[මෙය Sri Lankan government rejects UNHRC resolution for inquiry into war crimes යන මැයෙන් 2024 ඔක්තෝබර් 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ඔක්තෝබර් 9 වන දින, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (යූඑන්එච්ආර්සී) ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාවක් සම්මත කරන ලද අතර, ශ්‍රී ලංකාවේ “මානව හිමිකම් උත්සුකයන්” පිලිබඳ ජාත්‍යන්තර විමර්ශනය අධීක්ෂනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (ඕඑච්සීඑච්ආර්) විධිනියෝගය වසරකින් දීර්ඝ කලේය.
“ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය” යන මාතෘකාවෙන් යුත් විස්තීර්න වාර්තාවක් උපයෝගී කර ගනිමින්, 2022 ඔක්තෝබර් මාසයේදී මෙම යෝජනාව ප්‍රථම වරට සම්මත කරන ලදී. අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර දිසානායකගේ ආන්ඩුව විසින් එය ප්‍රතික්ෂේප කිරීම, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධයේ දී ශ්‍රී ලංකා මිලිටරිය විසින් සිදු කරන ලද යුද අපරාධ ප්‍රතික්ෂේප කිරීමේ අනුප්‍රාප්තික කොලඹ පාලන තන්ත්‍රවල පිලිවෙත අඛන්ඩව ඉදිරියට ගෙන යාම සනිටුහන් කරයි.
2009 මැයි මාසයේදී අවසන් වූ යුද්ධයේ අවසන් මාසවලදී, රෝහල් සහ ඊනියා ආරක්ෂිත කලාප ද ඇතුලුව, මිලිටරිය විසින් හෙලන ලද අසීමිත බෝම්බවලින් අවම වශයෙන් දෙමල සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. හමුදාවට යටත් වූ තවත් දහස් ගනනක් හුදෙක් “අතුරුදහන්” විය. සුදු කොඩි රැගත් එල්ටීටීඊ නායකයන් ගනනාවක් අමු අමුවේ මරා දමන ලදී.
යුද්ධය අතරතුර සහ එය අවසන් වී වසර 15 කට පසුවත් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කිරීම ඇතුලු අනෙකුත් මානව හිමිකම් කඩකිරීම්, හමුදාව සහ පොලිසිය අඛන්ඩව සිදු කරති. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් සකස් කරන ලද නවතම තත්ව වාර්තාවට, අත්අඩංගුවේ සිටියදී සිදුවූ මරන, දූෂන සහ ආරක්ෂක අංශවලට දන්ඩමුක්තිය ඇතුලත් වේ.
දිසානායකගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) 2011 සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සියලුම යෝජනාවලට විරුද්ධ වූයේ, ශ්‍රී ලංකා හමුදා කිසිදු යුද අපරාධයක් හෝ මානව හිමිකම් කඩකිරීමක් නොකල බවට වූ බොරුව මත පදනම්ව සහ එල්ටීටීඊය රට බෙදීමට කටයුතු කරන “ත්රස්තවාදීන්” ලෙස හංවඩු ගසමිනි. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් “විමර්ශනය” සඳහා කමිටු පත් කිරීම සම්බන්ධයෙන් ජවිපෙ පසුගිය ආන්ඩු විවේචනය කර ඇත.
ඕනෑම යුද අපරාධ විමර්ශනයකට ජවිපෙ විරුද්ධත්වය ගලා එන්නේ එය පදනම් වූ සිංහල ස්වෝත්තමවාදී දේශපාලනයෙනි. එම පක්ෂය 1983 දී දෙමල විරෝධී යුද්ධය පුපුරා ගිය දා සිට එහි දැඩි ආධාරකරුවෙකු වූ අතර එල්ටීටීඊය පරාජය කිරීමට තරම් ආක්රමනශීලී නොවීම සම්බන්ධයෙන් ආන්ඩු විවේචනය කලේය.
එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ත්‍රිපුද්ගල අමාත්‍ය මන්ඩලය විසින් යෝජනාවක් සම්මත කර ඇති බව, විදේශ අමාත්‍ය විජිත හේරත් මාධ්‍ය වෙත කියා සිටියේ ය. “අපගේ [ජනාධිපතිවරන] ප්‍රතිපත්ති ප්රකාශනයේ ඉතා ප්රගතිශීලී මානව හිමිකම් සුරැකීමේ යාන්ත්රනයන් අඩංගු වේ. කෙසේ වෙතත්, එම කාර්යය ඉටු කිරීමට අපට තවත් කාලයක් අවශ්‍යයි,” ඔහු පැවසීය.
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත හිමාලි අරුනතිලක ප්‍රකාශ කලේ, “බාහිර සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්රනයක්” පිහිටුවීමේ යෝජනාව, “කවුන්සිලයේ විධිනියෝගවල පෙර නොවූ විරූ සහ හදිසි ප්රසාරනයක්” වන අතර එය එහි ආරම්භක මූලධර්මවලට පටහැනි බවයි.
නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසු ජවිපෙ සහ එහි මැතිවරන පෙරමුන වන ජාතික ජන බලවේගය (ජාජබ) විසින් පිහිටුවනු ලබන නව ආන්ඩුව වඩාත් ප්රජාතන්ත්රවාදී හා මානුෂීය වන බවට ව්‍යාජ ලෙස පෙන්වීමට අරුනතිලක උත්සාහ කලා ය. ජනාධිපති දිසානායක, “පැහැදිලිව හඳුනාගත් වගවීමේ සිද්ධීන් ගනනාවක් සම්බන්ධයෙන් පරීක්ෂන වඩාත් පුලුල් කිරීමට” දැනටමත් අවධානය යොමු කර ඇති බව ඇය පැවසුවාය.
දිසානායක නියෝග කරන ලද එවැනි එක් පරීක්ෂනයක් නම්, 2019 පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන ලද නව පරීක්ෂනයකි; එය පැහැදිලිවම, එල්ටීටීඊයට එරෙහි 26 වසරක යුද්ධයේදී හමුදාව විසින් සිදු කරන ලද යුද අපරාධ සමඟ කිසිදු සම්බන්ධයක් නැත.
ජනාධිපතිවරනය ආසන්නයේ දී දිසානායක යුද අපරාධ විමර්ශන සහ ඒවාට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගැනීම ප්‍රතික්ෂේප කලේය. අගෝස්තු 27 දා ඇසෝසියේටඩ් ප්‍රෙස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජවිපෙ නායකයා පැවසුවේ, “අයිතිවාසිකම් කඩ කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ කිසිවකුට දඬුවම් කිරීමට තමන් උත්සාහ නොකරනු ඇති...” බව යි.
“වගවීම පිලිබඳ ප්රශ්නයේදී, එය පලිගැනීමේ ආකාරයෙන් නොවිය යුතුය, යමෙකුට චෝදනා කරන ආකාරයෙන් නොව, සත්‍යය සොයා ගැනීම සඳහා පමනි... වින්දිතයෝ පවා කිසිවකුට දඬුවම් කරනු ඇතැයි අපේක්ෂා නොකරති. ඔවුන්ට අවශ්‍ය වූයේ සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට පමනි.”
ඇත්ත වශයෙන්ම, පසුගිය වසර 15 පුරා, “අතුරුදහන් වූවන්ගේ” ඥාතීන් ඉල්ලා සිටියේ, ඔවුන්ගේ ආදරනීයයන්ට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට සහ වගකිවයුත්තන්ට චෝදනා කර නඩු පැවරීමට ය.
සමස්තයක් ලෙස කොලඹ දේශපාලන සංස්ථාපිතය මෙන්ම ජවිපෙ/එජාජබ ද ආරක්ෂක හමුදා සමග සමීප සබඳතා පවත්වයි. ජාජබ හි කොටසක් ලෙස, එය, යුද අපරාධ සහ අනෙකුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් ඇතුලත් වන බවට සැකයක් නැති (නිසැක) විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන් කන්ඩායමක්—විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයක්—පිහිටුවා ඇත.
එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නවතම යෝජනාවට පිටුබලය දෙන රටවල් අතර සිටි අතර පූර්ව ඒවාට ද සහය දක්වා ඇත. වොෂින්ටනය, චීනයට එරෙහි සිය යුද සූදානම පිටුපස පෙල ගැසෙන ලෙස අනුප්‍රාප්තික කොලඹ තන්ත්රයන්ට බලපෑම් කිරීම පිනිස, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් පිලිබඳ ප්රශ්නය නරුම ලෙස ගසාකෑවේ ය.
එක්සත් ජනපදය ප්රතිගාමී දෙමල විරෝධී වාර්ගික යුද්ධයට පිටුබලය දුන් අතර ශ්‍රී ලංකා මිලිටරිය විසින් සිදු කරනු ලබන කුරිරුකම් දෙස ඇස් වසාගෙන සිටියේ ය. වොෂින්ටනය යුද අපරාධ ගැන ප්‍රශ්න මතු කිරීමටත්, ජාත්‍යන්තර පරීක්ෂනවලට සහාය දීමටත් පටන් ගත්තේ එල්ටීටීඊයේ පරාජයෙන් පසුව ය. එය එසේ කලේ, බීජිනයෙන් ඈත්වන ලෙසට, ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය යථා තත්වයට පත් කිරීමට ආන්ඩුවලට බලපෑම් කිරීමේ මාධ්‍යයක් වශයෙනි.
“මානව හිමිකම්” ආරක්ෂා කිරීම පිලිබඳ එක්සත් ජනපදය පෙනී සිටීම තනිකරම කුහකකමකි. අවම වශයෙන් පලස්තීනුවන් 40,000 ක් සහ ලැන්සෙට් පුවත්පතේ ප්‍රකාශයට පත් කරන ලද ඇස්තමේන්තුවකට අනුව 186,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් මෙහෙයවන ජන සංහාරයේ ප්‍රධාන ආධාරකරු සහ අරමුදල් සපයන්නා වන්නේ වොෂින්ටනයයි.
කොලඹ ආන්ඩුවට අදාල වන පරිදි, එක්සත් ජනපද ආන්ඩුව, 2020 මුලදී හමුදා මාන්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ 2022 දී වධහිංසාවලට කුප්‍රකට හමුදාවේ රහසිගත “ට්‍රිපොලි ප්ලැටූන්” හි හිටපු ප්‍රධානී ප්‍රභාත් බුලත්වත්තට සීමිත සම්බාධක පනවා ඇත. 2021 දී වොෂින්ටනය විසින්, නාවික නිලධාරි චන්දන හෙට්ටිආරච්චි සහ හමුදා මාන්ඩලික සැරයන් සුනිල් රත්නායක, සංචාර තහනම් කිරීමේ නාමලේඛනයට ඇතුලත් කරන ලදී.
දිසානායක ජනාධිපතිවරයා දැනටමත් චීනයට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග පෙල ගැසීමට ඇති කැමැත්ත සංඥා කර ඇත. ජවිපෙ/ජාජබ පසුගිය දෙවසර පුරා කොලඹ එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් සමග පැවති රැස්වීම් මාලාවකදී තම සහතිකය ලබා දුනි.
සිය මැතිවරන ජයග්‍රහනය පිලිබඳව එක්සත් ජනපද ජනාධිපති බයිඩන්ට ප්‍රතිචාර දක්වමින් දිසානායක, “අපගේ දිගුකාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ සමීපව කටයුතු කිරීමට” තම ආන්ඩුව සූදානම් බව ප්‍රකාශ කලේය.
වොෂින්ටනයට පැහැදිලිවම අවශ්‍ය වනු ඇත්තේ නිකම්ම වචන පමනක් නොවේ; ඒ වෙනුවට, මානව හිමිකම් කඩකිරීම අවශ්‍ය වූ විට ජවිපෙ/ජාජබ ආන්ඩුවට එය සමග පෙලගැසීමට බලපෑම් කිරීමට යොදා ගත හැකි එක් ප්‍රායෝගික මාධ්‍යයකි. මෙම ප්රශ්නය දැනට මතුපිටට නොපෙනෙන මට්ටමක පවතින මුත්, එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට එය යූඑන්එච්ආර්සී යෝජනාව යටතේ ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා වන සම්පූර්න හෙලාදැකීමකට සහ බලකර සිටීමකට ඉක්මනින් ම හැරවිය හැක.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම්වලට ගොදුරු වූ අසංඛ්‍යාත වින්දිතයන්ගේ පවුල් සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිදු සාධාරනයක් ඉටු නොකරනු ඇත. එමෙන්ම, දෙමල ප්රභූව සඳහා වැඩි බලතල සහ වරප්‍රසාද සඳහා කොලඹට බලපෑම් කරන ලෙස “ජාත්‍යන්තර ප්‍රජාවට”—එනම්, අධිරාජ්‍යවාදී බලවතුන්ට—ආයාචනා කරන ශ්‍රී ලංකාවේ විවිධ දෙමල ධනේශ්වර පක්ෂ ද ඇත්ත වශයෙන්ම සාධාරනයක් ඉටු නොකරනු ඇත.
නොවැම්බර 14 මහ මැතිවරනයට පෙනී සිටින සමාජවාදී සමානතා පක්ෂය අවධාරනය කරන්නේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජවාදී පිලිවෙත් සඳහා අරගල කරන—සිංහල, දෙමල හා මුස්ලිම්—කම්කරුවන්ගේ ස්වාධීන, ඒකාබද්ධ ව්‍යාපාරයකට පමනක් ම, ප්රජාතන්ත්රවාදී අයිතීන් සහ යුද අපරාධවලට වගකිවයුත්තන් යුක්තිය ඉදිරියට ගෙන ඒම වැනි ප්‍රධාන ගැටලු රාශියක් විසඳිය හැකි බවයි.