වුල්ෆ්ගැන්ග් වෙබර් (1949-2024): විප්ලවවාදී බුද්ධිමතෙක් සහ ට්‍රොට්ස්කිවාදය සඳහා සටන්කරුවෙක්

[මෙය Wolfgang Weber (1949-2024): A revolutionary intellectual and fighter for Trotskyism යන මැයෙන් 2024 නොවැම්බර් 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජර්මානු ශාඛාවේ දිගුකාලීන නායකයෙකු වූ වුල්ෆ්ගැන්ග් වෙබර්, වසර පහක බරපතල රෝගාබාධයකින් පසු, නොවැම්බර් 16 දා අලුයම මිය යන විට ඔහුගේ වයස අවුරුදු 75 ක් විය.

වුල්ෆ්ගැන්ග් වෙබර් 2010 එස්ජීපී පක්ෂ සම්මේලනයේදී

ට්‍රොට්ස්කිවාදී පක්ෂය ගොඩනැගීමට සිය ජීවිතයේ වසර 50 කට වැඩි කාලයක් කැප කල වුල්ෆ්ගැන්ග්, කම්කරු පන්තියේ ස්වාධීනත්වය සඳහා දේශපාලනිකව හා න්‍යායිකව වෙහෙස නොබලා සටන් කලේය.

වුල්ෆ්ගැන්ග්ගේ ජීවිතය දේශපාලනික වශයෙන් අගය කිරීම, ඔහුගේ මුලු පරම්පරාවම මුහුන දුන් මූලික ඓතිහාසික ප්‍රශ්න සහ කර්තව්‍යයන් තක්සේරු කිරීමට මග පාදයි. මෙය, සියල්ලටමත් වඩා, විප්ලවවාදී මාක්ස්වාදයේ අඛන්ඩ පැවැත්ම සඳහා වූ අරගලය විය. එය ස්ටැලින්වාදය, ෆැසිස්ට්වාදය සහ පැබ්ලෝවාදයේ ප්‍රහාරයට ලක්ව තිබූ අතර, ඓතිහාසිකව කිවහොත්, එය එල්ලී තිබුනේ නූල් පොටකිනි. වුල්ෆ්ගැන්ග් දේශපාලනිකව සවිඥානික වූ වසරවල එය ආරක්ෂා කර තව දුරටත් වර්ධනය කරන ලද්දේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනි. ඒ වන විට එහි ප්‍රමුඛතම ශාඛාව වූයේ ජෙරී හීලිගේ නායකත්වය යටතේ පැවති බ්‍රිතාන්‍ය සමාජවාදී කම්කරු සංගමය යි.

වුල්ෆ්ගැන්ග්ගේ ජීවිතය, හජාජාක හා පැබ්ලෝවාදය විසින් විනාශ කර දමන ලද එහි ජර්මානු ශාඛාව ගොඩනැගීම සමග අවියෝජනීය ලෙස බැඳී පවතී. පශ්චාත් යුද සමයේ හැදී වැඩුනෙකු ලෙස, නාසි පාලනය සම්බන්ධයෙන් ඔහුගේ නිගමනය වූයේ, තවත් ව්‍යසනයක් වැලැක්වීමට නම් ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිලධරයන්ගේ විනාශකාරී බලපෑමෙන් කම්කරු පන්තිය නිදහස් කල යුතු බව ය. ඔහු තම ජීවිතය—සහ ඔහුගේ අතිමහත් බුද්ධිමය හැකියාවන්—මෙම කාර්යය සඳහා කැප කලේය.

පශ්චාත් යුද ජර්මනිය තුල යෞවනය

1949 ජුනි 6 වන දින, මියුනිච් හි දකුනේ ෂ්ලියර්සි හි දී, වුල්ෆ්ගැන්ග් උපත ලබන විට, ඔහුගේ දෙමාපියන්, වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු සහ මුත්තනු-මිත්තනියන්, බෝම්බ වලින් විනාශයටපත් මියුනිච් වෙතින් පලාවිත් තදබදයෙන් යුතු ගිම්හාන නිවසක එකට ජීවත් වෙමින් සිටියහ. වුල්ෆ්ගැන්ග් උපතින් වසර දෙකකට පසු, ඔහුගේ පවුල මියුනිච් වෙත ද, වසර හතරකට පසු වර්ස්බර්ග් වෙත ද පදිංචියට ගිය අතර, වුල්ෆ්ගැන්ග් ඔහුගේ මුලු පාසල් අධ්‍යාපනයම ගත කලේ එහි ය. ඉක්මනින්ම සාමාජිකයන් හය දෙනෙකු වීමට නියමිත වූ පවුලට, රක්ෂන නියෝජිතයෙකු වූ ඔහුගේ පියාගේ වැටුපෙන් සැලකිය යුතු ලෙස සමාජ හිනිමඟ නැගීමට නොහැකි වූ අතර, පසුව ඔහු එහි ශාඛා කලමනාකරු බවට පත්විය.

ඔහුගේ පාසල් කාලය, පශ්චාත් යුද සමයේ දරාගත නොහැකි දුක්ඛිත තත්වයන්ගෙන් සනිටුහන් විය. නව පලිගැනීමේ යුද්ධයකට සිසුන් සූදානම් කිරීමට අවශ්‍ය වූ පැරනි නාසි ගුරුවරු, යුද්ධය අවසන් වීමෙන් පසු කිසිවක් වෙනස් නොවූ පල්ලියේ සහ සුලු ධනේශ්වර ස්ථරවල සර්වව්‍යාපී කොමියුනිස්ට් විරෝධයකින් ඔහුගේ ලමා හා තරුන කාලය හැඩගැස්වූහ. වුල්ෆ්ගැන්ග් සම්භාව්‍ය සාහිත්‍යයෙන් වෙනසක් සෙවීය; විශේෂයෙන් ෆ්‍රෙඩ්‍රික් ෂිලර් සහ තියඩෝර් ස්ටෝම් කියවන අතර ඔහුට පවුල් සබඳතා ද තිබූ නැගෙනහිර ජර්මනියේ (ජීඩීආර්) ගුවන් විදුලියෙන් මෙම කතුවරුන්ගේ වැඩසටහන් රස විඳිමින් සිටියේය.

ඔහු සම්භාව්‍ය මානවවාදය වෙත ඇදී ගිය අතර, සමාජ ගැටුම් උත්සන්න වී 1968 මැයි ලං වන විට, ෂිලර් සහ ස්ටෝම් ට අතිරේකව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් සහ ෆ්‍රාන්ස් කෆ්කා කෙරෙහි වඩවඩාත් යොමුවිය. වුල්ෆ්ගැන්ග් පල්ලියෙන් ඉවතට හැරී සවිඥානික අදේවවාදියෙකු බවට පත් විය. ඔහුගේ පරම්පරාවේ බොහෝ දෙනෙකු මෙන්, ඔහු වඩ වඩාත් ගාමකය ලැබුවේ, පාලක ප්‍රභූන් විසින් දැන් යට ගසා තිබෙන ප්‍රශ්නය වන, කවියන්ගේ හා චින්තකයින්ගේ දේශය තුල ෆැසිස්ට්වාදයේ ව්‍යසනය කෙසේ සිදුවූයේද යන්නෙනි.

විශේෂයෙන්ම, ගාල් කඳවුරු කිහිපයක මුල් දර්ශන රැගත් “නැෂ්ට් අන්ඩ් නෙබෙල් (රාත්‍රිය සහ මැඩියා)” නම් ප්‍රංශ වාර්තා චිත්‍රපටය වොල්ෆ්ගැන්ග් තුල ගැඹුරු හැඟීමක් ජනිත කලේය. ඔහුගේ පලමු දේශපාලන අත්දැකීමක් ලෙස, ඔහු වයස අවුරුදු 12 දී ඊශ්‍රායලයේ අයිච්මන් නඩු විභාගයට සහ පසුව ජර්මනියේ අවුෂ්විට්ස් නඩු විභාගයට ගුවන්විදුලියෙන් සවන් දුන්නේ ය. නමුත්, පාසලේදී හෝ දේශපාලනිකව ශුද්ධ කර දමන ලද පුස්තකාලවලින් ඔහුගේ ප්‍රශ්නවලට පිලිතුරක් ලැබුනේ නැත. පැවති අසංඛ්‍ය විශ්වද්වේෂවාදී හෝ සමාජ-මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමේ ආකෘති කිසිසේත්ම ප්‍රමානවත් නොවන බව ඔහු වටහා ගත්තේය.

වුල්ෆ්ගැන්ග්, බැවේරියා ප්‍රාන්තයේ හොඳම ඉහල පාඨශාලා ශිෂ්‍යයා ලෙස සාමාර්ථය ලැබීය. ඒ අනුව ඔහුට, ඉහල පිලිගැනීමක් ඇති මැක්සිමිලිනියම් (Maximilianeum) හි ශිෂ්‍යත්වයක් සහ පසුව ජර්මානු ජනතාවගේ අධ්‍යයන පදනම (Studienstiftung des deutschen Volkes) වෙතින් කුසලතා ප්‍රදානයක් ද හිමිවිය. ඔහු මියුනිච් හි නීතිය හැදෑරූ අතර, එහිදී ඔහුට මහාචාර්යවරුන් ලෙස හිටපු නාසීන් ගනනාවක් නැවත අභිමුඛ විය; ඔහු අතරමැදි විභාගයෙන් පසු ආර්ථික විද්‍යාවට මාරු විය.

ට්‍රොට්ස්කිවාදියෙකු ලෙස වර්ධනය වීම

ඔහු මාක්ස් කියවීමට පටන් ගත් අතර යුරෝපය පුරා කම්කරු පන්තියේ වැඩෙන අරගල දැඩි ලෙස අධ්‍යනය කලේය. එහෙත් වුල්ෆ්ගැන්ග්, “ජාතික සමාජවාදය” ව්‍යාප්ත වීමට හැකි වූයේ කෙසේද යන ප්‍රශ්නයට සතුටුදායක පිලිතුරක් සොයා ගත්තේ, 1971 ඔක්තෝබර් මාසයේදී බ්‍රිතාන්‍යයේ අධ්‍යයනය කරන අතරතුර, ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය ශාඛාව වන සමාජවාදී කම්කරු සංගමය (එස්එල්එල්) හමු වූ විට පමනි.

ඔහු එස්එල්එල් සාහිත්‍ය මේසයකින් මිලදී ගත් පලමු පොත්වලින් එකක් වූයේ, එම වසරේම ප්‍රථම වරට ජර්මානු භාෂාවෙන් ද ප්‍රකාශයට පත් කරන ලද, ජර්මනිය ගැන ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන සහිත පොතකි. ට්‍රොට්ස්කි ෆැසිස්ට්වාදය පැහැදිලි කලේ, පන්ති අරගලයේ අත්‍යන්ත තීව්‍රතාවයට පාලක පන්තියේ ප්‍රතිචාරය ලෙස ය. ෆැසිස්ට්වාදය යනු කම්කරු පන්ති සංවිධාන මුලුමනින්ම තලා දැමීම සඳහා ව්‍යසනයට පත් සුලු ධනේශ්වරය බලමුලු ගැන්වීමයි. මෙම අවබෝධය ඇතිව, ට්‍රොට්ස්කි දැඩි ලෙස සටන් කල ජීවිතයත් මරනයත් අතර අරගලයේ දී, කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ ප්‍රශ්නය ප්‍රධාන තැනක් ගත්තේය.

“හිට්ලර් බලයට පත් වූයේ, ජර්මානු ජනතාවගෙන් බහුතරයක්, යුදෙව්වන් මරාදැමීමට ඇති මැඩලිය නොහැකි පෙලඹවීමකින් ආවේශය ලැබූ නිසා නොවේ. තම නැගී ඒම සම්බන්ධයෙන්, කම්කරු ව්‍යාපාරය දේශපාලනිකව අඩපන කල, විෂකුරු වර්ගවාදයට සහ යුදෙව් විරෝධවාදයටත්, ඒවාට එරෙහි දෘෂ්ටිවාදී ප්‍රතිරෝධය වඩ වඩාත් ඛාදනයට ලක් කල එස්පීඩීයේ හා කේපීඩීයේ අඥාන හා ද්‍රෝහී ප්‍රතිපත්තිවලටත් හිට්ලර් නයගැති” යැයි, ට්‍රොට්ස්කි ජර්මනිය ගැන ලියූ ලේඛන පලමු වරට කියවීමෙන් වසර 28 කට පසු, එහි නව සංස්කරනයකට ලියූ පෙරවදනක වුල්ෆ්ගැන්ග් විසින් ම ප්‍රකාශ කලේය.

ඊලඟ කාල පරිච්ඡේදය තුල, වුල්ෆ්ගැන්ග් සිය විශිෂ්ට බුද්ධිමය හැකියාවන්ගෙන් සැලකිය යුතු කොටසක්, ස්ටැලින්වාදය විසින් ඔක්තෝබර් විප්ලවය පාවාදීම සහ එහි අනෙකුත් අසංඛ්‍ය අපරාධ වෙනුවෙන් කැප කලේය. ඔහු බ්‍රිතාන්‍යයේ රැඳී සිටි කාලය තුල, කොන්සර්වේටිව් පක්ෂ හීත් ආන්ඩුවට එරෙහිව මහජන වැඩ වර්ජන මෙහෙයවූ සහ රට තාවකාලිකව අඩපන කල, කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය වුල්ෆ්ගැන්ග් ද අත්විඳගත්තේය. මෙම බලවේගයට එහි ඉලක්කය සපුරා ගත හැක්කේ ස්ටැලින්වාදය පිලිබඳ ප්‍රශ්නය පැහැදිලි කලහොත් පමනක් බව ඔහු තේරුම් ගත්තේය.

1971 නොවැම්බරයේදී, සමස්ත වෘත්තීය සමිති සන්ධානයේ රැස්වීමකදී, ජෙරී හීලි කතා කරන ආකාරය වුල්ෆ්ගැන්ග්ට මුලින්ම ඇසුනි. හීලි එස්එල්එල් නායකත්වය දැරූ අතර පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව වසර 20 කට පෙර ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කර තිබුනි. හීලි කම්කරුවන් ඇමතූ ආකාරය සහ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම බොල්ෂෙවික්වාදයේ සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික අඛන්ඩතාව තුල තැබූ ආකාරය, වුල්ෆ්ගැන්ග් ට ගැඹුරින් කාවැදිනි. පසුව, ඔහු පැබ්ලෝවාදීන් සමග එක්සත් ජනපද සමාජවාදී කම්කරු පක්ෂය යලි ඒකාබද්ධ කිරීම, ලංකාවේ ලසසප පාවාදීම සහ හංගේරියානු විප්ලවය පිලිබඳ එස්එල්එල් හි ලේඛන ඉමහත් අභිරුචියෙන් කියැවීය.

වුල්ෆ්ගැන්ග් සම්බන්ධයෙන් ගත්කල, දේශපාලන ප්‍රශ්න පැහැදිලි කිරීමට ගත් තීරනය, කම්කරු පන්තිය සඳහා ගත් තීරනයක් විය. “මට ඉතා බුද්ධිමත් ශිෂ්‍ය සගයන් බොහෝ දෙනෙකු සිටියා; නමුත් එය අවසානයේ රඳා පවතින්නේ ඔබ එයින් කරන්නේ කුමක්ද යන්න මතයි. ඔබ පන්ති තීරනයක් ගත යුතුයි,” ඔහු වරක් සඳහන් කලේය. මෙම පදනම මත, ඔහු ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය මෙන් විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තිය ඉවත දැමූ හෝ පශ්චාත් නූතනවාදය මෙන් පොදුවේ ඓතිහාසික සංවර්ධනය ප්‍රතික්ෂේප කල විවිධ සුලු ධනේශ්වර න්‍යායන්ට එරෙහිව යුද-ප්‍රකාශ කලේය.

වුල්ෆ්ගැන්ග්ට කම්කරු පන්තියේ ඉතිහාසය කෙරෙහි ඉමහත් ගෞරවයක් සහ බහුමානයක් තිබූ අතර මේ අර්ථයෙන් තමා කම්කරු පන්තියේ ශිෂ්‍යයෙකු ලෙස වටහා ගත්තේය. ඔහුට, තවත් කිහිප දෙනෙකුට පමනක් කල හැකි ආකාරයට සවන් දීමට හැකි විය; සෑම විටම කුතුහලයෙන් යුතු ඔහු, කම්කරුවන්ගේ අත්දැකීම් සහ සිතුවිලි වලට විවෘත වීමේදීත්, කම්කරුවන්ගේ සංකල්ප හොඳින් විශ්ලේෂනය කර පසුව ඒවාට එරෙහිව සටන් කිරීමේදීත් ඉතා පරෙස්සම් සහගත විය. ඔහු කම්කරු පන්තිය හඳුනා ගත්තේ, එහි ඓතිහාසික වර්ධනයේ සියලු ගැටලු තුල, ලෝක විප්ලවය සඳහා වූ අරගලයේ දී ඔහුගේ තාරුන්‍යය එසේ හැඩගැස්වූ බුද්ධි ප්‍රබෝධය, සමාජවාදය සහ මානවවාදයේ පරමාදර්ශයන් සාක්ෂාත් කර ගන්නා සමාජ බලවේගය ලෙසට ය. පක්ෂයේ සහෝදරවරුන් සමග ඔහුගේ පෞද්ගලික ගනුදෙනු පවා නිර්වචනය වූයේ මෙම සංකල්පයෙනි.

League of Socialist Workers (BSA) සමාජවාදී කම්කරු සංගමය (බීඑස්ඒ)

1973 දී වුල්ෆ්ගැන්ග් නැවත ජර්මනියට පැමිනියේ උද්‍යෝගයෙන්, ජවයෙන් සහ දේශපාලන ප්‍රේරනයෙන් යුතුව ය. ඔහු වහාම, හජාජාක නව ජර්මානු ශාඛාව ලෙස වසර දෙකකට පෙර 1971 සරත් සෘතුවේ දී පිහිටුවන ලද සමාජවාදී කම්කරු සංගමයේ (බීඑස්ඒ) සාමාජිකයෙකු බවට පත් විය.

අනෙකුත් යුරෝපීය රටවල මෙන්ම ජර්මනියේ ද, එසමයේ, දරුනු පන්ති අරගල ඇවිලී ගියේය. 1960 ගනන්වල සිට ලෝක ධනවාදයේ ආර්ථික අර්බුදය නරක අතට හැරුනි. යුරෝපය සහ ජපානය, එක්සත් ජනපදයේ ආර්ථික ප්‍රතිවාදීන් ලෙස නැගී සිටියේය. ඩොලරය වැඩිවන පීඩනයකට ලක් විය. 1966 දී පැන නැගි අවපාතයකින් ගෝලීය ආර්ථිකය සොලවා දැමුනි. 1971 දී, ඇමරිකානු ආන්ඩුව ඩොලර්-රන් පරිවර්ත්‍යතාව අත්හැර දැමූ අතර, එමගින් පශ්චාත්-යුද උත්පාතයට පදනම සැකසූ බ්‍රෙටන් වුඩ්ස් මුදල් පද්ධතිය සඳහා පදනම ඉවත් කෙරුනි 1973 දී ලෝක ආර්ථිකය නැවතත් ගැඹුරු අවපාතයකට ඇද වැටුනි. කම්කරු පන්තිය ප්‍රතිචාර දැක්වූයේ විප්ලවවාදී පරිමානයේ ජාත්‍යන්තර ප්‍රහාරයකිනි.

වුල්ෆ්ගැන්ග් මියුනිච් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබඳ සිය අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කල අතර මැක්සිමිලිනියම් හි ජීවත් විය. නමුත් දැන් ඔහුගේ ප්‍රධාන කාර්යය වූයේ, මියුනිච්හි සහ පසුව නියුරම්බර්ග් හි බීඑස්ඒ හි ප්‍රාදේශීය කන්ඩායම් පිහිටුවීමයි.

1977 දී, බීඑස්ඒ නායකත්වය, පක්ෂය වෙනුවෙන් පූර්න කාලීනව වැඩ කිරීමට කැමති දැයි වුල්ෆ්ගැන්ග්ගෙන් විමසූ විට, ඔහු පැකිලීමකින් තොරව තම අධ්‍යයන කටයුතු නවතා පක්ෂය ගොඩනැගීමට සිය මුලු ශක්තියම කැප කලේය. ඔහු ජාතික කමිටුවට තේරී පත් වූ අතර වසර ගනනාවක් බීඑස්ඒ හි ප්‍රධාන පුවත්පත වූ නිවු ආර්බයිටප්‍රෙස්සෙ (New Workers Press) හි කර්තෘ මන්ඩලයේ ප්‍රධානියා විය.

ඒ අතරම, ඇනී සමඟ ඔහුගේ මිත්‍රත්වය ආරම්භ වූ අතර, ඇය ඔහුගේ ජීවිත කාලීන සහකාරිය බවට පත් වූවා ය; එසේම, දේශපාලන අරගලයට ද දැඩි ලෙස සම්බන්ධ වූවා ය. පසුව දරුවන් දෙදෙනෙකු ඉපදුනු විට, ඔවුන් දෙදෙනාම, පක්ෂයේ අතිමහත් වැඩ කටයුතු නොතකා, ඔවුන්ට ප්‍රශස්ත අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ කලහ.

1970 ගනන්වල, කම්කරුවන් හා තරුනයන් සමග සාකච්ඡා වල දී එස්පීඩීය පිලිබඳ ප්‍රශ්නය කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කලේ ය. ප්‍රන්සයේ 1968 මැයි-ජූනි මහා වැඩවර්ජනයෙන් සහ වෘත්තීය සමිති නිලධරයේ විරුද්ධත්වයට එරෙහිව ඉහල වැටුප් ඉල්ලීමක් සඳහා සටන් කල ජර්මනියේ වානේ කම්කරුවන්ගේ සැප්තැම්බර් වැඩවර්ජනවලින් ඉක්බිතිව, තමන් “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු” ලෙස හඳුන්වා ගත් විලී බ්‍රාන්ඩ්ට් ට ආන්ඩුව භාර විය.

බ්‍රාන්ඩ්ට් 1930 ගනන්වල මධ්‍යමිකවාදී සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඒපී) ප්‍රමුඛ සාමාජිකයෙකු වූ අතර එස්ඒපී තරුන සංවිධානය තුල ට්‍රොට්ස්කිවාදීන් හුදකලා කිරීමටත්, එස්ඒපීය හතරවන ජාත්‍යන්තරයට බැඳීම වැලැක්වීමටත්, ඔහුගේ නෝර්වීජියානු පිටුවහල තුල දී ප්‍රධාන භූමිකාවක් ඉටු කලේ ය.

බොහෝ කම්කරුවන්ට බ්‍රාන්ඩ්ට් ගැන මිත්‍යාවන් තිබුනි. මෙම කොන්දේසි යටතේ, කම්කරු පන්තිය තුල සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා සටන් කරන්නේ කෙසේද යන්න පිලිබඳ සාකච්ඡා වලට වුල්ෆ්ගැන්ග් ඉතා උනන්දුවෙන් සහභාගී විය. “එෆ්ඩීපීය [ධනේශ්වර ලිබරල් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය] ආන්ඩුවෙන් ඉවත් කර, සමාජවාදී ප්‍රතිපත්තිවලට කැපවීගත් තනිකර එස්පීඩී ආන්ඩුවක් සඳහා සටන් කරනු!” යන බීඑස්ඒ හි එකල ඉල්ලීම, සංක්‍රමන වැඩපිලිවෙල තුල ට්‍රොට්ස්කිගේ උපක්‍රම මත පදනම් වූ අතර එය සැමවිටම එස්පීඩී හි සැබෑ ස්වභාවය හෙලිදරව් කිරීම හා සම්බන්ධ විය.

වුල්ෆ්ගැන්ග්, එස්පීඩීයේ භූමිකාව පිලිබඳ ඓතිහාසික අවබෝධය කෙරෙහි අවධානය යොමු කල ලිපි කිහිපයක් ලිවීය. නිව් ආබයිටප්‍රෙස්සෙ හි සහ පසුව බීඑස්ඒ හි න්‍යායික පුවත්පත වන මාර්ක්සිස්ටිස් රන්ඩ්චාව් (Marxist Review) හි ද පල වූ “රූර් අරගලය 1928—එහි ඉතිහාසය සහ පාඩම්” යන ලිපි මාලාව තුල ඔහු මෙසේ ලිවීය:

1928 පිටගුලු දැමීමේ (වැඩපලට යාමට ඉඩ නොදී වැලකීමේ) දී එස්පීඩී නායකත්වය විසින් ඉටු කරන ලද භූමිකාව ඊලඟ වසරවල එහි තාර්කික අඛන්ඩතාවය සොයා ගනු ලැබුවේ, බෲනිං තන්ත්‍රයට සහ එහි හදිසි නියෝගවලට සහාය දීමේ සිට, නාසි රාජ්‍යය කෙරෙහි වෘත්තීය සමිතිවල ධනාත්මක ආකල්පය ප්‍රකාශ කරනුවස් ස්වස්තිකය යටතේ ෆැසිස්ට්වාදීන් සමග එක්ව පෙලපාලි යන ලෙස වෘත්තීය සමිති නායකයින් විසින් කරන ලද ඉල්ලීම දක්වා ගමන් කරමිනි.

හිට්ලර් බලයට පැමිනීමට පෙර ඉදිකරන ලද්දාවූත්, පසුව සිදු වූ සියල්ලට සාදෘශ්‍යයක් ලෙස සේවය කල පලමු ගාල් කඳවුරේ ස්මාරකය පිහිටියා වූ ඩැචාවු වෙත මියුනිච් සිට ඇත්තේ පැය භාගයක ගමනකි. බීඑස්ඒ සහ එහි තරුන සංවිධානය වන සමාජවාදී තරුන සංගමය (එස්ජේබී), තරුනයින් හා කම්කරුවන්ගේ කන්ඩායම් සමග නැවත නැවතත් එම ස්මාරකය වෙත ගියේය. එකල, කෙනෙකුට තවමත් දිවි ගලවා ගත් අය සමඟ කතා කල හැකි විය; ස්ටැලින්වාදය තේරුම් නොගෙන කෙනෙකුට ෆැසිස්ට්වාදය තේරුම් ගත නොහැක්කේ මන්දැයි ඔප්පු කිරීමට වුල්ෆ්ගැන්ග් ඔහුගේ දැනුම භාවිතා කලේය.

එහෙත් දැන්, බ්‍රිතාන්‍ය ශාඛාව විසින් කම්කරු විප්ලවවාදී පක්ෂය ලෙස හඳුන්වා ගත් පක්ෂයේ වැඩිවෙමින් පැවති පරිහානිය හේතුවෙන්, එහි අලුත් වැඩකටයුතු එන්න එන්නම දුෂ්කර විය. කම්කරු හා වෘත්තීය සමිති නිලධරයේ වාමාංශයට මෙන්ම, මැද පෙරදිග ජාතිකවාදී පාලන තන්ත්‍රයන්ට වඩ වඩාත් අනුගත වූ කවිප, ජර්මානු ශාඛාවට ද එය ම කිරීමට පීඩනය යෙදීය. එය බීඑස්ඒ හි දේශපාලන හා න්‍යායික වැඩකටයුතු ක්‍රමානුකූලව කඩාකප්පල් කල අතර සිය සාමාජිකයන් මහා පරිමාන අවස්ථාවාදී උද්ඝෝෂනවලට තල්ලු කලේය. කලාප හතරක් පමනක් නිකුත්කොට තිබූ මාක්ස්ටිස්චේ රුන්ඩ්ස්චෝ, කවිපයේ පීඩනය යටතේ අත්හිටුවන ලදී.

කවිප සමග භේදය

1985 දී ඩේවිඩ් නෝර්ත් සහ එක්සත් ජනපදයේ වර්කස් ලීගය (කම්කරු සංගමය) විසින් ඉදිරිපත් කරන ලද කවිප පිලිවෙත පිලිබඳ මාක්ස්වාදී විවේචනය ගැන වුල්ෆ්ගැන්ග් දැනගත් විට, ඔහු උද්‍යෝගයෙන් ප්‍රතිචාර දැක්වීය. වසර ගනනාවකට පසුව, ඔහු බීඑස්ඒ හි තවත් නායකයෙකු වන පීටර් ෂ්වාස් වෙත යොමු කල ලිපියක මෙසේ ලිවීය: “1985 සැප්තැම්බර් අවසානයේ දී කවිප නායකත්වයේ ජාතික අවස්ථාවාදයට එරෙහිව ඩේවිඩ් නෝර්ත්ගේ සටනේ ලියකියවිලි පීටර් භාර දුන් විට සහ හීලි නෙරපා හැරීම ගැන දැනුම් දුන් විට, මට එය ද්‍රෝහීන්ට එරෙහි සටනට සහභාගී වීමට ඉමහත් දිරිගැන්වීමක් විය.”

එසේම, ඔහු හරියටම කලේ එයයි. ඔහු “ලියොන් ට්‍රොට්ස්කි සහ ඔක්තෝබර් විප්ලවය” යන මැයෙන් ලිපි මාලාවක් ලිවීය. 1917 ඔක්තෝබර් විප්ලවයේ සූදානම, නායකත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ට්‍රොට්ස්කිගේ විශාල වැදගත්කම පැහැදිලි කිරීමට අවස්ථාවක් ලෙස ඔහු 1987 අගෝස්තුවේ ලන්ඩනයේ දී හීලි විසින් කරන ලද කථාවක් යොදා ගත්තේය. ට්‍රොට්ස්කිට එරෙහිව ස්ටැලින්වාදී නීච බොරු කිහිපයක් පුනරුච්චාරනය කරමින්, හීලි, සිය කතාවේ දී ගොර්බචෙව්ට ප්‍රශංසා කර තිබුනි. වුල්ෆ්ගැන්ග්, හීලිගේ බොරු ප්‍රතික්ෂේප කලා පමනක් නොව, පෙරස්ත්‍රොයිකා හි ප්‍රතිගාමී භූමිකාව පැහැදිලි කලා පමනක් නොව, ඔහු සියල්ලටත් වඩා, ඔක්තෝබර් විප්ලවයේ දේශපාලන පාඩම් වල අද ට ඇති වැදගත්කම සූත්‍රගත කලේය.

ඒ සමගම, තවත් ලිපි මාලාවක, ඔහු පැබ්ලෝවාදයට සහ එහි ජර්මානු ශාඛාව වන ජාත්‍යන්තර මාක්ස්වාදීන්ගේ කන්ඩායමට (ජීඅයිඑම්) එරෙහි සටන වර්ධනය කලේය. “එක්සත් සමාජවාදී පක්ෂය” (වීඑස්පී) පිහිටුවීම සඳහා ජීඅයිඑම්, මාඕවාදී කේපීඩීය සමග එකතු වී තිබුනි. කම්කරු පන්තිය තුල පක්ෂය ගොඩනැගීමේ දී පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ වැදගත්කම අවධාරනය කරමින්, වොල්ෆ්ගැන්ග් කවිපය සමග භේදයේ පාඩම් සහ 1988 ජාත්‍යන්තර ඉදිරිදර්ශන යෝජනාව වන ලෝක ධනේශ්වර අර්බුදය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ උකහා ගත්තේය.

ඔහු මෙසේ ලිවීය:

පශ්චාත් යුද සමය තුල, විශේෂයෙන්ම 1968-1975 කාලය තුල නිර්ධන පන්තියේ මූලෝපායික අත්දැකීම් වලින් උකහා ගත යුතු වන, එලඹෙන පන්ති අරගල සඳහා තීරනාත්මක පාඩම පහත දැක්වේ: සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හජාජාක ගොඩනැගීම හරහා ජාත්‍යන්තර නිර්ධන පන්තිය එක්සත් කරමින්—එහි ජයග්‍රහනය සහතික කල හැක්කේ එමගින් පමනි—අවස්ථාවාදයට සහ සියලු ආකාරයේ ජාතිකවාදයන්ට එරෙහිව කෙරෙන සම්මුති විරහිත හා අනවරත අරගලයක් අවශ්‍ය වේ.

කවිපයෙන් භේදය සහ හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය සවිඥානිකව නැවත ඇගයීම—එය ඩේවිඩ් නෝර්ත්ගේ අප රක්නා උරුමය හි සාරාංශ කර ඇත—පක්ෂයේ දැවැන්ත දේශපාලන වර්ධනයක් සඳහා අඩිතාලම දැමූ අතර ස්ටැලින්වාදී තන්ත්‍රවල පසුකාලීන බිඳවැටීම සඳහා තීරනාත්මක සූදානම ගොඩනැගීය.

වුල්ෆ්ගැන්ග් වෙබර් 1991 සැප්තැම්බර් මාසයේදී පෝලන්තයේ ස්ලූබිස් හි රැස්වීමකදී

පෝලන්තයේ සහයෝගිතාව සහ දේශපාලන විප්ලවයේ ඉදිරිදර්ශනය 1980-81 යන කෘතිය තුල, වුල්ෆ්ගැන්ග්, පෝලන්තයේ පන්ති අරගලයේ දැවැන්ත පිපිරීමේ වර්ධනය විමර්ශනය කලා පමනක් නොව, දේශපාලන නායකත්වයේ පාවාදීමත්, එය වසන් කිරීමේ දී පැබ්ලෝවාදීන්ගේ සහ කවිප ද්‍රෝහීන්ගේ භූමිකාවත් මත ආලෝකයක් ද හෙලීය. කෘතිය, ස්ටැලින්වාදයට එරෙහි දේශපාලන විප්ලවය සහ ලෝක සමාජවාදී විප්ලවය සඳහා විවාදාපන්න කෘතියකි:

ස්ටැලින්වාදී තන්ත්‍රයේ අර්බුදය තුලින්, සුලු ධනේශ්වර ස්ථරයන් තුල ද, කම්කරු පන්ති කවයන් තුල ද, පාලක තන්ත්‍රයට එරෙහි ධෛර්යමත් සහ රැඩිකල් ඉල්ලීම් මගින් සංලක්ෂිත, විවිධාකාර වූ විරුද්ධවාදී සන්තතීන් පැන නැගිය හැකිය—එහෙත්, ලෝක විප්ලවයේ මූලෝපාය සහ එහි කොටසක් ලෙස දේශපාලන විප්ලවය සඳහා ඔවුන් ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය හා මූලධර්ම අනුගමනය නොකරන තාක්, ඔවුන් ස්ටැලින්වාදී නිලධරයේ සහ අධිරාජ්‍යවාදයේ සහ ඔවුන්ගේ සීමිත ඉදිරිදර්ශන සමග ඔවුන් අවසානයේ කලාක් මෙන්, කම්කරු පන්තියේ අරගලයට බාධාවක් වූ රූපාකාරයේ ඒකාබද්ධ පීඩනය යටතේ කුරොන් සහ මොඩ්සෙලෙව්ස්කි මෙන් නොවැලැක්විය හැකි ලෙස යටත් වනු ඇත.

ජීඩීආර් හි අවසානය

1989 දී නැගෙනහිර යුරෝපයේ සහ ජීඩීආර් (නැගෙනහිර ජර්මනිය) තුල මහජන විරෝධතා වර්ධනය වූ විට, වොල්ෆ්ගැන්ග් මහත් උද්‍යෝගයෙන් ප්‍රතිචාර දැක්වීය. 1989 අගෝස්තුවේ, “ජීඩීආර් වෙතින් සමූහ පලායාමේ පසුබිම—කම්කරුවන්ගේ නැගිටීම්වල පෙර නිමිත්ත” යන ඔහුගේ ලිපිය, ජීඩීආර් තුල තීව්‍ර මැදිහත්වීමකට පෙරවදනක් විය. ඉතා කෙටිකාලයකට පසුව බීඑස්ඒ, “එස්ඊඩී නිලධරය භංග වේවා! කම්කරු සභා ගොඩනඟනු!” යන මැයෙන් සිය ප්‍රකාශය ලිවීය.

1989 සරත් සෘතුවේ දී නැගිටීමක් වර්ධනය වූ විට, ජීඩීආර් හි කම්කරු පන්තිය තුල කල මැදිහත් වීමේ දී වුල්ෆ්ගැන්ග් සක්‍රීය භූමිකාවක් ඉටු කලේය. ඔක්තෝබර් අවසානයේ, බීඑස්ඒ බටහිර බර්ලිනයේ පක්ෂ සහෝදරයෙකුගේ අනු-නිවසක (apartment) දේශපාලන මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීය. බර්ලින් තාප්පය තවමත් පැවති අතර, දේශ සීමාව පසු කරන සෑම කෙනෙකුම සමීපව නිරීක්ෂනය කරන ලදී. එසේ වුවද, දුසිමක් පමන සහෝදරවරුන් අත, දේශසීමා හරහා, දේශපාලන විප්ලවය සඳහා වූ කැඳවුමේ පිටපත් දහස් ගනනක් හොර රහසේ යවා, මිලියනයකට අධික පිරිසක් සහභාගී වූ බර්ලින් මහජන උද්ඝෝෂනයේදී ඒවා බෙදා හැරීමට බීඑස්ඒ සමත් විය.

වුල්ෆ්ගැන්ග් ඉමහත් ප්‍රීතියට පත්විය. ප්‍රථම වතාවට, නැගෙනහිර ජර්මානු කම්කරු පන්තිය සමග සම්බන්ධතා ඇති කර ගැනීමටත්, ස්ටැලින්වාදී නිලධරයට එරෙහි දේශපාලන විප්ලවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ ඉදිරිදර්ශනය ප්‍රසිද්ධකොට සාකච්ඡා කිරීමටත් හැකි විය. ඔස්කාර් හිප්පේ දෙවන ලෝක සංග්‍රාමයෙන් ඉක්බිති, සෝවියට් වාඩිලාගැනීමේ කලාපයේ (එස්බීඉසඩ්) ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් ගොඩනැගීමට උත්සාහ කල විට—ජීඩීආර් පසුව මතුව ආවේ මේ ප්‍රදේශයෙනි—ඔහු වහාම අත්අඩංගුවට ගෙන වසර අටක් බූට්ස්ටන් ස්ටාසි බන්ධනාගාරයේ සිරගත කලේ ය.

වුල්ෆ්ගැන්ග්, 1989 වසන්තයේ දී ඔස්කාර් හිප්පේ සහ ඔහුගේ බිරිඳ ගර්ට්‍රූඩ් පෞද්ගලිකව මුනගැසුනි. ඔහු දශක ගනනාවක් තිස්සේ එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කල බිල් සහ ජීන් බ්‍රස්ට් සහ අනෙකුත් බීඑස්ඒ සාමාජිකයින් සමඟ එක්ව ට්‍රොට්ස්කිවාදයේ කෘතහස්තයින් බැහැ දැකීමටට ගියේය.

ඔස්කාර් හිප්පේ ට කීමට බොහෝ දේ තිබුනි. ඔහු ට්‍රොට්ස්කි කිහිප වතාවක් ම මුනගැසී සාකච්ඡා කර තිබුනි. ඔහු ජීඩීආර් හි බීඑස්ඒ අරගලයට සහාය දුන් නමුත් ඕනෑවට වැඩි ප්‍රීති ප්‍රමෝදයට එරෙහිව අනතුරු ඇඟවීය. ස්ටැලින්වාදය විසින් කම්කරු පන්තියේ විඥානයට කර ඇති හානිය එක රැයකින් ජයගත නොහැකි බව ඔහු අවධාරනය කලේය.

පැරනි ජීඩීආර් හි කර්මාන්ත විසුරුවා හැරීමට සහ ධනේශ්වර සූරාකෑම යලි හඳුන්වාදීමට එරෙහි අරගලයේ දී, වුල්ෆ්ගැන්ග් අතින් බොහෝ ලිපි, හෙලිදරව් කිරීම් සහ වාර්තා ලියැවුනි. වසර තුනකට පසුව, ඔහු සිය ජීඩීආර්—ස්ටැලින්වාදයේ 40 වසරක් යන ග්‍රන්ථය සමඟ ජීඩීආර් හි ඉතිහාසය අවබෝධ කර ගැනීමට වැදගත් දායකත්වයක් ලබා දුන්නේය. ඔහු පෙරවදන ආරම්භ කලේ මෙසේ ලියමිනි:

ජීඩීආර් අවසන් වී වසර තුනකට පසුව, “බටහිර ජයග්‍රහනය” සහ “ධනවාදයේ ජයග්‍රහනය” පිලිබඳ ප්‍රීති ඝෝෂාව අඳුරු කලකිරීමේ හැඟීමකට මග පෑදීය. ජර්මනියේ නැඟෙනහිර ප්‍රදේශයේ, පොරොන්දු වූ “සමෘද්ධිමත් භූ දර්ශන” වෙනුවට නිර්මානය කර ඇත්තේ කාර්මික කාන්තාරයකි. පූර්ව ජීඩීආර් හි භූමියේ සේවකයින්ගෙන් අඩකට රැකියා අහිමි වී ඇත.... 1989 සිට සිදුවෙමින් පැවති සිදුවීම් නිසා ප්‍රේරනය වූ අන්ධ ප්‍රීතියෙන්, කම්පනයෙන් සහ හිරිවැටීමෙන් පසු, වෙනස් වන හැඟීම්වලින් පසුව, දැන් එලැඹ ඇත්තේ තර්කනයේ සහ සන්සුන් ආවර්ජනයේ කාලයයි.

ඉන්පසු ඔහු, පරිච්ඡේද නවයකින්, ජීඩීආර් හි මූලාරම්භය සහ ඉතිහාසය විශ්ලේෂනය කලේය. කොමියුනිස්ට් විරෝධී හැඟීම් අවුලුවාලීම සඳහා ස්ටැලින්වාදයේ අපරාධ ගසාකන, ස්ටැලින්වාදය සහ සමාජවාදය එකම ය යන මහා බොරුව ඔහු ප්‍රතික්ෂේප කලේය. ඔහු පහත වචන වලින් අවසන් කලේය:

ජීඩීආර් ඉතිහාසයේ ශේෂ පත්‍රය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විඥානය තුල නොමැකෙන ලෙස කාවැදිය යුතු විනාශකාරී ඓතිහාසික චෝදනාවක් සනිටුහන් කරයි: ස්ටැලින්වාදය සමාජවාදයට නොව නැවත ධනවාදයට මග පෙන්වයි! ස්ටැලින්වාදය යනු “දෝෂ සහිත උත්සාහයක්” නොව, සමාජවාදයේ “ව්‍යාජ ආකෘතියක්” නොව, එහි මිනීවල කනින්නා ය.

පසු වසරවලදී පවා, වුල්ෆ්ගැන්ග් මෙම ප්‍රශ්නයට නැවත පැමිනියේය. විශේෂයෙන්ම ස්ටැලින්වාදී හා ධනේශ්වර පාලන තන්ත්‍රයන් කරට කර සහජීවනයෙන් සිටි ජර්මනියේ ස්ටැලින්වාදය පිලිබඳ පැහැදිලි අවබෝධයක්, කම්කරු පන්තියට, එහි ශ්‍රේෂ්ඨ සමාජවාදී සම්ප්‍රදායන් සමග යලි සම්බන්ධ කරවීමට හැකිවීම සඳහා තීරනාත්මක බව ඔහුට තදින්ම ඒත්තු ගියේය.

ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීම

ජීඩීආර් සහ සෝවියට් සංගමයේ අවසානයෙන් පසුව, හජාජාක විසින් පුරෝකථනය කල පරිදි, ස්ටැලින්වාදයේ බංකොලොත්භාවය, අධිරාජ්‍යවාදී යුද්ධ හා දරුනු පන්ති ගැටුම්වල නව යුගයක් ආරම්භ කර ඇති බව වඩ වඩාත් පැහැදිලි වූ විට, ට්‍රොට්ස්කිවාදයට එරෙහි නව ප්‍රහාර රැල්ලක් ආරම්භ විය. ට්‍රොට්ස්කිවාදයට මඩ ගැසීමට උත්සාහ කල බොරු සහ මුසාකරනයන් මත පදනම් වූ—ඉයන් තැචර්, ජෙෆ්‍රි ස්වේන් සහ රොබට් සර්විස් ගේ—තුනකට නොඅඩු ට්‍රොට්ස්කි චරිතාපදාන බ්‍රිතාන්‍යයේ පල විය. ඩේවිඩ් නෝර්ත් විසින් රචිත ලියොන් ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සඳහා නම් වන ඔහුගේ පොතෙන් ඒවා තරයේ ප්‍රතික්ෂේප කෙරුනි.

වොල්ෆ්ගැන්ග් ඓතිහාසික සත්‍යය ආරක්ෂා කිරීමේ හජාජාක අරගලයේ වැදගත් භූමිකාවක් ඉටු කලේය. රොබට් සර්විස්ගේ අපවාදාත්මක ට්‍රොට්ස්කි චරිතාපදානය ජර්මානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත වූ විට, ඔහු ප්‍රාරම්භකත්වය අල්ලා ගත්තේය. ඔහු, ප්‍රසිද්ධ හා ඒ වන විටත් ඉතා වයෝවෘද්ධ ඉතිහාසඥ මහාචාර්ය හර්මන් වෙබර් ඊට සම්බන්ධ කර ගත්තේය. ඔහු මහාචාර්ය වෙබර් සමඟ කල, “රොබට් සර්විස් ලියා ඇත්තේ විද්‍යාත්මක විවාදාපන්නයක් නොව දෝෂාරෝපනයකි!”, යන මැයෙන් වන සම්මුඛ සාකච්ඡාව, අදටත් සිත් ඇදගන්නා සුලු ය.

වුල්ෆ්ගැන්ග් විසින් කීර්තිමත් ඉතිහාසඥයින් 12 දෙනෙකු, සර්විස්ගේ දෝෂාරෝපන වලට එරෙහිව ආස්ථානයක් ගැනීමට පෙලඹවූ අතර, සුවකැම්ප් වර්ලැග් හට පුලුල් නිවැරදි කිරීම් කිරීමට සහ වසරකට වැඩි කාලයක් ප්‍රකාශනය කල් දැමීමට සිදු විය.

දක්ෂිනාංශික ඉතිහාසඥ ජෝර්ග් බාබරොව්ස්කි, ඔහුගේ පලුදු වූ කීර්ති නාමය ගලවා ගැනීම සඳහා, 2014 පෙබරවාරි මාසයේදී හම්බෝල්ට් විශ්ව විද්‍යාලයට සර්විස්ට ආරාධනා කල විට, වුල්ෆ්ගැන්ග්, ඔහුගේ ඓතිහාසික මුසාකරනයන් සහ යුදෙව් විරෝධී ඒකාකෘති ප්‍රතික්ෂේප කිරීම සඳහා එයට සහභාගී විය. සිසුන් සියයක් සහභාගී වූ රැස්වීමේ දී ඔහු සර්විස්ගේ නිබන්ධනයට එරෙහිව කතා කලේය.

බාබරොව්ස්කි, සර්විස් සමඟ පැවති රැස්වීමෙන් විවේචනශීලී මහජනතාව බලහත්කාරයෙන් බැහැර කල විට, වුල්ෆ්ගැන්ග් විවෘත ලිපියක් මගින් එවකට විශ්ව විද්‍යාල සභාපති ජෑන්-හෙන්ඩ්‍රින් ඕල්බර්ට්ස් ඇමතීය. බාබරොව්ස්කි විසින් සර්විස් ආරක්ෂා කිරීම ඔහුගේම ඉතිහාසය මුසාකරනය කිරීම හා සම්බන්ධ බව ඔහු පෙන්නුම් කලේය. සර්විස්ගේ රැස්වීම සමගම, ඩර් ස්පීගල් සඟරාව බාබරොව්ස්කිගෙන් මෙසේ උපුටා දක්වා තිබුනි: “හිට්ලර් මනෝ ව්‍යාධිකයෙක් නොවේ, ඔහු දුෂ්ටයෙක් නොවේ. ඔහුගේ මේසයේ දී යුදෙව්වන් සමූලඝාතනය කිරීම ගැන කතා කිරීමට ඔහුට අවශ්‍ය නොවීය.”

වුල්ෆ්ගැන්ග් මෙසේ අවසන් කලේය:

සුවිශේෂී ප්‍රතිපත්තියකට සුවිශේෂී උපක්‍රම අවශ්‍ය වේ...

මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ ශාස්ත්‍රාලීය නිදහසට එරෙහිව බාබරොව්ස්කිගේ ප්‍රහාරය, හම්බෝල්ට් විශ්ව විද්‍යාලය දක්ෂිනාංශික හා මිලිටරිවාදී ප්‍රචාරක මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමට කැමති බලවේගවල අරමුනුවලට සේවය කරයි. එක්සත් ජනපදයේ දක්ෂිනාංශික දේශපාලනයේ ශාස්ත්‍රාලීය මධ්‍යස්ථානයක් වන ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ හූවර් ආයතනය සමඟ බාබරොව්ස්කි සමීප සබඳතා පවත්වන බව ප්‍රසිද්ධය.

වුල්ෆ්ගැන්ග් වෙබර් 2024 අගෝස්තු මාසයේදී

වසර පහකට පෙර ඔහුට මාරාන්තික පිලිකාවක් ඇති බව දැනගත් විටත්, වෛද්‍යවරුන් ඔහුට සුලු බලාපොරොත්තුවක් පමනක් ලබා දුන් විටත්, වුල්ෆ්ගැන්ග් සිය දේශපාලන වැඩ කටයුතු කරගෙන ගියේය. රෝගයට එරෙහි සටන දැඩි වූ නමුත් වුල්ෆ්ගැන්ග් එය මග නොහැරීය. ඔහු සටන් කිරීමට කැමති වූයේ, සටන ජීවිතයේ ගාමක බලවේගය ලෙසත්, සමාජ ප්‍රගතිය ලෙසත් ඔහු තේරුම් ගත් බැවිනි.

මෑත වසරවලදී, ඔහු විශේෂයෙන්ම තරුන සහෝදරවරුන් ඓතිහාසික ගැටලු සම්බන්ධයෙන් පුහුනු කිරීම කෙරෙහි අවධානය යොමු කල අතර ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික උරුමය සඳහා වෙහෙස නොබලා සටන් කලේය. ඔහු සෑම විටම තමන්ව වටහා ගත්තේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික උරුමය විස්තාරනය කිරීම හා යෙදවීම තුල වර්ධනය වූ සාමූහික හා ජාත්‍යන්තර කේඩරයක කොටසක් ලෙසය.

2023 නොවැම්බරයේදී, ගාසා හි සමූලඝාතනයට එරෙහි සමාජවාදී සමානතා පක්ෂයේ රැස්වීමකදී, පක්ෂයක් ගොඩනැගීමට අවශ්‍ය වන්නේ මන්දැයි දැන ගැනීමට අවශ්‍ය තරුන පලස්තීනුවන්ගේ ප්‍රශ්නවලට ඔහු පිලිතුරු දුන්නේය. වුල්ෆ්ගැන්ග්ගේ පිලිතුර, ඔහුගේ දේශපාලන ජීවිතය පිලිබඳ සම්පින්ඩනයකි:

වුල්ෆ්ගැන්ග් වෙබර් 2023 නොවැම්බර් 14 වන දින බර්ලිනයේ “ගාසා හි සමූලඝාතනය නවත්වනු” එස්ජීපී රැස්වීම අමතයි.

රුසියාවේ කම්කරු පන්තිය ඇත්ත වශයෙන්ම බලය අත්පත් කර ගත්තේය. නමුත් ජර්මනියේ එවැන්නක් සිදු නොවුනි. මක්නිසාද යත්, එය රුසියාවේ ගොඩනඟා තිබූ පරිදි, වසර ගනනාවක් තිස්සේ කම්කරුවන් දැනුවත් කල, වෛෂයික අර්බුදය පුපුරායන විට වසර ගනනාවක් තිස්සේ සූදානම්ව සිටි කේඩරයක් ගොඩනඟා තිබූ, පක්ෂයක් එයට නොතිබූ බැවිනි. අද ද එවන් වෛෂයික අර්බුදයක් පුපුරාගොස් ඇත. තමන් උපක්‍රමවලට හා උපාමාරුවලට නොවැටිය යුතු බවත්, ටික කලක් හරිතයන් කලාක් මෙන් ප්‍රගතිශීලීව හැසිරෙන ධනේශ්වරයේ කිසිදු කොටසකට සහාය නොදිය යුතු බවත්, නමුත්, කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම සඳහා සටන් කරන ස්වාධීන පක්ෂයක් ගොඩනගා ගත යුතු බවත් කම්කරු පන්තිය දැන සිටිය යුතුය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කම්කරු ව්‍යාපාරයේ ආධිපත්‍යය දැරූ සහ “වාම” කවයන් තුල මාක්ස්වාද-විරෝධී න්‍යායන් පැවති අවස්ථාවක, වුල්ෆ්ගැන්ග්, හතරවන ජාත්‍යන්තරය සහ ලෝක සමාජවාදී විප්ලවය පිලිබඳ එහි මාක්ස්වාදී ඉදිරිදර්ශනය ආරක්ෂා කලේය. ජීඩීආර් සහ සෝවියට් සංගමය බිඳවැටීමෙන් ඉක්බිතිව, “සමාජවාදයේ අසාර්ථකත්වය” සෑම තැනකම ප්‍රකාශ කරන විටත්, ඔහු එය ආරක්ෂා කලේය.

ඔහුගේ ජීවිතයේ අවසාන වසරවලදී, ඔහුගේ කාර්යය කෙතරම් වැදගත් හා අර්ථභාරී ද යන්න ඔහුට අත්විඳිය හැකි විය. ධනවාදය ලොව පුරා මාරාන්තික අර්බුදයක පවතින අතර, යුද්ධය, සමාජ අසමානතාවය, සංස්කෘතික පරිහානිය සහ ෆැසිස්ට්වාදය පමනක් නිෂ්පාදනය කරයි. ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙන කවරදාටත් වඩා පුලුල්ව හා සමීපව සම්බන්ධ වී ඇත. ලෝක සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය සඳහා තීරනාත්මක ආයුධය ට්‍රොට්ස්කිවාදය තුලින් සොයාගනු ඇති දැවැන්ත කුනාටුවක් වර්ධනය වෙමින් තිබේ.

අපට වුල්ෆ්ගැන්ග් යලියලිත් මතකයට නැගෙනු ඇත, ඔහුගේ මරනය ජර්මනියේ සහ ලොව පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට බරපතල පාඩුවකි. එහෙත් ඔහු, කම්කරු පන්තියේ ස්වාධීනත්වය සහ ලෝක සමාජවාදී විප්ලවය සඳහා වෙහෙස නොබලා කල අරගලය ඔහු ගොඩනැගීමට උදව් කල පක්ෂය තුල ජීවත් වේ. අවසන් හුස්ම පොද දක්වාම ඔහු තුල පිරී තිබූ විශ්වාසය අපට ආශ්වාදයකි.

Loading