ජනාධිපති වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම යුක්තියුක්ත කරයි

2023 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ලංකාවේ පලාත් පාලන මැතිවරනය කල් දැමීම මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව අගෝස්තු 22 දා මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව දෙමින් අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

රනිල් වික්‍රමසිංහ [මූලාශ්‍රය: එක්සත් ජාතික පක්ෂය ෆේස්බුක්] [Photo: United National Party Facebook]

එම මැතිවරනය කල් දැමීමට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත්කර තිබුනේ, විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ), විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නිදහස් සහ සාධාරන මැතිවරන පිලිබඳ මහජන ව්‍යාපාරය නම්වූ මැතිවරන නිරීක්ෂන කන්ඩායම විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව මෙසේ සඳහන් කලේය: “මුදල් ඇමතිවරයා ද වන අතිගරු ජනාධිපතිවරයාගේ ප්‍රශ්නකාරී ක්‍රියා සහ පැහැර හැරීම මූලික අයිතිවාසිකම් කඩකිරීමට හේතු විය. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ මැතිවරන කොමිසමේ සභාපතිවරයා ද වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කලේය. පලාත් පාලන මැතිවරනය කඩිනමින් පවත්වන ලෙස අධිකරනය නියෝග කලේය. එක් එක් නඩුවේ වියදම් ලෙස රුපියල් 150,000 ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරනය රජයට නියම කලේය.

තීන්දුව දුන් දිනයේම, ජනාධිපතිට සහයෝගය දෙන දේශපාලන සංවිධානයක් වන නව ජනතා පෙරමුනේ ජාතික සමුලුවක් අමතමින් ජනාධිපති වික්‍රමසිංහ කියා සිටියේ “ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් එය පවත්වාගෙන යාමේ අයිතියත් තහවුරු කිරීමට” තමන් කැප වී සිටින බැවින් පලාත් පාලන මැතිවරනය නොපැවැත්වීමට ගත් තීරනය පිලිබඳව පසුතැවිලි නොවන බවයි. පලාත් පාලන මැතිවරනය පැවැත්වුයේ නම් “ආර්ථික ස්ථාවරත්වය ලඟා කර ගැනීමට නොහැකි වනු ඇති” බව ද ඔහු පැවසීය.

“[මම] මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඕනෑම තීරනයක් ගන්නවා” යයි අධිකරනයට අභියෝග කරන්නාක් මෙන් ජනාධිපති කල ප්‍රකාශයක් ද ලංකාදීප පුවත්පත වාර්තා කලේය.

ඔහුගේ ප්‍රකාශයන්හිදී වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව ගැන සෘජුව සඳහන් කලේ නැත. කෙසේ වෙතත්, එම තීන්දුව ප්‍රතික්ෂේප කරන බව ඔහු ඇඟවූයේය.

වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කලේ සිය ජනාධිපතිවරන ප්‍රචාරන ව්‍යාපාරයට සහය පල කරමින් පැවැති සමුලුවක් අමතමිනි. වික්‍රමසිංහ “ස්වාධීන අපේක්ෂකයෙකු” ලෙස මැතිවරනයට ඉදිරිපත්ව සිටින්නේ ලංකාවේ පැරනිතම ධනපති පක්ෂය වන ඔහුගේ එක්සත් ජාතික පක්ෂය එහි රුදුරු කම්කරු පන්ති විරෝධී ප්‍රතිපත්ති නිසා මුලුමනින්ම අපකීර්තියට පත්ව ඇති බැවිනි.

අගෝස්තු 24දා නැඟෙනහිර පලාතේ මඩකලපුව නගරයේ පැවති මැතිවරන රැලියකදී ඔහු මෙසේ අවධාරනය කලේය: “ජීවත් වීමේ අයිතිය ලබා දෙමින් මහජනයාගේ දුක් වේදනාවලට සහනය දීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නෙවෙයි.”

“ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම” සඳහා පලාත් පාලන මැතිවරනය කල් දැමූ බවට වික්‍රමසිංහ කරන කියාපෑම පට්ටපල් බොරුවකි. දරිද්‍රතාවය ගැඹුරු කරමින් හා 2022-2023 කාලය තුල සියලුම කම්කරුවන්ගේ වැටුප්වල මූර්ත වටිනාකම සියයට 40කින් පමන ඛාදනය වීමට තුඩුදෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග පසුගිය වසර දෙක තුල ඔහු ක්‍රියාවට නැගුවේය. සියයට 42 ක් පමන ජනතාව දිනපතා ආහාර වේල සරිකර ගැනීමට අරගල කරති. මහජන සෞඛ්‍ය සේවය බිඳ වැටීමේ අද්දරට වැටී ඇත.

ඔහු නරුම ලෙස “මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම” සිදුකර ඇත්තේ එසේය!

පලාත් පාලන මැතිවරනය කල් දැමීමට ගත් තීරනය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කෙරුනු සෘජු ප්‍රහාරයකි. මැතිවරනය පැවැත්වීමට නියමිතව තිබුනේ 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීමෙන් යම්තම් මාස නවයකට පසුව ය. මහජන නැගිටීමට මුහුන දීමට නොහැකිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට සිදු විය.

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ සමග එකට සිටි වෘත්තීය සමිති නිලධරයේත් ව්‍යාජ වාම කන්ඩායම්වලත් පාවාදීම හේතුවෙන් මහජන නැගිටීම අසාර්ථක විය. විධායක ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව විසින් ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස පත් කර ගනු ලැබූ වික්‍රමසිංහ, ධනේශ්වර පාලනය ස්ථාවර කිරීමට සහ ජාමූඅලේ කප්පාදු පිලිවෙත ක්‍රියාවට නැංවීමට එරෙහිව පැන නැගුනු විරුද්ධත්වයන මර්දනය කිරීමට පොලිසිය හා මිලිටරිය යෙදවූයේය.

මෙම ආඥාදායක ක්‍රියාවල කොටසක් ලෙස, පලාත් පාලන මැතිවරනය නොපැවැත්වීමට ඔහු තීරනය කලේ තම ආන්ඩුවට විනාශකාරී පරාජයක් අත්වනු ඇතැයි යන බිය නිසාය. මක්නිසාද යත්, ධනේශ්වර පාලනයේ අස්ථාවරත්වය ගැඹුරු කරමින්, ජාමූඅ වැඩපිලිවෙල අනතුරේ හෙලනු ඇතැයිද වික්‍රමසිංහ භීතියට පත්ව සිටියේය.

පලාත් පාලන ආයතන 340ක් සඳහා 2023 මාර්තු 9 දා මැතිවරනය පවත්වන බව මැතිවරන කොමිසම නිල වශයෙන් නිවේදනය කලද, මුදල් ඇමැති ලෙස ජනාධිපති වික්‍රමසිංහ, ඒ සඳහා අරමුදල් සැපයීම අවහිර කලේය. ඔහු එලෙස ක්‍රියා කලේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කන්ඩායම් අපේක්ෂකයින් දහස් ගනනක් වෙනුවෙන් නාමයෝජනා භාර දී තිබූ තත්වයක ය.

තම කැබිනට් මන්ඩලයේ අනුමැතිය ඇතිව වික්‍රමසිංහ භාන්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට උපදෙස් දුන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමනක් මුදල් වෙන් කරන ලෙසයි. පලාත් පාලන මැතිවරනය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නොගැනිනි. එම අරමුදල් අවහිර කිරීමත් සමඟ මැතිවරනය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරගෙන යාමට මැතිවරන කොමිසමට නොහැකි විය.

මැතිවරනය සඳහා වෙන් කල මුදල් ලබා දෙන ලෙස 2023 මාර්තු 03 දා ශ්‍රේෂ්ඨාධිකරනය විසින් අතුරු නියෝගයක් නිකුත් කලද, කැබිනට් මන්ඩලයේ උපදෙස් පරිදි භාන්ඩාගාර ලේකම් මුදල් ලබා දුන්නේ නැත.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, මහ නගර සභා 29ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක ලෙස රටේ පවතින පලාත් පාලන ආයතන 340ක නීතිමය අධිකාරිය මධ්‍යම රජය විසින් සෘජුවම පාලනය කරනු ලබන විශේෂ කොමසාරිස්වරුන්ගේ අධීක්ෂනය යටතට පත්විය.

මෙම දැනුවත් ක්‍රියාවලින් පෙන්නුම් කලේ ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දැමීමට සහ ආඥාදායක පාලනයකට ගමන් කිරීම සඳහා ඕනෑම දුරක් යාමට වික්‍රමසිංහ පාලනය සූදානම් ව සිටි බවයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ප්‍රකාශයක් නිකුත් කරමින් ආන්ඩුවේ ක්‍රියාමාර්ග හෙලා දුටුවේය. ඔහුගේ ප්‍රමුඛතාවය “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම” සහ රට තුල “අරාජිකත්වයට” ඉඩ නොදීමය යන ප්‍රකාශය හෙලා දකිමින් අපි මෙසේ කීවෙමු.

“පනිවිඩය ඉතා පැහැදිලිය: වික්‍රමසිංහ පාලනය යටතේ 'ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදයක්' නොතිබෙනු ඇත. ඔහු දැන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොතකා ක්‍රියා කරන බැවින්, ලබන වසරේ මැතිවරනයකට ඉඩ දෙන බවට ඔහු කරන ප්‍රකාශ ද වංචාවකි. ඔහුට අවශ්‍ය යැයි හැඟේ නම් අනාගතයේදී ද නැවත මැතිවරනයකට ඉඩ නොදෙනු ඇත.”

සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා තමන්ගේ කාර්මික හා දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීම සඳහා සෑම වැඩපලකම ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

පලාත් පාලන මැතිවරනය යටපත් කිරීමෙන් පසු, ආන්ඩුව මාර්ගගත ක්‍රම සුරක්ෂිතතා පනත සහ ත්‍රස්ත විරෝධී පනත වැනි රුදුරු නීති පාර්ලිමේන්තුව තුලින් සම්මත කර ගත්තේය. මෙම පනත් දෙක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ලද මූලික ප්‍රහාරයන් දෙකකි.

වික්‍රමසිංහ ජනාධිපති අධිකරනය යටපත් කිරීමට උත්සාහ කල පලමු අවස්ථාව මෙය නොවේ. ජූනි 18 දා, ශ්‍රේෂ්ඨාධිකරනය ආන්ඩුවේ සමාජභාවීය සමානාත්මතාව පිලිබඳ පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කලේය.

වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කතා කරමින් ශ්‍රේෂ්ඨාධිකරනය “අධිකරනමය මිනිස් මාංශභක්ෂනයේ යෙදෙන (judicial cannibalism) බවට”චෝදනා කලේය. අධිකරන තීන්දුව අනුගමනය නොකරන ලෙස ඔහු පාර්ලිමේන්තුවට උපදෙස් දුන් අතර එම තීන්දුවෙන් “පාර්ලිමේන්තුවේ බලය උල්ලංඝනය කර ඇති බව” කිවේය.

ජුලි 24 වැනිදා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ එම තනතුරේ කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරනය අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය. මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුනේ, සිරකරුවෙකුගේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තෙන්නකෝන් මීට පෙර වරදකරුවෙකු කෙරී ඇති බැවින් එම තනතුර සඳහා ඔහු නුසුදුස්සෙකු ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටින නඩුවක් විභාග කරන අතරතුර ය.

මෙම නඩුවේ විභාගය අවසන් වනතුරු පොලිස්පති ලෙස කටයුතු කිරීම සඳහා සුදුසු අයෙකු පත් කරන ලෙස ද අධිකරනය ජනාධිපතිට නියම කලේය. වික්‍රමසිංහ මෙම ඉල්ලීම සම්පූර්නයෙන්ම නොසලකා හැරීම නිසා දැනට පොලිස්පති කෙනෙක් නැත.

සසප කම්කරුවන්ට අනතුරු අඟවන්නේ අධිකරනය යටපත් කිරීමට ජනාධිපති විසින් යලි යලිත් ගන්නා පියවර ඒකාධිපති මාවතේ යන ගමනේ එක් පියවරක් බවයි. එය වික්‍රමසිංහගෙන් තියුනු ලෙස ප්‍රකාශ වී ඇතත්, ඉදිරි ජනාධිපතිවරනයේ දී කුමන ධනේශ්වර අපේක්ෂකයා බලයට පැමිනියත්, වැඩි කල් නොගොස් එම මාර්ගයේම යනු ඇත.

අනෙකුත් ප්‍රධාන ධනේශ්වර අපේක්ෂකයන් වන ජාජබ යේ සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජාමූඅලේ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීමට ඔවුන්ගේ ඇති සූදානම පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. මෙම මෘග ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩලිය යුතුය.

ඔවුන් දෙදෙනාටම වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති සමග අති මූලික වෙනස්කම් නැත. වික්‍රමසිංහ මෙන්ම ඔවුන් ද තම පාලනයක් යටතේ කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩලනු ඇත. විධායක ජනාධිපති බලතල රුදුරු ලෙස යොදා ගැනීමට සහාය දීමේ ඉතිහාසයකට මේ දෙදෙනාම උරුමකම් කියති .

ශ්‍රේෂ්ඨාධිකරනයේ තී න්දුවෙන් පසු ප්‍රේමදාස ප්‍රකාශ කලේ “රටේ නීතිය නොතකන අයට රට ගොඩනැගිය නොහැකි බවයි. එම තීන්දුව තමන් ප්‍රජාතන්ත්‍රවාදියෙකු හා නීති ගරුකයෙකු ලෙස මවා පා චන්ද ගරාගනීම සඳහා යොදා ගැනීමට ප්‍රේමදාස උත්සුක වී ඇත.

තමන් “නීතිය අකුරටම ක්‍රියාවට දමන බව” ජවිපෙ නායක දිසානායක කියා සිටියේය. ධනපති ක්‍රමයේ රැකවලුන් වන මේ පක්ෂ වල පාලනය යටතේ ද හැමවිටම මෙන් දුප්පතුන් වෙනුවෙන් නීතිය තදින්ම ක්‍රියාත්මකවන අතර ධනපතියන්ට වෙනම නීතියක් පවතිනු ඇත.

විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති නිලධරයන් සහ ව්‍යාජ වාම කන්ඩායම් විසින් ශ්‍රේෂ්ඨාධිකරනයේ මෙවැනි විනිශ්චයන්ට හුරේ දමන්නේ, අධිකරනය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ මුර පවුරක් ලෙස ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරමිනි.

කෙසේ වෙතත්, එම අධිකරනය ම සැමවිටම වැඩ වර්ජන සහ විරෝධතා තහනම් කරමින් නියෝග නිකුත් කරන අතරම ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් ඉදිරිපත්වූ විට ව්‍යවස්ථාව ඉක්මවා යමින් ඒවා සම්මත කරගැනීමට ඉඩ සැලසීමට සංශෝධන යෝජනා කරයි.

ධනේශ්වර සන්ස්තාපිතය තුල ප්‍රජා තන්ත්‍රවාදී අයිතීන් රැක ගැනීමට සහයෝගය දෙන කිසිදු කන්ඩායමක් නැත. ගැඹුරු වන අර්බුදය සහ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එල්ලවන ප්‍රහාරවලට විරුද්ධව කම්කරුවන්ගේ අරගල වර්ධනය වීමට භීතියෙන් ජාත්‍යන්තරව ම පාලක පන්ති ඒකාධිපති හා ෆැසිස්ට් පන්නයේ පාලන ක්‍රමවෙත හැරෙමින් සිටිති.

ධනවාදයේ කේන්ද්‍රීය රට වන එක්සත් ජනපදයේ, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ රිපබ්ලිකන් පක්ෂය සංක්‍රමනිකයන්ට, මාක්ස්වාදයට හා සමාජවාදයට පහර දෙමින් ෆැසිස්ට්වාදී පරිවර්තනයක් ගෙන ඇත. ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඒකාධිපති බලතල අතට ගනිමින් සිටියි. ඉන්දියාවේ හින්දු ස්වෝත්තමවාදී අගමැති නරේන්ද්‍ර මෝදි තමන් අතට අධිපති බලතල සංකේන්ද්‍රනය කරගනිමින් සිටියි.

ලංකාව තුල, ආරම්භයේ පටන්ම විධායක ජනාධිපති ක්‍රමය ඒකාධිපති බලතල සතුකර ගෙන තිබෙන අතර සිය ක්‍රියාවන් සඳහා මුක්තිය ලබාදී තිබෙන හෙයින් ජනාධිපතිට එරෙහිව නඩු පවරා දඬුවම් පැමිනවිය නොහැක.

සමාජවාදී සමානතා පක්ෂය (සසප), මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී විධායක ජානාධිපති ක්‍රමය හා සියලු මර්දන අහෝසි කිරීමට සටන් කරයි.

ජනාධිපතිවරනය තුල සසප අපේක්ෂකයා ලෙස පානි විජේ සිරිවර්ධන ඉදිරිපත් කර ඇත. පක්ෂය ගෙනයන අරගලය තුල අප අවධාරනය කරන්නේ, කම්කරු පන්තියට ධනවාදය තුල තම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රැකගත නොහැකි බවයි. එම අයිතීන් රැකගැනීමේ අරගලය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදය සඳහා අරගලය සමග එකට බැඳී තිබේ.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ ක්‍රියාකාරිකමිටු ගොඩනගා ඒවායේ නියෝජිතයන්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවන ලෙස ඉල්ලා සිටින සසප ඒ සඳහා අරගලය කරයි. එවන් සම්මේලනයක් ගොඩනැගීම කම්කරුවන්ගේ හා දුගින්ගේ අයිතීන් රැකගැනීමේ අරගලය පිලිබඳව සාකච්ඡාකිරීමට, තීන්දු ගැනීමට හා සටනට එලඹීමට ඉඩ සලසා දෙනු ඇත.

Loading