ජවිපෙ/ජාජබයේ රැවටිලිකාර පලාත් පාලන මැතිවරන උද්ඝෝෂනය

[මෙය Sri Lanka: The JVP/NPP’s bogus local government election campaign මැයෙන් 2025 අප්‍රේල් 4දා පල කල ලිපියේ පරිවර්තනය යි.]

පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) මැයි 6දා පැවැත්වෙන පලාත් පාලන මැතිවරන උද්ඝෝෂනයේ යෙදී සිටින්නේ, මුසාවන්, නරුමත්වය හා ව්‍යාජ පොරොන්දුවල පදනම මත ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක [Photo: Lankatruth/JVP website ]

මැතිවරනය පැවත්වෙන්නේ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරනය ජයගැනීමෙන් මාස හතකටත්, ජවිපෙ/ජාජබ තුනෙන් දෙකක බහුතරයක් සමගින් නොවැම්බරයේ පාර්ලිමේන්තු බහුතරයක් දිනා බලයට පැමින මාස පහකටත් පසුව යි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය, ඉන් බිඳී ගිය සමගි ජන බලවේගය, රාජපක්ෂ පවුලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන යන සාම්ප්‍රදායික පාලක පක්ෂ කෙරෙහි මහජනතාව අතර පැවති ගැඹුරට යන විරුද්ධත්වය ගසා කෑමට දිසානායක හා ජවිපෙ/ජාජබ සමත් විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) ඇප නයෙහි කොන්දේසි යලි සාකච්ඡා කරන බවටත්, මහජනයාට ආර්ථික සහන සම්පාදනය කරන බවටත් දුන් මැතිවරන පොරොන්දු මුලුමනින් ආපසු හරවමින්, වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ආරම්භ කරන ලද ම්ලේච්ඡ ජාමූඅ කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කිරීම, දිසානායක පලමු දිනයේ සිට ම ආරම්භ කලේ ය.

ජවිපෙ/ජාජබහි ජාමූඅ-ගැති පියවරයන්, කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍යයන් හා දුගීන් අතර නැගෙන කෝපයට තුඩු දී ඇත. වෘත්තීය සමිති නිලධරයන් මෙම විරුද්ධත්වය සීමා කර නවතා දැමීමට මංමුලා සහගත ලෙස උත්සාහ දරමින් සිටින අතර ම, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, සෞඛ්‍ය හා තැපැල් කම්කරුවන් සහ පාසල් සංවර්ධන නිලධාරීන් අතර විරෝධතා පුපුරා ගොස් ඇත.

පසුගිය මැතිවරනවල දී නින්දිත පරාජයකට මුහුනදුන්, අයිඑම්එෆ් විධානයන්ට ද සහයෝගය දෙන විරුද්ධ පක්ෂවල දේශපාලන මංමුලාසහගතබවේ වාසිය ගැනීමට දිසානායක හා ජවිපෙ/ජාජබ අපේක්ෂා කරයි.

පාලක ජවිපෙ/ජාජබහි පාර්ලිමේන්තු බහුතරයට මෙම මැතිවරනයේ ප්‍රතිඵලවලින් බලපෑමක් නැතත්, අයිඑම්එෆ් ඇනවූ කප්පාදු පැටවීම වේගවත් කරනු වස්, නව ජනවරමක් ලැබී ඇතැයි කියාපෑමේ හැකියාව ලබාගැනීම එයට අවශ්‍ය කරයි.

මාර්තු 21දා මාධ්‍ය හමුවක දී, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කීවේ, පලාත් පාලන මැතිවරනය ජයග්‍රහනය කිරීම, “දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට රට දරන උත්සාහයන් සාර්ථකව පෙරට දැමීමට ඉතා වැදගත්” බව යි.

අයිඑම්එෆ් න්‍යාය පත්‍රය මුලුමනින් වැලඳගෙන තිබෙන සංස්ථාපිතයේ පක්ෂ තුල ආන්ඩුවේ වැඩකටයුතු කඩාකප්පල් කරන දේශපාලන “විරුද්ධවාදීන්” නැත. පාර්ලිමේන්තු විපක්ෂය හා ඒවායේ හෙංචයියන්ගෙන් එල්ලවෙන වාචාල විවේචන මුලුමනින්ම වංචනිකද වන අතර ඒවායේ ඉලක්කය මහජනයාගේ ඇසට වැලිගැසීම යි.

විවිධ ප්‍රදේශවල මැතිවරන රැස්වීම් අමතමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක, ජවිපෙ/ජාජබ මැතිවරන උද්ඝෝෂනයේ නායකත්වය ගෙන ඇත.

දිසානායක, සිල්වා හෝ ජවිපෙ/ජාජබ කථිකයින් ප්‍රසිද්ධ රැස්වීම්වල දී “අයිඑම්එෆ්” යන වචනය සඳහන් නොකරතත්, මහ ව්‍යාපාරික සංසදයන්හි දී ඔවුන් අනවරත ව පුනරුච්ඡාරනය කරන්නේ, රටෙහි “ආර්ථික ප්‍රකෘතිමත් වීම” තහවුරු කිරීමට පවතින එක ම විකල්පය අයිඑම්එෆ් වැඩසටහන බව යි.

ඉතිහාසයේ ගොඩනැගුනු “ප්‍රබලතම පාර්ලිමේන්තු බලය සහිත ආන්ඩුව” නිර්මානය කර දීම මගින්, මහජනයා රට “නව මාවතක්” දෙසට ගෙන ගොස් ඇතැයි, මාර්තු 30දා මාතර, දෙයියන්දර දී පැවති රැස්වීමක් අමතමින් දිසානායක කීවේය.

“රාජ්‍ය සේවකයාට, ආයෝජකයාට හා ව්‍යාපාරිකයාට මේ සියලු දෙනාට නිදහසේ වැඩ කරන්න පුලුවන් පසුබිමක් නිර්මානය” කර දීම මගින්, “ රටේ පුරවැසියාගේ නිදහස තහවුරු කිරීම” තම ආන්ඩුවේ “ප්‍රධාන වෙනස” බව ජනාධිපතිවරයා සඳහන් කලේ ය.

කවරනම් නරුම කතාවක්ද! එකතු කල අගය මත බද්ද (VAT) අඩු කරන බවට දුන් මැතිවරනය පොරොන්දුව කුනු කූඩයට දමා ඇති දිසානායක පාලන තන්ත්‍රය, ඉන්ධන, භාන්ඩ හා සේවා මත සියයට 18ක වැට් බද්දක් ද මූලික ආහාර ද්‍රව්‍ය ඇතුලු අත්‍යවශ්‍ය භාන්ඩ 64ක් මත විශේෂ භාන්ඩ බද්දක් ද පවත්වාගෙන යයි. බොහෝ පවුල්වලට දිනකට ආහාර වේල් තුනක වියදම දරාගත නො හැකි අතර, සංගතවලට හා ආයෝජකයන්ට අඩු බදු ක්‍රමයක් පවත්වාගෙන යාමට ආන්ඩුව කටයුතු කරයි.

රජයට අයත් ව්‍යවසායයන් 400කට වැඩි ප්‍රමානයක් මහා පරිමානයෙන් ප්‍රතිව්‍යුහකරනයට බඳුන් කිරීම සඳහා රාජ්‍ය පරිපාලක සමාගමක් ස්ථාපිත කිරීමට ජවිපෙ/ජාජබ අයවැය යෝජනා කලේ ය. ආයතන වසා දැමීම්, රාජ්‍ය-පුද්ගල හිමිකාරීත්වය ඉහල දැමීම, පූර්න-පරිමාන පුද්ගලීකරනයන්, රැකියා ලක්ෂ පහක් විනාශ කිරීම සහ දිවයිනේ කම්කරුවන් හා සම්පත් සූරාකෑමට ජාත්‍යන්තර ආයෝජකයන්ට අවස්ථා වැඩිදුර සම්පාදනය කිරීම ආදියට මෙමගින් මාවත පාදනු ඇත.

තේරී පත්වීමෙන් පසු ව, තමන් රාජ්‍ය සේවකයින්ට කිසිදු “අත්තනෝමතික“ වැටුප් වැඩිකිරීමක් ප්‍රදානය නො කරන බව, දිසානායක මහ ව්‍යාපාරිකයට පොරොන්දු විය. ඔහු ඔහුගේ පොරොන්දුව ඉටුකර ඇත! පහල ශ්‍රේනිවල රාජ්‍ය සේවකයන්ට වසර තුනක් පුරා ක්‍රියාවට දැමෙන රුපියල් 8,250ක සොච්චම් වැටුප් වැඩිකිරීමක්- ඉහල ශ්‍රේනිවලට සුලු වෙනස්කම් ද සහිතව- දිසානායකගේ අයවැයට ඇතුලත් විය. ඒ අතර ම, දිසානායක අතිකාල ගෙවීම් හා අනෙකුත් දීමනා කපා දමා ඇති අතර මෙය කම්කරුවන් අතර පලල් කෝපයක් අවුලුවා ඇත.

වසර පහක ඛාදනයකින් පසු ව, තමන්ගේ ආන්ඩුව ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ශනය කරගෙන ඇති බවත්, එය “ආර්ථික ස්ථාවරභාවය පිලිබඳ සංඥාවක්” බවත්, දෙයියන්දර රැලියේ දී දිසානායක කීවේ ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, ආන්ඩුව විදේශීය ආයෝජකයින්ට හා කොල්ලකාරී දේශීය ධනපතියන් අතලොස්සකට වැඩකරන ජනයාගේ වියදමින් හිතකර කොන්දේසි නිර්මානය කර තිබේ.

බොහෝ දෙනා දේශීය ගොවීන්වූ රැස්වීමේ ශ්‍රාවකයට, මාතර දිස්ත්‍රික්කයේ අතහැර දමා ඇති කුඹුරු වගා කිරීම යලි ආරම්භ කිරීම සඳහා ආන්ඩුව රුපියල් බිලියන 3ක් වෙන් කර ඇති බව කී දිසානායක, සමාජ සුභසාධන වෙනුවෙන් කර ඇති නවතම සොච්චම් අයවැය ප්‍රතිපාදන වැඩිකිරීම් පුම්බා දැක්වූයේ ය.

අතරමැදියන්ගේ සූරාකෑමට බඳුන් වෙමින්, නය බරෙහි ගිලී සිටින හා කෘෂිකාර්මික උපකරන සඳහා දැරිය යුතු දැවැන්ත පිරිවැය සමග අරගලයේ යෙදී සිටින ගම්බද දුගීන්ගේ රුදුරු දරිද්‍රතාව මෙම සීමිත වෙන් කිරීම් මගින් නැති නො කරනු ඇත. ප්‍රවේසම් සහගත ලෙස මිලියන 5.5ක් යයි තක්සේරු කෙරෙන ජනගහනයේ දරිද්‍රතාවෙන් බැටකන ස්ථර වැඩිමනක්ම ජීවත් වන්නේ, දිවයිනේ ගම්බද ප්‍රදේශවල හා වතුකරයේ ය.

“ අපි මහජනතාවගේ මුදල් සතයක් නාස්ති කරන්නෙ නැති. . . මහා භාන්ඩාගාරයට එන හැම සතයක්ම පෙරලා පුරවැසියාට ලබා දෙන ආන්ඩුවක්. . . අපි සෑම ව්‍යාපෘතියකදීම කටයුතු කරන්නේ රට සහ ජනතාවගේ පැත්තෙන් සිතලයි” දිසානායක කීවේ ය.

ඒ හුස්මට ම දිසානායක මෙසේ ප්‍රකාශ කලේ ය: “ අපි 2028දී නැවත නය ගෙවීම ආරම්භ කල යුතුයි. ඒ සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමානය උත්පාදනය කල යුතුයි. 2028 වසරේදී ඉතා හොඳින් නය ගෙවිය හැකි ආර්ථිකයක් අපි හදනවා.”

දිසානායකගේ මැතිවරන ඝෝෂාබද්දය හා මුසාවාද පිටුපසින් පවතින සැබෑ න්‍යාය පත්‍රය මෙය යි.

විදේශ සංචිත අර්බුදයක් හා ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ 2022 අප්‍රේල් මාසයේ දී පැවති රාජපක්ෂ ආන්ඩුව විසින් නවතා දමන ලද ජාත්‍යන්තර නය ආපසු ගෙවීම යලි ආරම්භ කිරීමත්, ධනපති ආයෝජකයින්ට වඩා විශාල ලාභ තහවුරු කිරීමටත්, ජවිපෙ/ජාජබ ආන්ඩුව කම්කරු පන්තියට එරෙහිව පන්ති යුද්ධය දියත් කරනු ඇත.

මැතිවරන පොරොන්දු ප්‍රතික්ෂේප කිරීම අරබයා වැඩෙන මහජන අතෘප්තිය කෙරෙහි තියුනු ලෙස දැනුවත් ජවිපෙ/ජාජබ නායකයෝ තමන් දූෂනයට විරුද්ධව සටන් කරමින් සිටින බව කියති. පසුගිය වසරේ මැතිවරන සමයේ, ජවිපෙ/ජාජබ කියා සිටියේ, රටෙහි ආර්ථික අර්බුදයට හේතුව වංචාව, දූෂනය හා නාස්තිය බව ය.

මෑත සතිවලදී, හිටපු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධරයන්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම හා ඔවුන්ට එරෙහි නඩු පැවරීම, ආන්ඩුවෙන් ආරම්භ කර ඇත. වංචාවේ හා දූෂනයේ මූලය වන ධනපති ක්‍රමය මුලුමනින්ම ආරක්ෂා කරන අතරේ, “දූෂනයෙන් තොර” රටක් නිර්මානය කිරීම පිලිබඳ ජවිපෙ/ජාජබ කියාපෑම කුරුරි විහිලුවකි.

පසුගිය වසරේ ඔක්තෝබර් 14දා නිකුත් කල මැතිවරන ප්‍රකාශය තුල, සමාජවාදී සමානතා පක්ෂය මෙසේ සඳහන් කලේ ය: “සසප සියලු කම්කරුවන්ට සහ ගම්බද වැඩකරන ජනයාට අවධාරනයෙන් අනතුරු ඇඟවීමක් කරයි: ඔබ දෙවරක් රැවටීමට ඉඩ නොදෙනු! රාජපක්ෂ හෝ වික්‍රමසිංහට වඩා දිසානායක වෙනස් නොවන බව ඔප්පු කරනු ඇත.” ගෙවී ගිය මාස හය පුරා මෙම අනතුරු ඇඟවීම මුලුමනින්ම සනාථ වී ඇත.

වැඩකරන ජනයා, දිසානායකගේ බොරු පූච්ඡානම් ප්‍රතික්ෂේප කරමින්, ආන්ඩුවේ කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහිව බැරෑරුම් අරගලයක් දියත් කිරීමට සූදානම් විය යුතු ය. ෆැසිස්ට්වාදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ ආක්‍රමනකාරී වෙලඳ යුද්ධය විසින් තීව්‍ර කරනු ලබන ගැඹුරු වන ගෝලීය ආර්ථික කලබැගෑනිය මධ්‍යයේ, මෙම කර්තව්‍යය වඩා හදිසි බවට පත් වෙයි. එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයෝ ලෝකය ඇදගෙන යමින් ඇත්තේ, විනාශකාරී තුන්වැනි ලෝක යුද්ධයක් දෙසට ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් සඳහා උද්ඝෝෂනය කිරීමට පලාත් පාලන මැතිවරනයට මැදිහත් වන අතර, කම්කරු පන්තිය, ශිෂ්‍යයන් හා තරුනයන්ට මෙම ක්‍රියාමාර්ගයට සටන් කිරීම සඳහා ස්වාධීනව බලමුලුගැන්වීමට කැඳවුම් කරයි.

යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවටත්, කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාවටත් අපි තරඟ කරන්නේ, අපේ ක්‍රියාමාර්ගය වඩාත් ම පලල් ලෙස සාකච්ඡාවට ගැනීම සඳහා ය. අපේ ප්‍රසිද්ධ රැස්වීම්වලට සහභාගි වන්න, ඉදිරියේ එන විප්ලවවාදී අරගලවලට නායකත්වය දෙන මහජන පක්ෂය ලෙස සසප ගොඩනැගීම සඳහා පක්ෂයට බැඳී එය ගොඩනගන්න.