්ඤයේ සහ රුසියාවේ ඒකාධිපති රාජාන්ඩු වේවා, රජු තුල මෙම අවසාන පරමාධිපත්‍යය සොයා ගන්නා ලදී. එපමනක් නොව, ජනරජ න්‍යාය තුල පවා, ස්වෛරීත්වය නොබෙදිය හැකි බැවින්, ඕලන්ද සහ ඉතාලි නගර රාජ්‍ය මෙන් සමූහාන්ඩු කුඩා විය යුතු බව විශ්වාස කෙරිනි.

බ්‍රිතාන්‍ය ටෝරිවරු රැඳී සිටියේ ඇමරිකානු තර්කයේ මෙම දුර්වලතාවය මත ය. ඔවුන් උපහාසාත්මක ලෙස හිටපු යටත්විජිතවාදීන්ට අභියෝග කලහ: නව රාජ්‍ය දහතුනෙන් පරම බලය වන මහරජ පදිංචි වන්නේ කුමන ප්‍රාන්තයේ ද? ඒ එක් එක් ප්‍රාන්තය තුල පරමාධිපති වන්නේ කවුද? ඇමරිකානුවන්, බොහෝ අරගලවලින් පසු, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරම්භක වාක්‍ය ඛන්ඩයෙන් ඔවුන්ගේ පිලිතුර ලබා දුන්හ: “අප ය, ජනතාව ය…” “ජනතාව” පරම බලය වේ, ජනාධිපති නොවේ, උසාවිය නොවේ, තේරී පත් වූ නියෝජිතයන් නොවේ, ව්‍යවස්ථාව පවා නොවේ—ලින්කන් පසුව පෙන්වා දුන් පරිදි, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරුනේ ස්වාධීනතා ප්‍රකාශය’ මත පූර්ව පදනම් වූ “මහ ජනතාව” විසිනි.

එකල, මෙය විප්ලවීය ධර්මයක් විය.

ඇත්ත වශයෙන්ම, පලමු ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවවල දෘෂ්ටිවාදයේ දැවැන්ත වර්ධනය විසින්, එයට සහභාගිවන්නන්ට පවා අපැහැදිලි වන පරිදි, පන්ති-ගාමකයන් වසා දැමීය. 1787 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී ඔවුන් “ජනතාව” වෙනුවෙන් කතා කල බව දේපල හිමි පන්ති පරිකල්පනය කලහ.

1789 දී ප්‍රංශය තුල ඇමරිකානු විප්ලවයේ නායකයන්ට අනුරූපී විප්ලවවාදී නායකයෝ “ජාතිය” වෙනුවෙන් කතා කලහ. සෑම තැනකම ධනේශ්වර ජනරජ දෘෂ්ටිවාදය සමානාත්මතාවය, සහෝදරත්වය සහ මිනිසාගේ අයිතිවාසිකම් ප්‍රකාශ කෙරුනි. එහෙත් විප්ලවයන්, පැරනි දේ වෙනුවට, ස්ථිරසාර ලෙස ඊට, පන්ති ආධිපත්‍යයේ නව ආකාරයන් ආදේශ කලේය. මාක්ස් සහ එංගල්ස් විද්‍යාත්මක සමාජවාදය වර්ධනය කලේ, මෙම නව ධනේශ්වර පර්යායේ—ආර්ථික, ඓතිහාසික හා දේශපාලනික—වඩාත්ම ගවේෂනාත්මක විශ්ලේෂන සහ අතිශය විනිවිද යන විවේචන හරහා එහි සමානාත්මතාවයේ ප්‍රකාශ සහ දෙවන ඇමරිකානු විප්ලවයට, එනම් සිවිල් යුද්ධයට මග සැකසූ වහල්භාවය ඇතුලු කුරිරු සූරාකෑමේ සැබෑ පැවැත්ම අතර පුපුරන සුලු ප්‍රතිවිරෝධය හෙලිදරව් කරමිනි.

ඇමරිකානු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව, මුල් පිටපතේ ප්‍රති-නිර්මානයක්

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පන්ති ආධිපත්‍යය සඟවා තැබූ හෙයින්—එසේත් නැතිනම්, වඩාත් නිවැරදිව කිව හොත්, එය එසේ කල නිසා ම—එය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඵලදායී රාමුවක් බව ඔප්පු විය. ඇමරිකානුවන් 750,000 ක් පමන මිය ගිය සිවිල් යුද්ධයේ ගැඹුරේ දී පවා ලින්කන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සූක්ෂම ලෙස උත්සාහ කල බව කැපී පෙනෙන කරුනකි. නිදසුනක් වශයෙන්, 1863 ජනවාරි 1 වන දින ‘විමුක්ති ප්‍රකාශය’ නිකුත් කිරීම සඳහා යුද්ධයේ දී හමුදාවේ ප්‍රධානියා ලෙස විශේෂ බලතල ඉල්ලා සිටිමින්, ඉතිහාසයේ වාර්ගික න්‍යායන් ව්‍යාකූල කරන තීරනයක් විය හැකි, වහලුන් නිදහස් කිරීමට ඔහු හුදෙක් “අන” නොකලේ එබැවිනි.

ලින්කන්ගේ ඝාතනයෙන් අඩ සියවසක් ඇතුලත, ජනාධිපති කාර්යාලය එහි නූතන, අධිරාජ්‍ය ස්වරූපය අත්පත් කර ගැනීමට පටන් ගෙන තිබුනි. විලියම් මැකින්ලිගෙන් පසු බිහි වූ ජනාධිපතිවරු, ලොව පුරා සිටින ජනයා සඳහා “පාලිතයින්ගේ කැමැත්ත” ප්‍රතික්ෂේප කල ඇමරිකානු අධිරාජ්‍යයක් ව්‍යාප්ත කිරීම සැලසුම් කලහ. එක්සත් ජනපදය තුල, ඔවුන් වැඩ වර්ජන බිඳ දැමීමට හමුදාව යෙද වූ අතර රැඩිකල් විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා පොලිස් ඔත්තුකරුවන් යොදවා ගත්හ.

සමාජවාදීන් සහ සටන්කාමී කම්කරුවන් ලුහුබැඳීම එහි ආරම්භක අරමුන වූ, ජනාධිපති යටතේ පවතින එෆ්බීඅයි හි පූර්වගාමියා වූ දේශීය පොලිස් බලකායක් 1908 දී නිර්මානය කරන ලදී. 1947 දී ජනාධිපති හැරී ටෲමන් සීඅයිඒ ආරම්භ කර ලෝකය පුරා විප්ලවය කඩාකප්පල් කිරීමේ වගකීම එයට පැවරීය. 1960 ගනන් වන විට, ජනාධිපති ජොන්සන්ට, ඔහුගේ පූර්වගාමියා වූ ජනාධිපති කෙනඩි, ධවල මන්දිරයේ සිට, සීඅයිඒ සමග “ශාපලත් මිනීමරු සංස්ථාපිතයක්” පවත්වා ගෙන ගිය බව පැවසිය හැකි විය. පුලුල් මර්දනකාරී යාන්ත්‍රනයක් මත වාඩි වී ගෙන, දැන් ඇමරිකානු ජනාධිපතිවරයා 1961 දී ඔහුගේ සමුගැනීමේ දේශනයේදී, ජනාධිපති අයිසන්හවර්ට අනතුරු ඇඟවීමට පෙලඹුනේ,

දැවැන්ත මිලිටරි සංස්ථාපිතයක් සහ විශාල ආයුධ කර්මාන්තයක් සංයෝජනය වීම ඇමරිකානු අත්දැකීමට අලුත් බැවිනි. සමස්ත බලපෑම—ආර්ථික, දේශපාලන, ඇතැම් විට අධ්‍යාත්මික පවා—සෑම නගරයකටම, සෑම රාජ්‍ය මන්ත්‍රී මන්ඩලයකටම, ෆෙඩරල් ආන්ඩුවේ සෑම කාර්යාලයකටම දැනේ. මෙම සංවර්ධනය සඳහා ප්‍රගම්‍ය අවශ්‍යතාවය අපි හඳුනා ගනිමු. එහෙත් එහි ප්‍රගාඪ ඇඟවුම් තේරුම් ගැනීමට අප අසමත් නොවිය යුතුය.

1970 ගනන්වල ආරම්භ වූ සහ අපව වර්තමානයට ගෙන ආ ඇමරිකානු ධනවාදයේ අඩ-සියවස් පරිහානිය තුල ආධිපත්‍යය දරනු ලැබුවේ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් සමග වඩ වඩාත් නොගැලපෙන සමාජ අසමානතාවයේ උග්‍ර වර්ධනය යි. මේ කාලයේ දී ජනාධිපති ධූරයට, එකිනෙකින් වෙන් කල නොහැකි ලෙස ඒකාබද්ධ වූ භූමිකාවන් දෙකක් ඉටු කිරීමට සිදුවිය. පලමුව, ගෝලීය අධිරාජ්‍යවාදී ප්‍රතිවිප්ලවයේ නියමු කුටිය ලෙස ය. දෙවනුව, ජනතාවගේ අයිතිවාසිකම්වලට එරෙහි කුමන්ත්‍රනවල අසුන ලෙස ය. මෙම කාලය තුල “අධිරාජ්‍ය ජනාධිපති ක්‍රමය” වඩාත් විවෘත ව සහ නිර්දය ලෙස ක්‍රියාත්මක වී ඇත.

කොන්ග්‍රස් නීතියට පටහැනි ව, ධවල මන්දිරයෙන් යවන ලද මධ්‍යම ඇමරිකානු ඝාතක කල්ලිවල රහස්‍ය අරමුදල් මෙහෙයුමක් සම්බන්ධයෙන් වූ ඉරාන-කොන්ට්‍රා සෝලිය වෙනුවෙන් ජනාධිපති රේගන් කිසිදු දඬුවමකට මුහුන දුන්නේ නැත. ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ඊනියා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දියත් කිරීම සඳහා “ඒකීය විධායක න්‍යායක් (theory of the unitary executive)” ඉල්ලා සිටි අතර, ඔහුගේ පරිපාලනය ප්‍රකාශ කලේ, ඉරාකයේ අබු ග්‍රයිබ් සහ කියුබාවේ ගුවන්තනාමෝ බේ ඇතුලු ජාත්‍යන්තර වධ බන්ධන සිරගෙවල්වල සැකකරුවන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සංවිධානය කිරීමට එය අවසර දුන් බවයි. ජනාධිපති ඔබාමා 2010 දී, සතුරු සටන්කාමීන් ලෙස ප්‍රකාශ කරන පුරවැසියන් ඝාතනය කිරීම සඳහා ප්‍රධාන විධායකයාගේ වරප්‍රසාදය ප්‍රකාශ කලේ ය (ට්‍රම්ප් නඩු තීන්දුව තුල තමන් එකඟ වූ මතය තුල ඇමි කොනි බැරට් විසින් වාසිදායක ලෙස උපුටා දක්වන ලද නඩු පූර්වාදර්ශයකි). ජනාධිපති ට්‍රම්ප්, 2020 දී, ඔරිගන් හි පෝට්ලන්ඩ් හි ඇමරිකානු විරෝධතාකරුවෙකු වන මයිකල් රෙයිනොහ්ල් ඝාතනය කිරීමට නියෝග කිරීම ගැන විවෘතව ම පුරසාරම් දෙඩුවේය.

2002 දී කියුබාවේ ගුවන්තනාමෝ බේ හි “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” සිරකරුවන්. බුෂ් පරිපාලනයට අනුව, සිරකරුවන් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ ජිනීවා සම්මුතියට යටත් නොවීය.

ජනාධිපති ධූරයේ බලය ඉහල දැමීමට අධිකරනය නැවත නැවතත් එකඟ වී ඇත. එහෙත් සඳුදා තීන්දුවට පෙර කිසි දිනෙක ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තහවුරු කිරීමේ වගකීම පැවරී තිබෙනවා යැයි කියන උත්තරීතර ආයතනය එයට මෙතරම් නිර්ලජ්ජී ප්‍රහාරයක් එල්ල කර නොතිබුනි.

ආපසු හැරීමක් නොමැති තැනකට පැමින ඇත. ප්‍රකෝටිපතියන් 1,000 ක කතිපයාධිකාරයක් සමාජයේ ධනයෙන් විශාල කොටසක් පාලනය කරන කොන්දේසි යටතේ, ශ්‍රේෂ්ඨාධිකරනය දැන් නියම කරන්නේ, ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ආඥාදායකත්වයක් අවශ්‍ය බව ය: ඒ යුද්ධය සහ සමාජ ප්‍රතිවිප්ලවය සඳහා ය.

ඇමරිකානු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකයේ පැරනිතම ලිඛිත ව්‍යවස්ථාවයි; ඇමරිකානු ජනරජය ලෝකයේ අඛන්ඩව පවතින පැරනිතම ජනරජයයි. ඇමරිකානු පාලක පන්තිය වසර 250 කට ආසන්න කාලයක් තමන් විසින් පාලනය කරන ලද මන්දිරය විනාශය කරා රැගෙන යාම, විප්ලවවාදී ඇඟවුම්වල දැවැන්ත වර්ධනයකි.

එහෙත්, පන්ති පාලනය සඳහා මූලික වන එක්සත් ජනපදයේ ආරම්භක ලියකියවිලි—අද දින සමරනු ලබන ස්වාධීනතා ප්‍රකාශය මෙන්ම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අයිතිවාසිකම් පනත් කෙටුම්පත—ඇමරිකානු කම්කරු පන්තියේ ගැඹුරට කාවැදුනු ප්‍රජාතන්ත්‍රවාදී මනසකට ද දායක වී ඇති ආකාරය, තව දුරටත් වඩා වැදගත් බව ඔප්පු වනු ඇත. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය සමග අවියෝජනීය ලෙස බැඳී ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම, දැන් කම්කරු පන්තියේ උර මතට වැටේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අවශ්‍යතාවය සහ උපක්‍රම යන දෙකම ඇත්තේ කම්කරු පන්තියට පමනි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්මන්ඩ් බර්ක් 1775 දී ඇමරිකානුවන් ගැන පැවසුවේ ඔවුන්ට “සෑම දූෂිත සුලඟකදීම කුරිරු පාලනයේ ප්‍රවේශය දැනෙන” බවයි. අද, කුරිරු පාලනය පැමිනෙන්නේ සුලඟක් ලෙස නොව, තද කුනාටු ලෙස ය. වසර 250 කට පසු ඇමරිකානු කම්කරුවන් ඔවුන්ගේ විප්ලවවාදී සම්ප්‍රදායන් යලි සොයා ගත යුතුය.

එක්සත් ජනපදයේ ජනරජ ක්‍රමය, යුරෝපය තුල නූතන ලෝකයේ නැඟීමත් සමඟ ඇති වූ, සියවස් ගනනාවක රාජවංශික සිවිල් යුද්ධවලට සහ ආගමික ගැටුම්වලට ප්‍රගතිශීලී සහ විප්ලවවාදී ප්‍රතිචාරය විය. මධ්‍යතන යුගයේ ලෝකයේ සමාජ ආකෘතීන් දියකර, “වාෂ්ප කර” දැමූ ධනවාදයේ නැගීම සමඟ ඇති වූ අසාමාන්‍ය සමාජ හා තාක්ෂනික වර්ධනයන් විසින් එය කල හැකි විය.

අද ලෝකය, ඉතිහාසයේ ආරම්භයේ සිට මානව වර්ගයා පීඩාවට පත් කර ඇති සියලු ගැටලු: සමාජ අසමානතාවය, පන්ති පීඩනය, යුද්ධය, දරිද්‍රතාවය, රෝග සහ අනෙකුත් සියලුම ආකාරයේ සමාජ ම්ලේච්ඡත්වය තුරන් කිරීම සඳහා කොන්දේසි නිර්මානය කරන සමස්ත මානව ඉතිහාසයේ වේගවත්ම හා පුපුරන සුලු තාක්ෂනික වෙනසක් දකී. ධනවාදය මෙම ප්‍රගතිශීලී සහ විප්ලවවාදී සමාජ ප්‍රවනතාවන්ට ප්‍රතිචාර දක්වන්නේ යුගවල “ජීර්නය නොවූ ම්ලේච්ඡත්වය වමනය කිරීම” මගිනි: යුද්ධය, ඒකාධිපතිත්වය සහ සමූහ මරනය එහි ඉහලම මූලධර්ම ලෙස එය ප්‍රකාශ කරයි.

සමාජයේ ව්‍යුහයේ මූලික වශයෙන් ප්‍රගතිශීලී හා විප්ලවවාදී වෙනස්කම්, ධනේශ්වර ම්ලේච්ඡත්වයේ විලංගුවලින් මුදා ගැනීම කම්කරු පන්තියේ කර්තව්‍යය වේ. කම්කරුවන් ඇමරිකානු විප්ලවයේ සැබෑ උරුමක්කාරයන් බවත්, ඔවුන්ගේ කර්තව්‍යය සමාජවාදී විප්ලවය හරහා “සියලු මිනිසුන් සමාන වේ” යන ප්‍රකාශය යලි තහවුරු කිරීම බවත්, වෙන කවරදාටත් වඩා මේ ජූලි හතර වැනි දා පැහැදිලි වේ.

Loading